අප කවුරුත් දන්නා පරිදි ඉඳුල් යනු ආහාර වලින් ඉවත ලන කොටස් සඳහා යොදන වදනකි. ‘උජුල්’ යනුවෙන් ද හැඳින්වෙන මෙය දොළොස් වැනි සියවසේ රචිත ජාතක කතා ගැටපදයේ සඳහන් වන අන්දමට ආහාර වලින් කා ඉතිරි වන කොටස් හැඳින්වීමට යෙදෙන නමකි.එමෙන්ම යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් භාවිත කරන ලද දෙය හැඳින්වීම පිණිස ද ‘ඉඳුල්’ යන වදන යෙදේ. එය වඩාත් පැහැදිලිව පෙනෙනුයේ යමක ඇති නැවුම් බව නිර්මල බව කියා පෑමේ දී ඊට ‘නො ඉඳුල්’ යන වචන බහුලවම යෙදෙන බැවිනි.
මේ කරුණු අනුව සලකා බලන විට කුඩා දරුවන්ට ජීවිතයේ මුල් වරට බත් කැවීමේ හෙවත් ඔවුන් ප්‍රධාන ආහාර දාමයට සම්බන්ධ කරවීමේ අවස්ථාව ‘ඉඳුල් කට ගෑම’ ලෙස නම් කිරීම කෙතරම් දුරට සුදුසු ද යන්න සොයා බැලීම ඔබටම භාර කරමි.නමුදු අප සමාජයේ අවියත් ගැමි වහරක් ව තිබූ මෙම ඉඳුල් කට ගෑම යන්න මේ වන විට සමස්ත ශ්‍රී ලාංකේය සිංහල සමාජය විසින්ම භාවිතා කරන්නක් බව පෙනෙයි.
මෙම ඉඳුල් කතාව පසෙකට දමා බත් කැවීමේ මඟුල නම් වන මෙම ගෘහ චාරිත්‍රය පිළිබඳව අපි විමසා බලමු. මෙය අපට උරුම වූයේ භාරතීය වෛදික ග්‍රහ චාරිත්‍ර ඇසුරිනි. එම ගෘහ චාරිත්‍රවල පළමුවැන්න නාමකරණ හෙවත් නම් තැබීමේ මඟුල වන අතර නිෂ්ක්රාමණය නම් වන දෙවැනි චාරිත්‍රය දරුවා දොරට වැඩුම හා සම්බන්ධ වන්නකි. දරුවන්ගේ කන් විදීම හෙවත් කර්ණ වේධනය භාරතීය වෛදික ගෘහ චාරිත්‍රවල තුන්වැනි මංගල්‍යය සේ සැලකේ. අප රටේ කන් විඳීම සිදු කරනුයේ ගැහැනු දරුවන්ගේ පමණක් වන නමුත් භාරතීය වෛදික ධර්ම ශාස්ත්රවලට අනුව ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම දරුවකුගේම කන් විදීම මංගල්‍යයක ආකාරයෙන් සිදු කෙරේ.
එහෙත්, භාරතීය ආභාෂයෙන් පැමිණි ඉහත සඳහන් ගෘහ චාරිත්‍ර පිළිබඳ අප ජන සමාජය තුළ එතරම් තැකීමක් නොමැති වුව ද හින්දුන් අන්නප්රාසනය නමින් හඳුන්වන දරුවන්ට බත් කැවීමේ මඟුල සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වති.එහි “අන්න” යනු පිසූ බත වන අතර “ප්රාසන” යනු පෝෂණයයි.
තම ජීවිතවල සෑම වැදගත් කටයුත්තක්ම සුබ නැකතක්, මුහුර්තයක් මුල් කොට සිදු කිරීම කෙරෙහි බොහෝ දෙනෙක් උනන්දු වෙති. විශේෂයෙන්ම කුඩා දරුවකුට බත් කැවීම සම්බන්ධ කටයුත්තක් සඳහා සුබ නැකතක් යොදා ගැනීමෙන්ම එය තම ජීවිතවල ඉතා වැදගත් කටයුත්තක් බව එම මාපියෝ මනාව පසක් කරති.එය මාපියන් තම දරුවාට ලබා දෙන සුවිශේෂ අගැයුමක් ද වෙයි. දරුවකුට බත් කැවිය යුත්තේ කුමන වයසේදී ද යන්න මෙහිදී පැන නගින මූලිකම පැනයයි. එහෙත්, එය ජ්යොතීර්වේදියකුගෙන් අසා දැන ගැනීමට වඩා දරුවා පරීක්ෂා කරන වෛද්‍යවරයා ගෙන් අඩුම තරමින් දරුවා බැලීමට එන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් අසා දැනගැනීම වඩාත් ප්‍රඥාවන්ත වනු ඇත. ඊට හේතුව දරුවගේ සෞඛ්‍ය තත්ත්වය, පෝෂණ මට්ටම සහ වැඩීම සම්බන්ධයෙන් විද්‍යාත්මක තොරතුරු දැන හිඳිනුයේ ඔවුන් බැවිනි. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙකු තවමත් නවීන විද්‍යාවට භාර කළ යුතු දේ පැරණි විද්‍යා ශාස්ත්රවලටම භාර කිරීමට තරම් අවිචාරවත්ව කටයුතු කරන බව පෙනෙයි.
සාමාන්‍ය වශයෙන් දරුවකුගේ බත් කැවීමේ මංගල්‍යය උපතින් සය මසක් ගත වූ පසුව සිදු කිරීම පිළිගත් සම්ප්රදායයි. එහෙත්, මෙම කාල නිර්ණය යම් යම් ආකාරවලින් වෙනස් වන අවස්ථා ද එළැඹේ. එහි දී ජ්‍යොතිර්වේදය පිළිබඳ සැබෑ දැනුමක් සහිත ජ්‍යොතිර්වේදියකු හට දරුවාගේ ජන්ම පත්‍රය ඉදිරිපත් කොට ඒ සඳහා සුදුසු සුබ නැකතක් සාදවා ගත හැක. මෙහි දී මෙම නැකැත් බොහෝ විට පෙරවරුවේ යොදා ගත හැකි අතර දරුවාට සේම දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහසුවක් වන අන්දමින් අලුයම් යාමයේ මෙබඳු කටයුතු සඳහා නැකැත් සාදා දීමක් කිසිදු පිළිගත් ජ්‍යොතිර්වේදියකු විසින් නොකරන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.
නමුත් ජනතාව බිය ගැන්වීම් හා මුළා කිරීම් මගින් ජ්‍යොතිර්වේදය ‘ගණිකාවක්’ කර ගත් මෙම ක්ෂේත්රය තුළට පිවිස සිටින සටකපට පුද්ගලයන් ‘හැබැයි පාන්දර හතරයි විසි එකට නම් සුබ නැකතක් තියෙනවා. වැඩේ යොදා ගන්න පුළුවන් නම් හරියටම හරි තමයි’ ආදි ප්‍රෝඩාකාරී ප්‍රකාශ කළ අවස්ථාවන් සැලකිය යුතු ප්‍රමාණයක් අප හට නිරීක්ෂණය කළ හැකි වී තිබේ.නමුත් සුබ නැකැත්, සුබ මුහුර්ත සකස් කිරීමේ දී ඒ කටයුත්ත සඳහා ඇති යෝග්‍යතාව සේම එම නැකත භාවිත කරන්නවුන් හට ඒ සඳහා ඇති අවකාශය ගැන ද වෙසෙසින් සොයා බැලිය යුතු බව ඒ සම්බන්ධ විද්වත් මතයයි.මෙහි දී මෙම බත් කැවීමේ මඟුල සඳහා බාහිර පුද්ගලයන්, අමුත්තන් කිසිවකු් සහභාගි කර ගත යුතු නැත.දරුවාට නිතර දකින්නට ලැබෙන පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු ඊට එක්වීම හොඳටම සෑහේ. එමෙන්ම ඉතා පිරිසිදුවට දරුවාට පහසුවෙන් ජීර්ණය වන ආකාරයට පිසින ලද බත් පිඬක් ලුණු ස්වල්පයක් ද සමඟ දරුවාගේ මුව තැබීමෙන් එම බත් කැවීමේ මඟුල සම්පූර්ණ වනු ඇත. එම බත් කට ගොඩබිමත්, ලුණු ස්වල්පය සාගරයක් සංකේතනය කරමින් එතැන් සිට දරුවා තම පරමායුෂ භුක්ති විඳින කාලය තෙක් මෙලොව සියලු මනුෂ්‍ය ආහාරවල හිමිකරුවකු බව කියා පානු ඇත. නමුත් සරල චාම් වුවත් මෙතරම් උතුම් මංගල්‍ය අවස්ථවක් ‘ඉඳුල් කටගෑම‘ යන පිළිකුල් සහගත වදනින් හැඳින්වීම තරම් දරුවකුට කළ තවත් අපරාධ ඇත්නම් එය ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේ වැටහීම ය.
හේම ශ්‍රී අමරසිංහ