අනියම් සබඳතා පිළිබඳ පුවත් අද මෙන්ම එදා ද සමාජය පුරා තටු සලා පියාඹා තිබේ.එමෙන්ම ඒ අනියම් සබඳතා කවුරුත් දන්න හඳුණන;ප්‍රකට පුද්ගලයන් ගේ නම් ඒ කට කතා වල ජවය සිය දහස් ගුණයකින් ඉහළ නැංවෙනු ඇත.ඒ නිසාම දෝ කන්ද උඩරට ප්‍රෙමිලා නම් රජ බිසවක හා අයථා පෙමක් ඇති කරගත් බවට චෝදනා ලැබ මරණ දඬුවම ලත් දස්කොන් යන චරිතයක් පිළිබඳව නූතන සමාජය පවා කතා කරති.එපමණක් නොවේ දස්කොන් චරිතය මුල් කොට ගත් ගීත ඇතුළු කලා නිර්මාණ ද බිහි වී තිබේ. නමුදු ලක් ඉතිහාසයේ කිසිදු තැනකින් දස්කොන් නමැත්තකු සොයා ගත නොහැක. මෙම දස්කොන් යන විකෘති නාමයෙන් පසුව හැඳින්වී ඇත්තේ මහනුවර රජ කළ වී රපරාක්රම නරේද්‍රසිංහ රජුගේ (ක්‍රි.ව. 1707-1739) රජ වාසල මහඅධිකාරම් පදවිය හෙබවූ පීඩ්රෝ ගැස්ක්වින් නමැති ප්‍රංශ ජාතිකයා ය. දහතුන් වන සියවසේ එංගලන්තයේ ද භාවිත කොට ඇති gascoighe නම් පෙළපත් නාමය අද ද ප්‍රංශ වැසියන් හට යෙදෙන්නකි. එහෙත්, එය සිංහලයෙන් ගස්කොන් යනුවෙන් ව්‍යවහාර වී ඇති නිසා පැරණි සිංහල ලේඛනවල ඔහු හඳුන්වා ඇත්තේ ගස්කොන් අප්පුහාමි, ගස්කොන් අධිකාරම යන නම් වලිනි. එහෙත්, එම පෙළපත් නාමයෙහි මුලට එන ‘ග’ වෙනුවට ‘ද’ ආදේශ වී ගස්කොන් පසුව දස්කොන් වී ඇත්තේ කෙසේදැයි අද කිසිවකුටත් සොයා ගත නොහැකි වී තිබේ. එමෙන්ම මෙම ගස්කොන් සම්බන්ධයෙන් අතීතයේ සිටම ව්‍යාජ පුරාණෝක්ති කිහිපයක් ගොඩනැඟී ඇත. නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් ඒවා මඩ ගැසීම් ය.එබැවින් අපි දස්කොන්- ප්‍රෙමිලා ව්‍යාජ පුරාවෘත්තියේ සුල මුල සොයා යමු.
ගස්කොන් වෘත්තාන්තය පිළිබඳව සඳහන් පැරණි ජන කවි පෙළකට අනුව ඔහු දෙවැනි රාජසිංහ රජු සමඟ කරන ලද සටනේ දී මියගිය ප්‍රතිකාල් හේවායකුගේ කුඩා දරුවෙකි. පසුව කෝන් ගසක් යට සිටියදී රජතුමා භාරයට පත්වූ මෙම බිළිඳා රජතුමන් විසින් පුත්‍ර ස්නේහයෙන් හදා වඩා ගෙන තිබේ. පසුව ඔහු ‘ගස් කොන්’ යනුවෙන් රට පුරා ප්‍රසිද්ධ වනුයේ බිළිඳකුව සිටියදී රජතුමන්ට ඔහු හමු වූ ස්ථානය වන ‘කෝන් ගස’ යන්න නොපිට පෙරළා ඔහු ගස්කෝන් යනුවෙන් මුල සිටම ප්‍රසිද්ධ වූ නිසා ය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක සූරීන්ගේ ‘සිංහල සාහිත්‍ය ලිපි’සංග්‍රහයේ ද දැක්වෙන මෙම පැරණි ප්‍රවාදය මුළුමනින්ම පදනම් විරහිත වූවකි.
පිළිගත හැකි ඓතිහාසික තොරතුරුවලට අනුව ගස්කොන් එවක දෙවන රාජසිංහ රජුගේ රජවාසල සේවය කළ ප්‍රංශ ජාතික ගස්කොන් නම් සෙනෙවි වරයකුට සහ ඔහුගේ බිරිඳ වන පෘතුගීසි ජාතික කාන්තාවකට දාව මෙම ගස්කොන් හෙවත් දස්කොන් ශ්‍රී ලංකාවේ දී උපත ලබා තිබේ. ඔහුගේ ගස්කොන් යන වාසගම සමඟ බැඳෙන පීඩ්රෝ පෘතුගීසි භාෂාවේ ජනප්‍රිය ආගම් නාමයකි. එය ඔහුගේ මව විසින් තබන ලද්දක් විය හැක. මෙය සිංහලයෙන් ‘පේදුරු’යනුවෙන් හැඳින්වෙන අතර සිංහල ව්‍යවහාරයට අනුව එකල ගස්කොන් ‘පේදුරු ගස්කොන්’ ලෙස හැඳින්වී ඇති බව නිසැක ය.
දස්කොන්ගේ උපත සිදුවූ වර්ෂය පිළිබඳව නිශ්චිත සඳහනක් නැත. එහෙත්, එය මහනුවර රජ කළ දෙවන රාජසිංහ රජු යුගයේ (ක්‍රි.ව. 1635–1687) හෝ ඉන්පසුව බලයට පැමිණි ඔහුගේ පුත් දෙවන විමලධර්මසූරිය රජු සමයේ (ක්‍රි.ව.1687-1707) සිදුව ඇති බව නිසැක ය. කෙසේ හෝ ළමා වියේ සිට තම දෙමාපියන් සමඟ රජ වාසල ඇසුරේ හැදී වැඩුණු ගස්කොන් කුඩා කාලයේ සිටම භාෂා ශාස්ත්‍ර ඉගෙනුමෙහි සුවිශේෂකමක් දැක්වූ බව පෙනෙයි. ඒ නිසාම ඔහු එවක කන්ද උඩරට රාජ්‍යයෙහි විසූ විශිෂ්ටතම උගතකු ලෙස සැලකුණු කිත්සිරි මෙවන් රාජසුන්දර සාමණේර හෙවත් සූරියගොඩ සාමි වෙතින් සිංහල ඇතුළු භාෂා ශාස්ත්‍ර ප්‍රගුන කොට තිබේ. නූතන බෞද්ධ ශාසනික පදනමේ පුරෝගාමියාණන් ලෙස සැලකෙන වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමිගේ ගුරු දේවයාණන් වන සූරියගොඩ සාමි දෙවන විමලධර්මසූරිය රජ සමයේ රක්බංග දේශයෙන් මෙරටට ගෙනා උපසම්පදාව ලැබ එය අපේ රටේ බුදු සසුන හා බද්ධ නොවූ බැවින් යළි සාමණේර බවට පත් යතිවරයෙකි.
නූතන ව්‍යවහාරයට අනුව දස්කොන් නමින් හැඳින්වෙන ගස්කොන් නම් ඓතිහාසික චරිතය මුල් කොට ගත් දැනට ශේෂව ඇති එකම ස්ථානය වනුයේ ඔහුගේ අධ්‍යාපනික නිකේතනය වූ සූරියගොඩ සාමි වැඩ විසූ සූරියගොඩ විහාරයයි.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්කුඹුරෙන් දකුණට හැරෙන වතුරකුඹුර මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකක් පමණ ගිය විට හමුවන සූරියගොඩ ග්‍රාමයේ කුඩා කඳු ගැටයක් මත පිහිටි මෙම විහාරය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ය. දෙවන විමලධර්මසූරියගේ පුතු වන සහ ගස්කොන් අධිකාරම අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියැවෙන ප්‍රමිලා බිසවගේ වල්ලභයා වන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නමින් ශ්‍රී නරේද්රාරාම රජමහ විහාරය නමින් අදටත් හැඳින්වෙන මෙය 1953.10.01 දින අංක 10593 දරන ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. එහෙත් වැලිවිට සරණංකර නාහිමියන්ගේ ගුරු දේවයන් වැඩ සිටි විහාරස්ථානය වන මෙය දස්කොන්ගේ අධ්‍යාපන නිකේතනය ද බව අදත් බොහෝ දෙනෙක් නොදනිති.
ක්‍රි.ව. 1707 ජුනි මාසයේ 04 වන දින සිදුවූ දෙවන විමලධර්මසූරිය රජුගේ මරණයෙන් පසු ඔහුගේ පුත් කුණ්ඩසාලේ කුමාරයා වීරපරාක්රම නරේන්ද්‍රසිංහ ලෙසින් රජකමට පත් විය. එවක ඔහුගේ වයස අවුරුදු දාහතකි.මේ වන විට එම කුමරුගේ සමීප හිතවතකුව සිටි දස්කොන් ද ඊට වඩා වසර කිහිපයක් පමණක් වැඩිමල් තරුණයකුව සිටි බව ඉතා පැහැදිලි ය. කෙසේ හෝ රාජ්‍ය පාලනයට තරම් මුහුකුරා ගිය වයසක පසු වු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ හුදු විනෝදකාමී දිවි පෙවෙත එවක බොහෝ දෙනකුට නොරිසි වූ අතර එවක රටවැසියන් ඔහු හඳුන්වන්නට වූයේ ‘සෙල්ලම් නිරිඳු’ යන උපහාස නාමයෙනි. මේ රජුගේ සමයේ දස්කොන් ඔහුගේ මව සහ නැගණියක සමඟ හඟුරන්කෙත රාජමාලිගාව අද්දර නිවසක පසු වූ බව පැරණි ලේඛනවල සඳහන් ය.
කෙසේ හෝ මෙම ‘සෙල්ලම් නිරිඳු’ ගෙන් රටට ජාතියට සිදුවන අනර්ථය ඉවසා දරා ගත නොහැකි දෙවන විමලධර්මසූරිය සමයේ සිට රජවාසල මහ අධිකාරම් පදවිය හෙබ වූ යාලේගොඩ නිලමේත්, තුන්කෝරලය සහ හතර කෝරලය භාරව සිටි ඒදඬුවාවේ රාලත් රජුට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කරනුයේ රජු මරා පට්ටිය බණ්ඩාර නම් වංශවතකු සිහසුනට පත් කිරීමට ය. එහෙත් සියුම් උපාය ඥානයකින් හෙබි දස්කොන් මෙම ඝාතන කුමන්ත්‍රණය රජතුමාට හෙළි කිරීමත් සමඟ ඊට දක්වන කෘතවේදීත්වයක් වශයෙන් රජතුමා දස්කොන්ට රජවාසල මහඅධිකාරම් පදවිය පිරිනමා තිබේ. මේ සම්බන්ධ වැඩි විස්තර ඉතිහාසඥ එස්.ජී. පෙරේරා පියතුමන්ගේ ලේඛනවල සඳහන් වෙයි.
කෙසේ හෝ ප්රවාදගත තොරතුරුවලට අනුව දස්කොන් අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන යන්නේ තම කලණ මිතුරු රජතුමාගේ අග මෙහෙසිය සමගිනි. එම තොරතුරුවලට අනුව එම සබඳතාව රජු හට හෙළිවනුයේ ද අපූරු ක්‍රමයකට ය. වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජුගේ අග මෙහෙසියට කිසියම් රෝගයක් වැළඳී ඊට ප්‍රතිකාර පිණිස ශාන්ති කර්මයක් සිදු කිරීමට සිදුවෙයි. එහිදී ඇගේ රූපකායට සමාන බලියක් අඹන ලදී. එහෙත්, එම බලි රූපයේ රහස්‍ය ස්ථානයේ උපන් ලපයක් ද සටහන් වී තිබෙනු දුටු රජතුමා විස්මයට පත්ව ඒ පිළිබඳව බලි ඇදුරන්ගෙන් විමසා ඇත්තේ සැබැවින්ම එවන් උපන් ලපයක් බිසවගේ එම ස්ථානයේ පිහිටා ඇති බැවිනි. එවිට බිසවගේ එම ස්ථානයේ එවැනි ලපයක් ඇති බව ගස්කොන් අධිකාරම් තමන්ට කී බව බලි ඇදුරන් රජුට කියා තිබේ. එම හෝඩුවාවෙන් දස්කොන් සහ තම අග බිසව අතර අනියම් සබඳතාවක් ඇති බව මනාව වටහා ගත් රජතුමා තම මිතුරා හිස ගසා මරා දැමීමට නියම කොට තිබේ. මෙම කතා පුවත සිංහල මහාවංශයේ උප ග්‍රන්ථයේ ද ඇත. එහෙත් දස්කොන්ගේ මරණය සම්බන්ධයෙන් මහනුවර අස්ගිරි මහා විහාරයේ ඇති පැරණි තල්පතක ඇත්තේ අන්තඃපුරයෙහි සිදු කරන ලද යම් වරදක් නිසා රජතුමා ඔහු ශූලවධයට ලක් කළ බවකැයි මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා කියයි. එහෙත් ‘ශූලවධය’ යනු උල හිඳුවීම මිස හිස ගසා දැමීම නොවේ.
එමෙන්ම හෝ දස්කොන් සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ ‘ප්‍රමිලා’ නම් අග බිසවක පිළිබඳ තොරතුරක් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක සඳහන් නොවීම ද දස්කොන් ප්‍රමිලා පෙම් පුවත කල්පිතයක් බව සනාථ කරවීමට තුඩු දෙන වැදගත් සාක්ෂියකි.
චූලවංශය, මන්දාරම්පුර පුවත ආදී දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වල සහ සමකාලීන ලන්දේසි මූලාශ්‍ර වල දැක්වෙන අන්දමට වීර පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන් ගෙනෙන ලද සූරියවංශයට අයත් ද්‍රවිඩ කුමරියකි. රජතුමා වයස අවුරුදු දහ අටේදී එනම් 1708 වසරේදී එම කුමරිය සරණ පාවා ගත් අතර එම මංගල දූත මෙහෙවරට නායකත්වය දුන් මාතලේ හුලංගමුවේ නිලමේ වරයාට අම්බොක්ක ගම්වරය ප්රදානය කළ බවත් පැරණි සන්නස් පත්‍රයක සඳහන් වේ. නමුදු ඇය ප්‍රමිලා නමින් හැඳින්වුණු බව හෝ සිංහල භාෂාව පිළිබඳ ප්‍රමාණවත් හැකියාවක් ඇය තුළ තිබූ බව හෝ කිසිදු මූලාශ්‍රයකින් තහවුරු නොවේ. ඒ අනුව පෙනී යන්නේ ද මෙම දස්කොන් ප්‍රමිලා අතර ඇති වූ “සක්මන් කරන මලුවේදී බැඳි හාද” ආදී වශයෙන් වන කවි සංවාද ද මෑතකදී ප්‍රබන්ධ කෙරුණු ඒවා බව ය.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා උඩරට ප්‍රභූවරුන්ගේ ද්වේෂයට ලක් වීමට එක්තරා ප්‍රධාන හේතුවක් තිබිණි. එනම් ඔහු එවක මෙරට පැවැති ප්‍රධාන සංස්කෘතික දහරාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව හිතුමතේ කටයුතු කිරීම ය. ඒ සඳහා විජාතික සම්භවයක් සහිත දස්කොන්ගේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් ඉවහල් වන බව වටහාගත් කන්ද උඩරට ජන ප්‍රධානීහු රජතුමා සහ දස්කොන් බිඳවීමේ සියුම් කුමන්ත්‍රණයකට මුල පුරන්නට ඇත.
අප රටින් බිහි වූ එකම කිතුණු සාන්තුවරයාණන් බවට පත් ජුසේ වාස් පියතුමා මුල්වරට අප රටට පැමිණෙනුයේ වර්ෂ 1687 වසරේ ය. පසුව කැල්වින් රෙපරමාදු ආගමිකයන් විසින් එල්ලවන තර්ජන ගර්ජන හමුවේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රැකවරණ ලබන ජුසේ වාස් පියතුමා වෙතින් පෘතුගීසි භාෂාව ද ප්‍රගුණ කරන දස්කොන් එතුමන්ට දක්වන සුවිශේෂ අනුග්‍රහය කන්ද උඩරට ප්‍රභූවරුන්ගේ නොසතුටට හේතුවන්නට ඇත. එමෙන්ම ඒ වන විට කන්ද උඩරට රාජ සභාවේ සමීපතමයන්ව සිටි 1705 වසරේ මේ රටට ගොඩ බසින ලද ජාකෝමේ ගොන්සාල්වෙස් ඉන්දියානු පියතුමාත් 1708 ගොඩබසින ඉග්නේෂියෝද අල්මේදා පියතුමාත් දෙවන රාජසිංහ සමයේ මේ රටට පැමිණි ලැනරෝල් නම් ප්‍රංශ ජාතිකයාගේ පුතාත් සමඟ ගස්කොන් එක්වීම මෙරටට එරෙහි විජාතික බලවේගවල එකමුතුවක් සේ එකල කන්ද උඩරට ජන ප්‍රධානීන් හට පෙනී ගොස් තිබේ. එමෙන්ම දස්කොන් විසින් ජාකෝමේ ගෙන්සාල්වෙස් පියතුමාට සිංහල බස උගන්වා බුදු සමයට එරෙහි දේශනා සහ ලේඛන වෙත එතුමා යොමු කරවීම සම්බන්ධයෙන් ද දස්කොන්ට භාෂා ශාස්ත්‍ර ඉගැන්වූ සූරියගොඩ සාමි ද ඒ වන විට දස්කොන් හා දැඩි නොමනාපයෙන් පසු වූ බවට සැක නැත.
දස්කොන්ගේ මරණය කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත් එහිදී එක් භික්ෂුවක් මුල් තැන ගෙන ක්‍රියා කළ බවත් දහ නව වන සියවසේ මෙරට රාජ්‍ය නිලධාරියකුව සිටි මානව විද්‍යාඥ හියු නෙවිල් සඳහන් කොට ඇත. ඒ කෙසේ හෝ අන්තඃපුරය මුල් කොට ගත් කිනම් හෝ චෝදනාවක් මුල් කොට රජතුමන් විසින් දස්කොන් බන්ධනාගාරගත කළ බවත් එහිදී ඔහු විසින් ලියන ලද ‘නෝක්කාඩු මාලය’ නම් පද්‍යාවලිය රජතුමන් වෙත යොමු කළ ද එය නිසි ලෙස යොමු නොවීම මත දස්කොන් මරණ දඬුවමට ලක් වූ බවත් ඓතිහාසික තොරතුරු වලින් පැවසෙයි.
එමෙන්ම දස්කොන්ගේ මරණයෙන් පසු රජතුමාට සැලවූ තොරතුරු මත සූරියගොඩ සාමි සිරභාරයට ගෙන මරණ දඬුවම පැනවූ රජතුමා එතුමන් වැඩ සිටි සූරියගොඩ විහාරය සතු දේපළ ද ඒ සම්බන්ධයෙන් රජුට තොරතුරු සැපයූ උඩපොළ අප්පුහාමි නම් ජන ප්‍රධානියකු හට පවරා තිබේ. එමෙන්ම දස්කොන් මැරවීම සම්බන්ධ කුමන්ත්‍රණයට හවුල් බවට සැලකූ එවක සිටි මුල් පෙළේ ධර්ම ශාස්ත්‍රීය විශාරද වරයකු වන විහාරේ රාලහාමි හෙවත් ලෙව්කේ බණ්ඩාර ද මාකෙහෙල්වල සිර කොට ඇත. මේ සියලු කරුණුවලින් පෙනී යන්නේ අවිවාහකයකුව සිටි දස්කොන් වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අන්තඃපුරයට පිවිස අවකල් ක්‍රියාවක යෙදීම හෝ ඒ පිළිබඳව ලැබුණු බොරු ආරංචියක් මත මරණ දඬුවමට ලක්වීම කෙසේ වෙතත් රජුගේ අග මෙහෙසිය හෝ වෙනයම් මෙහෙසියක සමඟ ඇති කර ගත් ප්‍රේමයක් මුල් කොට ජීවිතය පූජා කළ පුවත මූලයක් නොමැති;අමූලික බොරුවක් බවය.
තිලක් සේනාසිංහ