‘දේශපාලන බලපෑම් වලට යට නොවී විශ්‍රාම ගන්නවා’ ඉඩම් කොමසාරිස්

දේශපාලන බලපෑම් වලට යට නොවන තමන් ඒ වෙනුවට විශ්‍රාම ගැනීම තෝරාගන්නා බව ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේ මහතා ප්‍රකාශ කරයි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ආරවුලක් සාධාරණ ලෙස විසඳීම සම්බන්ධයෙන් උරණ වූ එම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම්වලට යටත් නොවී ක්‍රියා කිරීම මත තමන්ට මේ තීරණයට එළඹීමට සිදු වූ බව ගමගේ මහතා කියයි.
එම තනතුරට පත්වී මාස 15ක් තුළ ජනතාව වෙනුවෙන් සාධාරණව සේවය කළ නිසා තමාගේ තනතුර අහිමි කිරීමට හම්බන්තොට ප්‍රබල දේශපාලනඥයකුට අවශ්‍ය වී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට අදාල දේශපාලනඥයා පසුගිය 08 වෙනිදා ක්‍රියාකර ඇතත් මේ වනවිටත් ඊට අදාල නිල ලිපිය නොලැබුණු බව ඔහු සඳහන් කර ඇත.වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේ දී එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන බව දේශපාලන පොරොන්දුවක් දුන් නමුත් අවංකව සහ රාජ්‍ය නීතිරීතිවලට එකඟව කටයුතු කළ නිලධාරීන් විශාල පිරිසක් මේ වනවිට ඉල්ලා අස් වී ඇති බව මෑත කාලීන සිදුවීම් වලින් පෙනී යයි.

කාලීන පුවත්