‘අනංගයා’ යන නම අප සමාජයේ ව්‍යවහාර වනුයේ අවභාවිතාවක් ලෙසිනි.කාන්තාවන් කෙරෙහි අනිසි බලපෑම් කරන්නවුන් අනංගයන් ලෙස හඳුන්වමින් පළ වන පුවත් පත් වාර්තා ද අදටත් දැකිය හැක.
ප්‍රේමයට, කාමයට, ශෘංගාරයට අධිපති දෙවියා වශයෙන් හින්දු ආගමේ සැලකෙන අනංගයා ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය තුළ කිසි විටෙකත් වන්දනීයත්වයට පත් වූවෙක් නොවේ.
එහෙත්, ඉතා විශිෂ්ට අයුරින් නිමවන ලද අනංග දේව ප්‍රතිමාවක් අප රටේ පැරණි බෞද්ධ විහාරයක ස්ථාපිත කොට ඇති වගක් ඔබ මෙතෙක් දැන සිටියාද?
කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ කහව පසු කළ විට පුරාණ තොටගමුව රජමහා විහාරය යනුවෙන් කොන්ක්‍රීට් පුවරුවක් දක්නට ලැබේ. එතැනින් වමට හැරී මීටර් පන්සියයක් පමණ දුරින් යන විට අනුරාධපුර යුගය තෙක් පැරණි බව සැලකෙන මෙම පුරාණ තොටගමුව රජ මහා විහාරයට පිවිසිය හැක.
කෝට්ටේ යුගයට අයත් වෑත්තෑවේ හිමි, වීදාගම මෛත්‍රිය හිමි සේම ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ රාහුල හිමියන් පවා වැඩ වාසය කළ බව පැවසෙන මෙහි පැරණි විහාර මන්දිර දෙකක් දක්නට ලැබේ.
ඉන් එකක් ක්‍රි.ව. 1779 දී ඉදිකොට ඇති අතර අනෙක් විහාර මන්දිරය ස්ථාපිත කොට ඇත්තේ ක්‍රි.ව. 1805 දී ය. ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථානයක දැකිය හැකි මෙම අනංග දේව ප්‍රතිමාව අදත් නිරුපද්‍රිතව දක්නට ඇත්තේ මෙම දෙවැනි බුදු මැදුරේය.
මහනුවර යුගයට අයත් විහාර කර්මාන්තවල විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී දෙවිවරුන්ගේ මූර්තීන් කොතෙකුත් දැකිය හැක. එහෙත් එවන් පසුබිමක් තුළ බෞද්ධ විහාර කර්මාන්තයක අනංග දේව ප්‍රතිමාවක් දක්නට ලැබීම එක් අතකින් විස්මයට කරුණකි.
බුදු දහමට අනුව ප්‍රේමය, රාගය ආදිය ක්ලේෂ කාම ගණයට අයත් වන්නකි. ඒ අනුව එම ක්ලේෂ කාම සංකේතය කෙරෙන ‘මාර දිව්‍ය පුත්‍රයා’ පවා මහනුවර යුගයට අයත් බිතු සිතුවම්වල දක්වා තිබේ. ඒ බෞද්ධ සාහිත්‍යයේ එන මාර පරාජය වැනි සංසිද්ධීන් අවස්ථානුනෝචිතව දැක්වීම පිණිස ය.
එහෙත් ඒ හැරුණු විට ‘මාරයා’ගේ රූපය වුව වෙනම මූර්තිමත් කොට ඇති අවස්ථාවක් දේශීය බිතු සිතුවම් කලා ශිල්ප අතරේ දක්නට නොපුළුවන.
අනංග යනු හින්දු දේව සංකල්පයට අයත් වුව ද ඔහුට එහි වුව ප්‍රධානත්වයක් හිමි වී නැත. අනංග පිළිබඳ පුරාණොක්ති ගණනාවක්ම ඇතත් ඉන් චිර ප්‍රසිද්ධ පුරාණෝක්තියක් තිබේ.
එනම් ඊශ්වර දෙවියන්ට දාව පාර්වතියගේ කුසින් ස්කන්ධකුමාර හෙවත් කඳ සුරිඳුන් බිහි කර ගැනීම සම්බන්ධ පුරාවෘත්තයකි.
නමුදු ඒ වන විට ඊශ්වර දෙවියන් කෛලාශ කූට නම් පර්වතයේ උග්‍ර තවුස් වෘත්තයක යෙදී සිටි බැවින් ඔහු පාර්වතිය හා සහවාසයට එක් කරවා ගැනීම මහා බ්‍රහ්මයාට ගැටලුවක් විය. අවසානයේ මහ බඹු ඒ කාරිය පවරනුයේ කාමදේව වෙතය.
ඒ මහ බඹුගේ නියෝගය මත කාමදේව ඒ වන විට කෛලාශ කූටයේ තවුස්දම් රකින ඊශ්වර වෙත මෙම ‘මඟුල් කපුකමේ” යෙදීමට උත්සාහ දර අතරේ ඔහු තමන්ගේ ධ්‍යානය බිඳීමට පැමිණෙන කාමදේව දැක බලවත් කෝපයට පත්ව තිබේ.
එහි ප්‍රතිඵලය වනුයේ ඊශ්වර දෙවියන් තම අතිශය බලවත් ඇසින් බැල්මක් හෙලීම පමණි. ඒ බැල්ම කෙතෙක් ප්‍රබල ද යත් ඉන් කාමදේව මුළුමනින්ම දැවී අළු වී ගොස් තිබේ.
ඉන් පසු ඔහුගේ සියලු ශරීරාංග දැවී අළු වී ගිය බැවින් එතැන් සිට ඔහු “අංග නොමැති”යන අදහස ගෙනෙන අන්+අංග හෙවත් අනංග ලෙස හැඳින්වුණු බව හින්දු පුරාණ සාහිත්‍යයේ සඳහන් වෙයි. නමුදු කාමදේවට තමන් මුල්කොට සිදු වූ විපතින් කම්පා වූ මහා බ්‍රහ්මයා පසුව එම අනංගයා අතිශය කඩවසම් රූප සම්පත්තියකින් යුතු දෙවියකු ලෙස මවා පෑ බව ද පැවසෙයි.
අප ජන විඥානයේ මෙම අනංග පිළිබඳ තිබූ ආකල්පය පූජනීය එකක් නොවන අතර දොළොස් වැනි සියවසේ ලියැවුණු ධර්ම ප්‍රදීපිකාව සහ දාහතර වැනි සියවසේ ලියැවුණු සද්ධර්මාලංකාරය යන කෘතීන්වල අනංග පිළිබඳ සඳහන් වේ. එමෙන්ම ලෞකිකත්වය පදනම් කොට ගත් කාමභෝගිත්වය මුල්කොට ගත් ‘අනංග පූජා’ නම් වන චාරිත්‍ර විධි ද පැවැති බව අනුමාන කළ හැකි සාක්ෂි තිබේ.
අනංගයා පිළිබඳ අප ජන සමාජයේ පැවැති මෙම දැනහැඳුනුම්කම මුල්කොට මල්හීය සහ උක් දඬු දුන්න සහිත අනංග රූප ඇත්දත්වලින් නිමවන ලද පනා ආදියට එක් කොට තිබේ.
එහෙත් ඉතා දක්ෂ ශිල්පියකු විසින් නිර්මාණය කළ මෙවන් විශිෂ්ට අනංග රූපයක් අප රටේ අන් කිසිදු බෞද්ධ විහාරයකින් තබා හින්දු කෝවිලකින්වත් දැකගත නොහැකි බව අපගේ විශ්වාසයයි. එහි ද උක්දඬු දුන්න හා මල් හීය මනාව පිළිබිඹු කොට තිබේ.
තෙල්වත්ත, තොටගමුව රජමහා විහාරස්ථානයේ පැරණි බුදු මැදුරක් තුළ ඇති මෙම සුවිසල් අනංග රූපය මෙවන් ස්ථානයකට එක් කරන ලද්දේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳ අදටත් නිශ්චයක් නොමැත.
එහෙත්,ඒ සම්බන්ධයෙන් දැක්වෙන පොදු මතය නම් ක්ලේශ කාමයන්ගේ ආදීනව බෞද්ධ සමාජයට වටහා දීමේ අරමුණින් එම විහාර ගෙය තුළ මෙම අනංග මුර්තිය ස්ථාපිත කළ බවකි.
එහෙත් විහාර ගේ බුද්ධ ප්‍රතිමාවට ඉදිරියෙන් එය ස්ථානගත කොට තිබූ ආකාරයෙන් ක්ලේෂ කර්මවල ආදීනව දැක්වීම පිණීස එය එලෙස ස්ථාපිත කොට ඇති වගක් සිතා ගැනීම අසීරුය.
එබැවින් මම ඒ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවේ හිඳින ජ්‍යෙෂ්ඨතම ප්‍රතිමා කලා විශාරදයකුගෙන් විමසුම් කළෙමි. ඔහු ජාතික කෞතුකාගාර සහ කැලණි විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන්ය.
”මහනුවර යුගයේ උඩරට විහාර කර්මාන්තවලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා වගේම ඒ යුගයේ පහතරට විහාර කර්මාන්තවලට අනුග්‍රහය ලැබුණේ යටත් විජිත යුගයේ සමාජ, ආර්ථික වරප්‍රසාද හිමිකර ගන්නා ධනපති පන්තියෙන්.
මහනුවර යුගයේ පහත රට විහාර කර්මාන්ත සුපරික්ෂාකාරී විදිහට විමසුමට ලක් කරන විට ඒවායේ නිර්මාණ අතුරින් ඒ ධනපති පන්තියේ සිතුම් පැතුම් මෙන්ම මානසික අවශ්‍යතා දැක ගන්න පුළුවන්.
ඔය අතරේ ඔය විහාර කර්මාන්තයට දායකත්වය සපයන ධනවතුන් අතරින් අනංගයා ගැන අහපු අනංගයාට ප්‍රිය කරන ප්රභූවරයෙක් ඉඳලා ඔය විහාරය ඇතුළේ අනංග ප්‍රතිමාවක් ඉදි කරනවා නම් නම් ලොකු බරපැනක් දරන්නම් කියන්න ඇති.
බලනකොට ඉතින් අනංග කියන්නෙත් විෂ්ණු වගේම හින්දු දෙවියෙක්නෙ. ඒ හින්දා ඒ කාලේ හාමුදුරුවරු ඒ ධනපති ප්රභූවරයාගේ ඉල්ලීම මුල් කරගෙන ඔතැන ඔය අනංග රූපය හදවන්න ඇති.
ඒ හින්දා ඔය වගේ සාමාන්‍ය දේවල් දිහා දාර්ශනිකව බලනවට වඩා සාමාන්‍ය විදියටම බලන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ.” ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ කීය.
තිලක් සේනාසිංහ