මේ නොවැම්බර් මාසයයි. බටහිර කිතුනු පිළිවෙත්වලට අනුව සියලු සාන්තුවරයන්ගේ දිනයට පසුව එලැඹෙන නොවැම්බර් 02 වැනිදා මළවුන්ගේ දිනය ලෙස සැළකෙන අතර නොවැම්බර් මාසය පුරාම කිතුනුවෝ මළවුන් සමරති. ජීවත් වන්නුවන් සේම මළවුන් ද ගෞරවනීය ලෙස සැළකිය යුතු බව එයින් අදහස් වනවා විය හැකිය. මළවුන් වෙනුවෙන් සිය ජීවිතයම කැප කළවුන් මෙවැනි අවස්ථාවක සිහිිපත් වන්නේ නිතැතිනි. විශේෂයෙන් කාන්තාවක සිය ජීවිතයම ඒ වෙනුවෙන් කැපකර සිටී නම් එය විශේෂත්වයකි. පිරිමියකු විසින් අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කරනු දැකීමෙහි අමුත්තක් නැත. නමුත් කාන්තාවක විසින් කිසිවකුගේ උදව්වක් නොමැතිව තනිව මෙවැනි කාර්යයක නිරත වීමක් දකින්නේ නම් ඒ පිළිබඳ විශේෂයෙන් සොයා බැලීමට පෙළඹවීමක් ඇති විය හැකිය. විශේෂයෙන් හින්දු ආගම පැතිර පවතින ඉන්දියාවේ එවැන්නක් සිදුවීම කලාතුරකින් දැකිය හැක්කකි. අනෙක් අතට හින්දු ආගම අනුව එවැනි කටයුතුවල යෙදීම කාන්තාවන්ට සුදුසු දෙයක් ද නොවේ. නමුත් නවදිල්ලියේ වෙසෙන 28 හැවිරිදි පූජා ෂර්මා මේ කාර්යයෙහි නිරත වනු නිතර දැකිය හැකිය. අවසන් කටයුතු සිදු කරන්නට කිසිදු අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු ඒ වෙනුවෙන් සූදානම් කිරීම සඳහා නීත්‍යානුකූලව සිය භාරයට ගෙන ඒවාට නිසි ගෞරවය ලබා දෙමින් අවසන් ගෞරව පුද කරන්නට ඇය කටයුතු කරයි. මුල් කාලයේ තනිව මේ කටයුතු සිදු කළ ඇය මේ වන විට ඒ වෙනුවෙන් Bright the Soul Foundation නම් සංවිධානයක් පිහිටුවා තවත් පිරිසකගේ සහාය ඇතිව මේ කාර්යය සිදු කරයි. 2022 වසරේ සිට ඇය මේ වන විට අයිතිකරුවකු නොමැති මළ සිරුර 5000 කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් අවසන් කටයුතු ඉටුකරලන්නට සමත්ව තිබේ.
“මගේ සොහොයුරාගේ ආදාහනය සිදු කළ දා මට වේදනාව දරා ගන්නට නොහැකි වුණා. මම ඔහුගේ අලු මගේ මුහුණේ සහ හිසෙහි තවරා ගත්තා.” ඇය පවසන්නීය. “කෙනෙකුගේ ජීවිතයේ අවසන් අවස්ථාව කොයි තරම් වැදගත් ද කියලා මට වැටහුණා. මට හැකි තරම් පිරිසකගේ ජීවිතයේ අවසන් කටයුතු ගෞරවනීය ආකාරයෙන් සිදු කරන්න අවශ්‍යයි කියන සිතිවිල්ල එදා තමයි ඇති වුණේ.”
මෙය ඇය සිය කැමැත්තෙන් තෝරා ගත් කාර්යයක් නොවේ. මධ්‍යම පාංතික, හොඳින් අධ්‍යාපනය ලබා ගත් කාන්තාවක ලෙස ඇයට ද උසස් ලෙස විවාහ ජීවිතයක් ආරම්භ කර දරුමල්ලන් සහිත ජීවිතයක් ගත කරන්නට උරුමව තිබිණි. ඇගේ මව ඇය වෙනුවෙන් ගැළපෙන මනාලයකු ද සොයා ඇගේ විවාහය වෙනුවෙන් ආභරණ පවා මිල දී ගන්නට කටයුතු කර තිබිණි. නමුත් ඇගේ මව මොළයේ අභ්‍යන්තර ලේ වහනයක් නිසා 2019 වසරේ දී මිය ගියාය. ඉන් වසර තුනකට පසු ඇගේ වැඩිමහලු සොහොයුරා වූ රාමේෂ්වර්, සුළු බහින්බස් වීමක ප්‍රතිඵලයක් ලෙස ඇය ඉදිරියේ දීම කෲර ලෙස ඝාතනයට ලක් විය. මේ සිදුවීම සැල වූ ඇගේ පියා කොමා තත්ත්වයකට පත් විය. හින්දු චාරිත්රයන්ට අනුව ඇයට අවමංගල්‍ය චාරිත්‍ර සිදු කළ නොහැකි වුව ද ඇයට වෙනත් විකල්පයක් තිබුණේ නැත.
“මගේ සොහොයුරාගේ ආදාහනය සිදු කළ දා මට වේදනාව දරා ගන්නට නොහැකි වුණා. මම ඔහුගේ අලු මගේ මුහුණේ සහ හිසෙහි තවරා ගත්තා.” ඇය පවසන්නීය.
“කෙනෙකුගේ ජීවිතයේ අවසන් අවස්ථාව කොයි තරම් වැදගත් ද කියලා මට වැටහුණා. මට හැකි තරම් පිරිසකගේ ජීවිතයේ අවසන් කටයුතු ගෞරවනීය ආකාරයෙන් සිදු කරන්න අවශ්‍යයි කියන සිතිවිල්ල එදා තමයි ඇති වුණේ.”
ඇය රජයේ රෝහලක ඒඩ්ස් රෝගීන් සඳහා උපදේශිකාවක ලෙස නිරත වෙමින් සිටි රැකියාවට සමු දී මේ කාර්යය ආරම්භ කළාය. ඇයගේ විවාහය වෙනුවෙන් මව විසින් මිල දී ගනු ලැබූ ආභරණ සියල්ල විකුණා දැමූ ඇය මේ කාර්යය සඳහා අවශ්‍ය අරමුදල් එයින් සපුරා ගත්තාය.
හුදෙකලාව, කිසිදු හිමිකරුවෙක් නොමැතිව බොහෝ විට නමක් හෝ නොදන්නා අයුරින් ජීවිතයට සමු දෙන සියලු දෙනාගේ ආත්මයන්ට සිය ජීවිත කාලයේ දීම හෝ නොලැබුණු ගෞරවය හිමි කර දෙන්නට ඇගේ මේ සංවිධානය හෘදයාංගම බවින් කැපවී සිටියි. පූජා ඇතුළු ඇගේ සංවිධානයේ සියලු දෙනා විශ්වාස කරන්නේ හුදෙකලාව මෙලොව හැර යන සියලු ආත්මයන් පසුපස කුමක් හෝ කතාවක්, ජීවමානව පැවති ජීවිතයක්, අමතක නොකර සිටින්නට තරම් වටිනා උරුමයක් පවතින බවය.
ඔවුන්ට හමුවන මෙවැනි ප්‍රාණය නිරුද්ධ වූ සිරුරු ඉතා ගෞරවයෙන් යුක්තව අවසන් කටයුතු සූදානම් කරවයි. මිය ගිය තැනැත්තා ජීවත්ව සිටි කාලයේ අනුගමනය කළ ආගමික විශ්වාසයන් පිළිබඳ තොරතුරක් සොයා ගත හැකි නම් ඒ විශ්වාසයන්ට අනුව අවසන් කටයුතු සිදු කරන්නට ඔවුහු කටයුතු කරති. පූජා ඇතුළු මේ සංවිධානයේ පිරිස, කිසිවකු නොහඳුනන මේ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් බවට පත්වෙති. අවසන් කටයුතුවල සෑම පියවරක්ම නිසි පරිදි මහත් ගෞරවනීය ලෙස සිදු කෙරෙයි. කිසිදු ජීවිතයක් ගෞරවයකින් තොරව අවසන් නොවිය යුතු බවත් කිසිදු ආත්මයක් නොහඳුනන සේ මෙලොවින් නික්ම නොයා යුතු බවත් පූජා තරයේම විශ්වාස කරන්නීය.
මේ සෑම අවසන් කටයුත්තක් වෙනුවෙන්ම පූජා පෞද්ගලිකවම සහභාගී වෙයි. අවසන් ගෞරවය සිදු කෙරෙන සෑම අවස්ථාවකදීම ඇය මූලික වී සියලු කටයුතු සංවිධානය කරයි. මෙලොවින් සමුගෙන ඇත්තේ තමාගේ කිසිවකු නොවුන ද ඒ හැඟීම මේ සංවිධානයේ කිසිවකු තුළ හෝ නොමැත. දේහය වෙනුවෙන් පුෂ්පෝපහාර පවා පවත්වන්නේ මහත් ගෞරයෙන් හා හික්මීමකිනි. සෑම ආත්මයකටම සැනසීමෙන් මෙලොවට සමු දෙන්නට කළ හැකි සෑම කටයුත්තක්ම ඔවුහු ඉටු කරති.
මේ සංවිධානයේ ආදර්ශ පාඨය වන ‘නොමතකව ගිය ආත්මයන්ට ආලෝකය රැගෙන ඒම’ ඔවුන්ගේ සෑම කාර්යයක්ම තුළින්ම පිළිබිඹු වෙයි. සංවිධානයේ සාමාජිකයන් පමණක් නොව මෙය දකින පිටස්තරයකුගේ පවා දෙනෙත් කඳුළින් පිරී තිබෙනු දැකිය හැකිය.
සමස්ත ඉන්දියාව මුළුල්ලේම සිය සංවිධානය ව්‍යාප්ත කරන්නට පූජා අධිෂ්ඨාන කරගෙන සිටියි. ආරම්භයේ දී සුළුවෙන් පැවති මෙය අද වන විට රාජ්‍ය නොවන සංවිධානයක් බවට පත්ව තිබේ. මේ වන විටත් බොහෝ ප්‍රදේශවල සිය කාර්යයක් සිදුකරගෙන යන්නට ඇය සමත්ව සිටියි. මෙලොව හැර යන ආත්මයන්ට සැනසීම ලබා දෙනවාට අමතරව ඇගේ සංවිධානය පාරිසරික සුබසාධනය, අසරණ වැඩිහිටියන් සහ දරුවන් රැක බලා ගැනීම, පිහිටක් නොමැති දරුවන්ට අධ්‍යාපන පහසුකම් ලබා දීම, පිහිටක් නොමැති කාන්තාවන්ට පිහිට වීම සිදු කරනු ලබයි.
Bright the Soul Foundation සංවිධානය රෝහල්, පොලිස් දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතන සමග සමීපව කටයුතු කරගෙන යයි. කිසිවෙකු නොමැතිව මිය යන මිනිසුන්ගේ දේහයන් සේම අසරණ බවට පත් වූවන් පහසුවෙන් හඳුනා ගැනීමට එවැනි ආයතන සමග ඇති සබඳතා ඔවුන්ට උපකාරී වෙයි.
දිළින්දන් යනු සමාජයේ ජීවත් වන සියලු දෙනා හා සමානව ගෞරවයෙන් සහ ආදරයෙන් සැලකුම් ලැබිය යුතු පිරිසකි. එමෙන්ම කාර්ය බහුල සමාජය තුළ සිදුවන පවුල් ව්‍යුහයේ වෙනස් වීම් සහ නවීකරණය වැනි කාරණා නිසා වැඩිහිටි ජනගහනයට ද නිසි ආදරය, සැලකිල්ල සහ ගෞරවය දිනෙන් දින අහිමි වෙමින් පවතී. මේ සියලු ගැටලුුවලට විසඳුමක් ලෙස පූජාගේ Bright the Soul Foundation සංවිධානයේ ඊළඟ දැවැන්ත අරමුණ බවට පත්ව ඇත්තේ ‘මනුෂ්‍යත්වයේ දෙවොල’ (Temple of Humanity) ගොඩනැගීමය.
සඳ මතට යානාවක් සාර්ථකව ගොඩ බස්සන්ට තරම් තාක්ෂණික දියුණුවක් ඉන්දියාවේ පැවතිය ද දිළිඳු බවේ අන්තයටම වැටුණු බොහෝ දෙනෙක් එහි ජීවත් වන බව ද කවුරුත් දන්නා සත්‍යයකි. ඉන්දියාවේ වැඩිහිටි ජනගහනය ද සැලකිය යුතු මට්ටමක පවතී. මේ වැඩිහිටියන් බොහොමයක් රැක බලා ගැනීම මේ වන විට දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ. Bright the Soul Foundation සංවිධානය එවැනි පුද්ගලයන්, පිහිටක් අවශ්‍ය දරුවන් සහ කාන්තාවන් හඳුනා ගනිමින් ඔවුන්ට නිවහනක්, ආහාර පාන, ඇඳුම්, මූලික වෛද්‍ය පහසුකම්, අධ්‍යාපනය ආදිය නොමිලයේ ලබා දීමට කටයුතු කර ගෙන යයි.
දිළින්දන් යනු සමාජයේ ජීවත් වන සියලු දෙනා හා සමානව ගෞරවයෙන් සහ ආදරයෙන් සැලකුම් ලැබිය යුතු පිරිසකි. එමෙන්ම කාර්ය බහුල සමාජය තුළ සිදුවන පවුල් ව්‍යුහයේ වෙනස් වීම් සහ නවීකරණය වැනි කාරණා නිසා වැඩිහිටි ජනගහනයට ද නිසි ආදරය, සැලකිල්ල සහ ගෞරවය දිනෙන් දින අහිමි වෙමින් පවතී. මේ සියලු ගැටලුුවලට විසඳුමක් ලෙස පූජාගේ Bright the Soul Foundation සංවිධානයේ ඊළඟ දැවැන්ත අරමුණ බවට පත්ව ඇත්තේ ‘මනුෂ්‍යත්වයේ දෙවොල’ (Temple of Humanity) ගොඩනැගීමය. එමගින් සමාජයේ අසරණව සිටින 2500 කටත් වැඩි පිරිසකට නිසි සැලකිල්ල, ආදරය සහ ගෞරවය ලබා දෙමින් ඔවුන්ට ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන්නට හැකි වෙතැයි පූජා විශ්වාස කරන්නීය.
‘සෑම ආත්මයකටම ආලෝකයක් අවැසිය. සෑම ජීවිතයකටම ගෞරවයක් හිමිය’ මෙය පූජා නිතරම පවසන්නක් බවට පත්ව තිබේ. ඇය විසින් ආරම්භ කළ Bright the Soul Foundation සංවිධානයේ කතාව සෑම ජීවිතයකටම ගෞරවයක් තිබේය යන මිනිසත් බවේ පණිවිඩය නැවත සිහිපත් කරවයි. කරුණාවෙන් පිරී ගිය එක් කාර්යයකට වුව ද, මෙලොවින් නික්ම ගිය සහ තවමත් ජීවත් වන නමුත් පිහිටක් අවැසි නොගිනිය හැකි තරම් වූ ජීවිත කරා ආලෝකය රැගෙන ආ හැකි බවට ඇගේ මේ හෘදයාංගම සත්කාර්යය තහවුරු කර තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක