තේ සංස්කෘතියක් නොමැති ලොව උසස්ම තේ නිෂ්පාදකයා

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ සීනි, තේ කොළ සහ කිරිපිටි මිල කීප ගුණයකින් වැඩි වී ඇති හෙයින් කිරි තේ කෝප්පයක මිල රුපියල් 100 ක් දක්වා වැඩි කළ යුතු බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

පසුගිය කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනය සියයට 19 කින් පමණ පහළ බැස තිබූ අතර 2020 වසරේ තේ නිෂ්පාදනය ටොන් මිලියන 129.04 ක් ලෙස වාර්තා වී තිබිණි. ඉන් ටොන් මිලියන 120 කට අධික ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ ජාත්‍යන්තර තේ වෙළද පොලේ ශ්‍රී ලංකාවේ තේ සදහා වැඩිම ඉල්ලුමක් පවතින ඉරාකය, තුර්කිය, රුසියාව සහ ඉරානය වැනි රටවලට ය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ තේවලින් සියයට 25 ක් අපනයනය කරනු ලබන්නේ “වැලිව් ඇඩඩ්” නොහොත් තේ කොළවලම විවිධ නිෂ්පාදන වශයෙනි. එනම් ටී බෑග්ස්, ග්‍රීන් ටී, බ්ලැක් ටී ආදී විවිධ නිෂ්පාදන ලෙසය. ඉතිරි සියයට 75 අපනයනය කරනු ලබන්නේ විශාල බල්ක් හෙවත් තොග වශයෙනි.

ලොව උසස්ම තේ නිෂ්පාදකයා ලෙස ලෝකයේ ධනවත් රටවල ප්‍රධාන තේ සැපයුම්කරුවා බවට පත්ව සිටිය ද ශ්‍රී ලංකාවට තවමත් “තේ සංස්කෘතියක්” නොමැත. නමුත් තේ සුළු වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ලෝකයේ අනිකුත් රටවලට පවා ඒ ඒ රටවලට ආවේණික තේ සංස්කෘතීන් පැවතීම විශේෂත්වයකි.

තේ සංස්කෘතියක් නිර්මාණය වෙන්නේ තේ කෝප්පයක් සාදන ආකාරය සහ එය පරිභෝජනය කරන ආකාරය, මිනිසුන් තේ සමග අන්තර් ක්‍රියා කරන ආකාරය සහ තේ පානය අවට ඇති සෞන්දර්ය ආදිය මගිනි. බොහොමයක් රටවල මෙකී තේ සංස්කෘතිය, වාර්ෂික වශයෙන් සංකීර්ණ විධිමත් උත්සව ආකාරයෙන් පවත්වනු ලබන අවස්ථා ද තිබේ.

 

බොහොමයක් නැගෙනහිර ආසියානු රටවල එනම්, චීනය, ජපානය, කොරියාව, ටිබෙටය, හොංකොං, පාකිස්තානය මෙන්ම ඉන්දියාවේ ද ඉතා උසස් සංස්කෘතිකාංග ඇතුළත් තේ සංස්කෘතීන් නිර්මාණය වී ඇති අතර ඒවා “තේ සාද” ලෙස උත්සවාකාරයෙන් පැවැත්වේ. ඉන් නොනැවතී මේ වනවිට මෙම තේ සංස්කෘතිය බටහිර රටවල පවා ව්‍යාප්ත වී පවතී. වර්තමාන බ්‍රිතාන්‍යයේ Afternoon Tea යනු ඉතා ආකර්ශණීය චාරිත්‍රයක් බවට පත්ව ඇති තේ සංස්කෘතියකි.

මේ වනවිට බ්‍රිතාන්‍ය විසින් එකී තේ චාරිත්‍ර සිය යටත් විජිත රටවලට පවා ව්‍යාප්ත කර තිබේ. අද වනවිට කෙන්යාව, ටැන්සානියාව, උගන්ඩාව, ඕස්ට්‍රෙලියාව, නවසිලන්තය, අයර්ලන්තය ආදී රටවල් ද තමන්ට ආවේණික ආකාරයෙන් තේ සංස්කෘතීන් පවත්වා ගෙන යනු ලබයි.

ඒ කෙසේ වුව ද අතීතයේ සිට ලෝකයේ ප්‍රධාන පෙලේ තේ නිෂ්පාදකයෙකු වූ ශ්‍රී ලංකාව නිෂ්චිත තේ සංස්කෘතියකට හිමිකම් නොකියන රටක් ලෙස හැදින්විය හැකිය. ශ්‍රී ලාංකේය අපි බොහෝ විට තේ පානය කිරීමේ දී ඉගුරු කැබැල්ලක් තලා තේ කොළ සමග තැම්බෙන්නට හැර පානය කිරීමට පුරුදු වී සිටින්නෙමු. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකේය වැසියන්ගෙන් වැඩි පිරිසක් තේ පානය කරනු ලබන්නේ ‘කහට තේ’ ලෙසිනි. එනම් තද රතු පැහැයක් ගන්නා තෙක් තේ කොළ තැම්බුණු උණු ජලය ‘කහට තේ” ලෙස පානය කරති.

සමහර ප්‍රදේශවල එයට සීනි දිය කිරීමෙන් පැණි රසයක් මතු කරගෙන පානය කරන අතර තවත් ප්‍රදේශවල එය හකුරු කැබැල්ලක් සමග ද පානය කරති. නාගරික වැසියන් වැඩිදෙනා තේ සමග සීනි සහ කිරිපිටි මිශ්‍ර කර පානය කරති. තේ පානයේ දී බොහෝ සබරගමු වැසියන් අනුගමනය කරන්නේ වෙනස් ම වූ සංස්කෘතියකි. ඔවුන් බොහෝ විට ‘කහට තේ’ පිළිගන්වනු ලබන්නේ කිතුල් පැනි කෝප්පයක් ද සමගිනි.

තේ උගුරු කීපයක් පානය කරන අතරතුර කිතුල් පැනි උගුරක් පානය කිරීම මෙහි චාරිත්‍රයයි. තවත් ප්‍රදේශවල කහට තේ සමග විවිධ ඖෂධ පැළෑටි කට ගැස්මට ගැනීමේ චාරිත්‍රයක් ද දක්නට තිබේ. ප්‍රාදේශීය වශයෙන් තේ පානය කිරීමේ දී මෙවැනි සුළු උපක්‍රම මගින් තේ කෝප්පය රසවත් කර ගැනීමට අපි පුරුදු වී සිටින්නෙමු.

එසේ වුව ද මෙකී කිසිදු තේ චාරිත්‍රයක් ශ්‍රී ලාංකේය ජනතාව අතර තේ සංස්කෘතියක් දක්වා වර්ධනය වී නොමැති වීම කණගාටුවට කාරණයකි.

දුලංජලී මුතුවාඩිගේ

අරුමැසි පුවත්