ලංකාවේ ද මේ දිනවල ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල සංවාදයක් පවතින බව රහසක් නොවේ. සෞඛ්‍ය ඇමැතිවරයකුට ධුරයෙන් සමු ගැනීමට පවා සිදුවන තත්ත්වයට මෙම සංවාදය දුරදිග ගියේය. ප්‍රමිතියෙන් බාල ඖෂධ නිසා සිදු වූ බව පැවසුණු මරණ රැසක් ගැන ද පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය.
මෙවැනි බාල ඖෂධ නිසා සිදු වන මරණ ගැන මේ කාලයේ වෙනත් රටවලින් ද නිතර දෙවේලේ වාර්තා වන ආකාරයක් දක්නට ලැබේ. මේ කතාව ද එවැනි සිදුවීමක් ගැන ය. මෙය සිදු වූයේ ආසියාවේම රටක් වන ඉන්දුනීසියාවේ යි. මෙම සිද්ධියට පසුබිම් වූයේ කුඩා දරුවන්ට කැස්සට දෙන සිරප් (Cough Syrup) වර්ගයකි. මෙම සිරප් වර්ගය ලබා දුන් දරුවන් 200 කට වැඩි ගණනකට මරු කැඳවන්නට එය හේතු වූ බවට චෝදනා එල්ල විය. මෙම මරණවලට හේතු වී තිබුණේ අදාළ සිරප් වර්ගයේ අඩංගු වූ විෂ රසායනිකයකි. මෙම විෂ රසායනිකය විසින් දරුවන්ගේ වකුගඩුවලට කරන ලද බලපෑම නිසා මරණ සිදුව තිබූ බව අනාවරණය වී තිබිණි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ නඩු විභාගයක් පැවැත්වුණු අතර එහි තීන්දුව මෙයට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබිණි. එහි දී මෙම සිරප් වර්ගය නිශ්පාදනය කළ ඖෂධ සමාගමේ ප්‍රධානියා ඇතුළු තවත් නිලධාරීන් තිදෙනෙකුට සිර දඬුවම් නියම කර තිබිණි. ඊට අමතරව ඉන්දිනීසියානු රුපියල් බිලියනයක දඩයක් ද නියම කරනු ලැබිණි.
අදාළ සිරප් වර්ගයට විෂ රසායනිකය එකතු වී තිබූ ආකාරය ගැන ද පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ දී අනාවරණය කර තිබිණි. ඉහත කී ඖෂධ සමාගම 2021 ඔක්තෝබර් සිට 2022 පෙබරවාරි දක්වා කාලය තුළ තවත් සමාගමකින් ප්‍රොපිලීන් ග්ලයිකෝල් නැමැති රසායනිකයක් ලබා ගෙන තිබූ බව එහි දී සඳහන් විය. මෙය සාමාන්‍යයෙන් කැස්සට දෙන සිරප් වර්ග නිශ්පාදනයේ දී භාවිත වන රසායනිකයකි. නමුත් ප්‍රොපිලීන් ග්ලයිකෝල් වෙනුවට අර අනෙක් සමාගම මෙම ඖෂධ සමාගමට සපයා තිබී ඇත්තේ එතිලීන් ග්ලයිකෝල් නැමැති රසායනිකයකි. ඔවුන් විසින් සපයන ලද තොගවලින් සියයට 96-99 අතර ප්‍රමාණයක් එතිලීන් ග්ලයිකෝල් බව පැමිණිලි පාර්ශ්වය සඳහන් කර තිබිණි. ප්‍රොපිලීන් ග්ලයිකෝල් සාමාන්‍යයෙන් ඖෂධ නිශ්පාදනයේ දී මෙන්ම රූපලාවන්‍ය ආලේපන නිශ්පාදනයේ දී ද යොදා ගන්නා විෂ රහිත රසායනිකයක් වුවත් එතිලින් ග්ලයිකෝල් එසේ නොවේ. එය විෂ රසායනිකයකි. මෙම රසායනිකය සාමාන්‍යයෙන් යොදා ගන්නේ තීන්ත, ලිහිසි තෙල් ආදිය නිශ්පාදනයේදී ය.
කෙසේ හෝ වේවා, ඖෂධ නිශ්පාදන සමාගම තම සිරප් වර්ගය නිශ්පාදනය කිරීමේ දී ඒ සඳහා යොදා ගන්නා මෙම රසායනිකයන් නිසි පරීක්ෂාවකට ලක් කර නොතිබුණු බව පැමිණිලි පාර්ශ්වය සඳහන් කර තිබිණි. මෙහි දී ඖෂධ සමාගමේ නීතිඥයන් පවසා තිබුණේ ඉන්දුනීසියානු ඖෂධ නිශ්පාදන රෙගුලාසිවලට අනුව එවැනි පරීක්ෂාවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවකි.
කෙසේ වෙතත්, මෙම නඩුව විභාග කළ විනිසුරුවරයා තීන්දුව ලබා දුන්නේ ඉහත කී නිලධාරීන් සිව් දෙනා වරදකරුවන් කරමිනි. චේතාන්විතව නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ නිශ්පාදනය සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කරනු ලැබිණි.
මෙම සිරප් භාවිතය නිසා ඉහත කී දරුවන් මරණයට පත්ව තිබුණේ පසුගිය වසරේ සිට ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු පහට අඩු අය බව සඳහන් වේ.
මෙවැනි සිදුවීම් ලෝකයේ විවිධ තැන්වලින් නිතර දෙවේලේ වාර්තා වීම නිසා ඖෂධ සැපයුම් ජාල පිලිබඳ දැඩි පරීක්ෂාවෙන් පසුවීමට ජාත්‍යන්තර ආයතන කටයුතු කරමින් සිටියි. ඉන්දියාවේ නිශ්ාපාදනය කරන සිරප් වර්ග කිහිපයක් ගැන ද පසුගිය කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබිණි. තම රටින් වෙනත් රටවලට අපනයනය කරන මෙවැනි සිරප් වර්ග අපනයනයට පෙර තත්ත්ව පරීක්ෂාවකට ලක් කළ යුතු බවට මේ වනවිට ඉන්දීය රජය නීතියක් පනවා තිබේ. මේ අනුව අදාළ සිරප් වර්ගවල සාම්පල රජයේ අනුමත විද්‍යාගාරයකින් පරීක්ෂාවට ලක් කරවා ගැනීමට ඖෂධ නිශ්පාදකයන් කටයුතු කළ යුතුය. පසුගිය කාලයේ ලංකාව තුළ ද ඉන්දීය ඖෂධ ගැන විවිධ කසුකුසු පැතිරුණු බව රහසක් නොවේ.
නිහාල් පීරිස්