කිරි පිටි, ගෑස්, තිරිගු පිටි, සහල් මෙන්ම සිමෙන්ති මිල ද වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටියි. රජයේ ජීවන වියදම් කමිටුව රැස්වී මේ තීරණය ගත්තේ ඉකුත් සතියේ ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබුණි.
මෙම තීරණය ප්‍රකාරව කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් ඉහළ යනු ඇත. 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින් ඉහළ යාමට නියමිත ය. තිරිඟුපිටි රුපියල් 10 කින් හා සිමෙන්ති රුපියල් 50 කින් ඉහළ දැමීමට අවසර හිමිව තිබේ. සහල් සඳහා පාලන මිලක් නියම කර තිබූ අතර එහිදී රුපියල් 120 ක් වූ කීරි සම්බා කිලෝවක් රුපියල් 140 දක්වා ද, රුපියල් 103 ක් වූ සම්බා කිලෝවක් රුපියල් 120 දක්වාද ඉහළ දැමීමට නියමිත ය.
ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව ගත් තීන්දුව ඊයේ (27) රාත්‍රියේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබේ. එසේම මේ වන විට වරායේ සිරවී ඇති කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට ද තීරණය කර ඇත. මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැත.
කෙසේ නමුත් ජනතාව මේ වන විටත් ජීවන වියදම් අර්බුදයකින් පෙළෙමින් සිටිති. මාස කිහිපයක සිට ජනතාවට කිරි පිටි නැත. පිටි පැකැට්ටුවක් මිලදී ගැනීම වෙනුවෙන් පෝලිම්වල පැය ගණන් රස්තියාදු වීමට ජනතාවට සිදුව තිබේ. සමහර පුද්ගලයන්ට පැය ගණන් පෝලිමේ සිටියත් අවසානයේ හිස් අතින් හැරීයාමට සිදුවූ අවස්ථා මාධ්‍ය මගින් දැකගන්නට හැකි විය.ශ්‍රී ලාංකේය ජනතාව තම පාරිභෝහික අවශ්‍යතා සඳහා පෝලිම් ගැසී සිටින ඡායාරූප විදෙස් මාධ්‍ය වල ද පළ විය.
වත්මන් ගෑස් ගැටළුව ද එසේම ය. ලාෆ් ගෑස් මිල ඉකුත් මාසයේදී රුපියල් 383 කින් මිළ ඉහළ දැමුව ද තවමත් අවශ්‍ය ප්‍රමාණයට වෙළෙද පොලේ ගෑස් නොමැත. ජනතාව හිස් ගෑස් සිලින්ඩර් වාහනවල පටවාගෙන ගෑස් අලෙවිසැල්වල රස්තියාදු වෙමින් සිටිති. නාගරික ජනතාවට දර ලිප් භාවිතා කළ නොහැකිවීම නිසා මේ බොහෝ දෙනෙක් අද පිටතින් ආහාර ගෙන්වා ගෙන කෑමට පුරුදුව සිටිති.
ගෑස් අර්බුදය විසදීම වෙනුවෙන් ලාෆ් ගෑස් සමාගම හා ලිට්රෝ ගෑස් සමාගම එකතු කොට නව ගෑස් සමාගමක් පිහිටුවීමට මහාභාණ්ඩාගාරය කටයුතු කරනු ලැබූවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් ප්‍රකාරව ය. ගෑස් අර්බුදය විසඳීමට පිළියම් සොයන්න උපදෙස් දුන්නත් තවත් ගෑස් සමාගමක් පිහිටුවීමට අවසර නොදුන් බව ජ.වි.පෙ මධ්‍යම කාරක සභික සුනිල් හදුන්නෙත්ති කීවේය.
සියොලිට් නමින් මෙම සමාගම ආරම්භ කර තිබු අතර මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු එහි සභාපති ලෙස පත් කර තිබුණි. ලාෆ් ලංකා සමාගමේ හා ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරින් අධ්යක්ෂ මණ්ඩලය ලෙස පත් කර තිබුණි. ලාෆ් ගෑස් සමාගම මේ වන විට මෙරට බැංකුවලට රුපියල් කෝටි ගණනක ණයකරුවකු වී තිබීම තුළ නව සමාගමක් ස්ථාපිත කොට එහි ලාභංශයන්ගෙන් ලාෆ් සමාගමේ ණය ගෙවාදැමීමේ අරමුණ වී තිබේ.
ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ තාවකාලිකව මෙම සමාගමේ කටයුතු අත්හිටුවා ඇත. නමුත් අර්බුදය තීව්රවෙද්දී එය යළි ස්ථාපිත වනු නොඅනුමාන ය. මහා භාණ්ඩාගාරය කුමන තීන්දුව ගත්ත ද සැබෑ ජනතා ප්‍රශ්න විසඳෙන බවක් පෙනෙන්නට නැත.
කැබිනට් මණ්ඩලය සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට තීන්දු කළ ද පාලන මිලට සහල් වෙළෙද පොලේ තිබුණේ නැත. බොහෝ වෙළෙද සැල් සහල් සගවා අලෙවි කළ අතර තවත් පිරිස් තමන්ට හිතවත් පුද්ගලයන්ට පමණක් සහල් නිකුත් කළේ ය.
එම මුදලට සහල් අලෙවි කළ නොහැකි බව වෙළෙදුන් මෙන්ම සහල් මෝල් හිමියෝ ද දිගින් දිගටම ප්‍රකාශ කළහ.කුඩා සහල් මෝල් හිමියන් කියා සිටියේ තමන් වෙළෙඳා මෙන් ඉවත් වන බවය.
එවැනි තත්වයක් යටතේ රජය සහල් පාලන මිල ඉවත් කර තිබේ. ඒ අනුව අද සිට සිතූ සිතූ මිලට සහල් අලෙවි වනු ඇත. රජය රුපියල් 120 ට කීරි සම්බා කිලෝවක් අලෙවි කරන ලෙස පාලන මිලක් නිකුත් කළ ද වෙළෙද පොලේ සහල් අලෙවි වූවේ කීරී සම්බා කිලෝවක් රුපියල් 200 ට ය.
එම මිල තවදුරටත් ඉහළ නොයේවායි අපි ප්‍රාර්ථනා කරමු. එසේම අතිරික්ත තොගයක් ලෙස තබා ගැනීමට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද රජය තීරණය කර තිබේ. සහල් මිල පාලනය කිරීමට යැයි කියමින් ඉතිහාසය පුරා ආනයනය කළ සහල්වලට සිදුවූවේ කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
මේ සහල් බොහෝ අවස්ථාවල ගෙන්වූ මිලටත් අඩුවෙන් සත්ව ආහාර ලෙස අලෙවි විය..
කැබිනට් මණ්ඩලය ගත් තවත් තීන්දුවක් වූවේ බදු ගෙවීමට නොහැකිව වරායේ රඳවා ගෙන සිටින කිරීපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට ය. ඒ වෙනුවෙන් රේගුවට අය විය යුතු මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදා හැරීමට ය. ඩොලරයේ අගය ඉහළයාම මත ආනයනය කළ භාණ්ඩ ආනායනික සමාගම් විසින් මුදාගත්තේ නැත.
රජය උත්සාහ කරන්නේ එම භාණ්ඩ නිදහස් කොට මිල ඉහළ නොදමා සිටීමට ය. නමුත් කිරිපිටි සමාගම් ඊට එකගතාවය පළ නොකිරීම නිසා අර්බුදය මෙයින් අවසන් වෙතැයි කිව නොහැක. ජනතාවට තවදුරටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පීඩනයට මුහුණදීමට සිදුවීම නොවැලැක්විය හැකි කාරණයකි.
මේ සියළු තත්වයන් යටතේ අගමැති වරයා විපක්ෂයේ සිටිය දී මැතිවරණ වේදිකා මතට නැඟී කෑගසා ඇසූ”දැන් සැපද?”යන ජනකාන්ත පැනය මොන තරම් කෲර සරදමක් දැයි දැන් ජනතාවට කෙමෙන් වැටහෙමින් තිබේ.
ලසන්ත වීරකුලසූරිය