දිනෙන් දින බිඳ වැටෙන රනිල් ගේ රාජපක්ෂලා රැකීමේ මිත්‍ර ව්‍යාපෘතිය

දිනෙන් දින බිඳ වැටෙන රනිල් ගේ රාජපක්ෂලා රැකීමේ මිත්‍ර ව්‍යාපෘතිය රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් වූයේ දේශපාලනමය වශයෙන් මරු කටකට ඇද වැටී සිටින රාජපක්ෂලා බේරා ගැනීමට යැයි බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් සමාජයේ පවතින මතය වන්නේ ඔහු රාජපක්ෂ හිතවතෙකු යන්න ය. යහපාලන රජය සමයේ රාජපක්ෂලා නඩු වලින් බේරාගත්තේ ඔහු බවට මුල්ම චෝදනාව එල්ල කළේ එවක ජනාධිපති සිරිසේන ය.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පසුව එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පවා මේ කතාව කීහ. රන්ජන් රාමනායක වරෙක කියූ කතාවක් ද මෙයට හොඳින් ගැලපී ගියේය. ඒ “එයාලා ඔක්කොම යාලුවෝ මල්ලී” යන්න ය. රනිල් ට රාජපක්ෂ පවුල උත්සවයකදී මුණ ගැසී කතා බහ කරමින් සිටින ඡායාරූපයක් හසුවුවහොත් එයට දැමූ ශීර්ෂපාඨය වූයේ ද “එයාලා ඔක්කොම යාලුවෝ මල්ලී” යන කතාවම ය.

පාර්ලිමේන්තු පමණක් නොව පළාත් සභා, ප්‍රාදේශීය සභා දක්වා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මිතුරන් ය. රන්ජන් රාමනායකටත් එසේ ප්‍රතිපක්ෂ මිතුරෝ සිටිති. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පවා පාර්ලිමේන්තු ලොබියේ දී ප්‍රතිපක්ෂ මන්ත්‍රීවරුන් මුණ ගැසෙති .සුහද කතා බහ විහිළු තහළු කර ගනිති. එසේම ඔවුන් හෙළිකරන වංචා දුෂණ ලිපි ගොනු මෙන්ම ආණ්ඩුව දමන කැබිනට් පත්‍රිකා ඔවුන්ට ලැබෙන්නේ ද ඔවුන්ගේ ඇමති මිතුරන් අතිනි.ඔවුන් පසමිතුරන් වන්නේ තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති වලින් පමණි.මෙසේ එකිනෙ`කට විරුද්ධ මත දරන පිරිස් පවුල් තුළ පවා දැකිය හැක.

එහෙත්, ඔවුන් සියල්ලන්ටම ප්‍රතිපක්ෂවල මිතුරන් සිටිය හැකි මුත් රනිල්ට එසේ සිටිය නොහැකිය යන මතය මේ සියළු දෙනා සමාජගත කර තිබේ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1977 දී ය. එහෙත් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1970 දී ය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති කාලයේ විපක්ෂයට ඇයගේ අඩු පාඩු සියල්ල ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ බව ප්‍රසිද්ධ රහසකි.එනිසා එවක චන්ද්‍රිකා මහින්ද ප්‍රසිද්ධියේම “රිපෝටර්”නමින් හඳුන්වන ලදී.

එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ය. ඉතින් මහින්ද -රනිල් මිතුරන් වීම ස්වභාවික කාරණයකි. එවැනි මිතුරෝ මන්ත්‍රීවරුන් සැමට සිටිති. ඔවුන් ඇමතිවරුන් වන විට තම බලතල යොදා ප්‍රතිපක්ෂ මිතුරන්ට උදව් කරති. එහෙත්, සමාජයට ඔවුන් පෙන්වන්නේ ඔවුන් සතුරන් ලෙසය. එහෙත්, රනිල් වික්‍රමසිංහ එලෙස කළේ නැත. ඔහු මිතුරු බව අනෙක් අය මෙන් සඟවන්නට උත්සාහ කළේ නැත. එම නිසා රාජපක්ෂවරු රැක ගන්නේ ඔහු බවට ප්‍රචාරය විය.

එසේම රනිල් වික්‍රමසිංහගේ විපක්ෂ නායක ධූරයට එරෙහිව පක්ෂයෙන් කැරළි පැමිණෙද්දී මහින්ද රාජපක්ෂ උපකාර කළේ සිරිකොත ඉදිරිපිට මාර්ගය කාපට් කිරීමට යන්ත්‍ර සූත්‍ර යවා එම මාර්ගය තාවකාලිකව වසා දැමීමෙනි. එය රනිල් ඉල්ලා කල දෙයක් නොවුණ ද අවසානයේ ප්‍රචාරය වූයේ එය මහින්ද රනිල්ව රැක ගැනීමට කළ දෙයක් බවට ය. එහෙව් රනිල් අවසානයේ ශ්‍රීලනීපයේ මහලේකම්වම මහින්දට විරුද්ධව ජනාධිපතිවරණයට ගෙනාවේය.දේශපාලනයෙන් එපිට මොන මිතු දම තිබුණත් දේශපාලනයේ දි රනිල් කටයුතු කළේ තමන්ගේ ජයග්‍රහණය උදෙසා ය.රනිල් මහින්ද රාජපක්ෂව මැදමුලන වලවවේ ජනේලයේ එල්ලුවාට මිනිසුන් කතා කළේ 2015 ජනපතිවරණයෙන් පරාජය වූ මහින්දට අරලියගහ මන්දිරිය හැර ගමරට යාමට ගුවන් පහසුකම් සැලසීම ගැන ය.

ගෝඨාගෝ ගමට හා මයිනා ගෝ ගමට ප්‍රහාර එල්ල වීමත් සමඟ ජනතාව කුපිත වී ආණ්ඩු පක්ෂ දේශපාලඥයන්ට පහර දෙන්නට පටන් ගත්හ. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ත්‍රීකුණාමලය නාවුක හමුදා කඳවුරට ගොස් සැගවෙන්නට සිදුවූයේ කුපිත වූ පිරිස් අරලියගහ මන්දිරයට ඇතුළුවීම නිසාය. රට අරාජික වෙමින් යද්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ නායකයින්ට අගමැතිධූරය බාරගන්නට ආරාධනා කරද්දී ඔවුහු කොන්දේසි දමමින් කල්මරන්නට වූහ

එහෙත්, රනිල් වික්‍රමසිංහ එම අවස්ථාවේ අගමැති ධූරය බාරගත්තේය. රට ආරාජික කොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගිනිබත් කොට දේශපාලන වාසිගන්නට බලා සිටි පිරිසට මෙය දිරවූයේ නැත. එම නිසා ඔවුන් යළිත් ප්‍රචාරය කරන්නට වූයේ රනිල් රාජපක්ෂලා ආරක්ෂා කරන්නට පැමිණි බව ය.

රාජපක්ෂවරු රකින්නට පැමිණියාය කී රනිල් අගමැති වී මාසයක් ඉක්මයන්නට මත්තෙන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්විය. ලබන සතිය වන විට චමල් රාජපක්ෂ ඉවත් වන බවට ප්‍රචාරය වී තිබේ. හම්බන්තොට ගොවි සමිති නායකයන් හමුවේ පසුගිය දා ඔහු එය ප්‍රසිද්ධියේම කියා තිබුනි. චමල් රාජපක්ෂ ද ගොවි සමිති නියෝජනය කරන අයෙකු නිසා ඔහු සිය සාමාජික හිතවතුන් හමුවේ හමුවේ “අපිට හැමදාම මේවා බදා ගෙන ඉන්න බෑ කවදා හරි අත අරින්නම වෙනවා”යනුවෙන් කියා තිබිණ.එසේම සෞඛ්‍ය දුර්වලතා මත දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින ලෙස වෛද්‍යවරුන් මහින්ද රාජපක්ෂට උපදෙස් දී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔහු ද හැකි ඉක්මණින් දේශපාලනයෙන් සමුගනු ඇතැයි ද වාර්තාවේ. මේ අතර රනිල් ගේ ආගමනයෙන් පසු රාජපක්ෂ තුළ ද විරසකයක් මතුව ඇති බවට දේශපාලන ඕපාදූපකරුවන් වාර්තා කර තිබුණි.

ඇතැමුන් පවසනුයේ බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී කමින් ඉල්ලා අස්වීමට හේතුව ද එම පවුලේ විසරකය බවය.එමෙන්ම රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් සැකසෙන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රාජපක්ෂලාගේ දේශපාලන ඉදිරි පිම්ම “රිවස්”කෙරෙන කරුණු බොහොමයකි.එම සංශෝධනයට අනුව තමන් සතු විධායක බලය පාර්ලිමේන්තුවට දීමට ජනාධිපති ගෝඨාභය ද මේ වන විට කැමැත්ත පළ කොට තිබේ.එමෙන්ම නාමල් සහ ශෂීන්ද්‍ර යන රාජපක්ෂ වරු ද ජාතික නායකත්වය නමැති සයුර තරණය කිරීමට තබා එහි වෙරළ දැක ගැනීමටවත් මේ තාක් සමත් වී නැත.ඔවුන් සිතනයේ තමන්ගේ කර පටලාගෙන සිටින පරම්පරා සාටකයම කවදා හෝ තමන්ට දේශපාලන විමුක්තියක් සළසා දෙනු ඇතැයි කියාය.
එසේ නම් රාජපක්ෂලා ආරක්ෂා කරන්නට ආ රනිල්ට එය බැරි වී ඇත. ඒ අනුව බලන විට රනිල් එතන දී නම් බරපතල ලෙසම පරාද ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර