දෙවි වරුන්ගේත් “නිවාඩු අවලංගු වන” උසස් පෙළ විභාගය 23 වනදා සිට

usaspela

අපොස (උසස් පෙළ) විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. අමිත් ජයසුන්දර නිවේදනය කොට තිබේ.ඒ නිවේදනය අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,200කදී විභාගය පැවැත්වීමට කටයුතු කර ඇත. විභාග කොමසාරිස් ජනරාල් වරයා දන්වා ඇති අන්දමට ලබන 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම සපුරා තහනම් ය.එමෙන්ම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පොස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබාගැනීම තහනම් බව ද දන්වා ඇත.යම් අයෙකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය වරදකරුවෙකු වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදුකළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානය හෝ පොලිස් මුලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත අංක ඔස්සේ පැමිණිලි කරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල් වරයා ඉල්ලා සිටියි.

රජය හෙවත් විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් එම හඬ නැඟීම නිකුත් වුව ද එම විභාගයට මුහුණ දෙන දූ දරුවන්,ඔවුන් ගේ දෙමාපියන් ඇතුළු පවුලේ ඥාතීන් ගේ සේම ගුරුවරුන් ගේ ද මෙම විභාගය මුල් කොට මතුවන හද ගැස්ම කිනම් හෝ ක්‍රමයකින් ජාතියට අසන්නට සැලැස්වුවහොත් එමෙන් සිය දහස් ගුණයකින් යුතු බව ජාතියටම වැටහී යනු ඒකාන්ත ය.

උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගය(HSC ) හැඳින්වුණු විභාගය පසුව අපොස (උසස් පෙළ) විභාගය බවට පරිවර්තනය වූ මුල් යුගයේ පවා එය මෙතරම් සමාජ ආන්දෝලනයකට ලක් වූවක් නොවීය.ඊට හේතුව රාජ්‍ය අංශයේ වුව ගුරු ලිපිකරු බැංකු නිලධාරී,හෙද -හෙදි ආදී ආදී කනිටු සේවක නොවන රැකියාවන් සඳහා අපොස (සාමාන්‍යපෙළ) විභාගය සමත් වීම ප්‍රමාණවත් වීම ය.එමෙන්ම උපාධි නොවන ඩිප්ලෝමා මට්ටමේ වෘත්තීය පාඨමාලා සඳහා ද අපොස (සාමාන්‍යපෙළ) විභාගය සුදුසුකමක් සේ සලකන ලදී.එහෙත්,පසුකාලීන මධ්‍යම පාන්තික සමාජයේ විස්තාරණය කලින් පුරුෂ පක්ෂයට හිමි ව තිබූ අධ්‍යාපනයේ වැඩි ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අවස්ථාව කාන්තා පක්ෂය විසින් අහිමි කර ඔවුන් ද අධ්‍යාපන කරලියේ පුරුෂ පාර්ෂවය හා සම මට්ටමට පත් වීම දිනෙන් දින ඉහළ යන ජනගහණයට සාපේක්ෂව රැකියා අවස්ථා බහුල නොවීම අධ්‍යාපනය සඳහා වන යටිතල පහසුකම් ප්‍රවර්ධනය වීම ආදී බහු විධ සාධක මත අපොස (සාමාන්‍යපෙළ) විභාගය සිසු දරුවකුගේ අධ්‍යාපනයේ නිමාව නොවිය යුතු බවට පොදු සම්මතයක් ඇති විය.එමෙන්ම අතීතයේ පැවැති විශ්ව විද්‍යාල ප්‍රවේශය නම් විභාගය අවලංගු වී සරසවි අධ්‍යාපනය සඳහා නියත විවරණ ලද හැකි විභාගය වීම සේම ඇතැම් වෘත්තීන් සඳහා අපොස (උසස් පෙළ) විභාගය මූලික සුදුසුකම ලෙස දැක්වීම ආදි හේතු මත අද වන විට එම විභාගයේ උනුසුම බෙහෙවින් ඉහළ ගොස් තිබේ.එපමණක් නොවේ අද වන විට රජයේ විශ්ව විද්‍යාල වල විවිධ පාඨමාලා සඳහා සිසු සිසුවියන් තෝරා ගැනීම පිණිස යොදා ගන්නා ක්‍රමය මත තමන් විශ්ව විද්‍යාලයකට තේරේ ද යන්න පමණක් නොව තමන් අපේක්ෂා කරන උපාධි පාඨමාලාව දැදෑරීමට තමන්ට අවස්ථාව හිමි වේද?යන්න ආදී දහසකුත් එකක් අවිනිශ්චිතතතාවයන් ඒ සිසු දරුවන්ගේ සිත් තුළ රෝපණය වීම වළකාලිය නොහැක.මෙකී නොකී සියළු කරුණු කාරණා පදනම් කර ගනිමින් අපොස (උසස් පෙළ) විභාගය කේන්ද්‍ර කර ගත් ටියුෂන් උප සංස්කෘතියක් ද මේ වන විට ඇති වී තිබේ.එමෙන්ම එක් එක් විෂයන්ට අදාල ගුරු වරුන් සේම “ගුරු තරු” ද බිහි වී තිබේ.මෙම තත්වයන් යටතේ අද වන විට අපොස (උසස් පෙළ) විභාගය කෙරෙහි ඊට මුහුණ දෙන සිසු දරුවන් ඔවුන්ගේ දෙමාපියන් පවුලේ ඥාතීන් ආදීන් තුළ සේම ගුරු වරුන් තුළ ද යම් චකිතයක් ජනිත වී තිබීම අතිශය ස්වාභාවිකය. එමෙන්ම එම පොදු මානසිකත්වය අද වන විට කෙතරම් සමාජ ව්‍යාප්තියකට පත්ව තිබේ ද යත් අපොස (උසස් පෙළ) විභාගය හමුවේ අද සමාජයේ බොහොමයකගේ පවුල් ජීවන රටා පවා වෙනස් වී ඇත්තේ “ඉලව්-මඟුල්”යන සරල නමින් හැඳින්වෙන තම ඥාති හා සමාජ සබඳතා ද අත් හිටුවමිනි.එමෙන්ම විභාගය මුල් කොට මානසික හා පෞරුෂ බිඳවැටීම් වලට ලක් වන පාර්ශයන්ගේ ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.ඒ නිසාම ඉදිරි අපොස (උසස් පෙළ) විභාග සමය අප රටේ සියළු දෙවි දේවතාවුන් ගේ නිවාඩු අවලංගු වන කාලයක් ලෙස හැඳින්වීම හුදු සරදමක් නොවන නැතට කටයුතු යෙදී තිබේ.

නමුදු අප රටේ සමාජ අර්බුදයක් මට්ටමට පත්ව ඇති මෙම ගැටළුවට ආසන්නතම හේතුව වසර කිහිපයක් තුළ මනැසේ ගොනු කර ගත් දැනුම සීමිත පැය කිහිපයක් තුළ වමාරන්නට සිසු දරුවනට සිදු වීම බව ද ඒකාන්ත සත්‍යයකි.අප එසේ පවසනුයේ අද ලොව දුයුණු රටවල කුණු මුල්ලට දමා ඇති කිසිසේත් කාලානුරූප නොවූ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක් මත අදටත් මෙම විභාග පැවැත්වෙන බැවිනි.

දමයන්ති ගමගේ

 

එතෙර - මෙතෙර