තේ වගාව සඳහා මෙතෙක් පනවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කොට තේ වගාව කෙමෙන් කාබනික පොහොර වලට අනුවර්තනය කරන තුරු ඒ සඳහා පෙර පරිදිම රසායනික පොහොර ආනයනය කිරීමටත් තිරිඟු පිටි,කිරි පිටි සහ සිමෙන්ති සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමටත් ඊයේ(07)පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට තිබේ.
පසුගිය කාලයේ තේ වගාවට නිසි අන්දමින් පොහොර නොලැබීම මත දළු අස්වැන්න ශීඝ්‍රයෙන් පහත වැටීම මත රජය මෙම තීරණය ගෙන ඇත.එහෙත් ඒ සම්බන්ධයෙන් වතු වගා කරුවන් පවසා සිටියේ තේ වගාවට රසායනික පොහොර යෙදීම මත දළු අස්වැන්නට මිනිස් සිරුරට අහිතකර වස විස එක් වන බවට පැතිර යන කතාව හුදෙක් විහිළුවක් වන බවය.
මහා බ්‍රිතාන්‍යය ඇතුලු ශ්‍රී ලංකාවෙන් තේ මිල දී ගනු ලබන ලොව දියුණු රටවල් නිරතුරුවම එම තේ සාම්පල් පරීක්ෂාවට ලක් කරන බව පෙන්වා දෙන ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා තේ වල එවැනි වස විසක් ගැබ් ව ඇති බවට කිසිදු පරීක්ෂාවකින් තහවුරු වී නොමැති බවය.
යම් හෙයකින් එවැනි දෙයක් වාර්තා වුවහොත් එය ලෝක ප්‍රවෘත්තියක් වන තරමට ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර කීර්ති නාමයක් හිමි කරගෙන ඇති බව පෙන්වා දෙන තේ වගා කරුවන් පවසනුයේ වගකිව යුතු රජයක් හැඟීම් ආවේග වලින් තොරව නිසි විද්‍යාත්මක පදනමක් යටතේ මෙම ප්‍රශ්න දෙස නොබැලීම මත මුලු රටම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ හෑල්ලුවට ලක් වන බවකි.
මේ අතර තිරිඟු පිටි,කිරි පිටි සහ සිමෙන්ති ගෑස් මිල වෙනස් වීම ජනතාවට පීඩාකාරී ලෙස බලනොපානු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.