“සීනු හඬින් ලොව පිබිදෙනවා…
නත්තල දොර ළඟ හිනහෙනවා…”
නත්තල ගැන ගරු මර්සලින් ජයකොඩි පියතුමා ලියපු ලස්සන කවියක පද දෙකක් ඒ.
හෙට අනිද්ද නත්තල්.
මේ නත්තල් අවුරුදු කාලෙදි කැරොල් ගායනා , නත්තල් ගස්, නිලාකූරු, වගේ විවිධ අලංකාර දේ හිතට ගෙනෙන්නේ මිහිරි හැඟීමක්.
ආදරණීයයන් සහ විශේෂයෙන්ම කුඩා දරුවන් සතුටු කිරීමට තෑගි බෝග දෙන එක, මැදියම් රෑ දේව මෙහෙයට සහභාගි වීම , පවුලේ සමාජිකයන් එකතු වෙලා කෑම ටිකක් කන එක වගේ දේවල් ඇත්තටම නත්තලේ සතුට ඇති කරන වැඩි කරන හොඳ දේවල් තමයි.
ඒත් මේ බාහිර මිහිරියාවට යටින් තිබෙන නත්තලේ සැබෑ අර්ථය ගැන ඔබ ටිකක් හරි හිතලා බැලුවද?
නත්තල කියන්නේ, නිහතමානීකම බැහැපත්කම වගේම දුප්පතුන්ට ආදරය කිරීම තුළින් අපේ හිතට සතුට ළඟා වෙන්නේ කොහොමද කියලා කියා දෙන ඉතා ප්‍රබල සන්ධිස්ථානයක්.
ඒ වගේම දුප්පත්කම , ශාරීරික දුක් පීඩා වැනි දේ නිසා පරාජිත නොවී ඒවා කඩාබිඳගෙන ජීවිතය සාර්ථක කරගන්නට දැවැන්ත ආදර්ශයක් ශක්තියක් දෙන තෝතැන්නක් තමයි නත්තල කියන්නෙ.
අඩුම ගාණේ අන්න ඒ ටික තේරුම් ගන්න.
බොහෝ දෙනෙකුට මේක නිකන් කාල බීල ජොලි කරන උත්සවයක් විතරයි. වෙළෙන්දෝ මේ උත්සවය පුදුම විදිහට වාණිජකරණයට යට කරලා.
අපේ ලේඛක මහත්තයෙක්, අර ගරු මර්සලින් ජයකොඩි පියතුමා ගේ කවි පද දෙකේ වචන දෙකක් චුට්ටක් වෙනස් කරලා මෙහෙම ලියලා තිබුණා.
“වෙළඳ හඬින් ලොව පිබිදෙනවා…
නත්තල දොර ළඟ වැළපෙනවා ”
ඇත්ත නේද?
බිස්නස් කාරයන්ගේ මඩිය නම් පිබිදෙනවා . ඒත් නත්තල් කනව තියා හරි හමන් කෑම වේලක් කන්නවත් පුළුවන් කමක් නැතුව මිනිස්සු ගොඩක් දෙනෙක් නිහඬව වැලපෙනව.
බඩු මිල ආකාසෙ. බදු බර ඊටත් එහා.
දිව්‍ය ලෝකෙ ආදායමක් තියෙන කෙනෙකුට මිසක් ලංකාවේ සාමාන්‍ය මිනිහෙකුට අද කාල බීලා සතුටින් ජීවත් වෙන්න විදිහක් නැති තරමට මේ රට කාලකන්නි කරලා. ඒක තමයි ඇත්ත.
ඒත් බිස්නස් කාක්කෝ මළපෙරේතයෝ වගේ මේ බිමටම සමතලා වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් තවත් සූරකන්න තමයි බලන්නෙ.
ප්‍රධාන නගර පුරාම ‘ලවුඩ් ස්පීකර්’ දාලා වෙළෙඳ දැන්වීම් දොඩවනවා කනක් ඇහිලා ඉන්න නෑ .
ටීවී එක බලන බලන සැරේ දකින්නේ මොකක් හරි කසිකබල් වෙළඳ දැල්වීමක්. වැඩසටහන්වලට වඩා වෙළඳ දැන්වීම්.
මූණේ ඇඟේ උලන ලෝකෙ නැති ක්‍රීම් ජාති, ඇඟ පුපුරන තරමට පෝෂ්‍ය පදාර්ථ අඩංගු කිරිපිටි;කොලෙස්ටරෝල් ,තෙල් මේද උතුරා ගලා හැලෙන ලෝකෙ නැති කෑම බීම ජාති…වගේ මෙකී නොකී නොයෙකුත් දේවල් වෙළෙඳ දැන්වීම්වලම දැකල ඔලුව රිදෙනවා.
අනේ අපේ නත්තල් ප්‍රීතිය ගැන, අපේ සුබ සිද්ධිය ගැන මේ වෙළඳ ප්‍රජාව උනන්දු වෙන තරමක්! පව් කියල හිතෙනවා .තනි ඇහැට ඇඬෙනවා කියන්නෙ මේ වෙලාවට තමයි.
මේක නත්තල් මංගල්‍යයක් නෙවෙයි නත්තල් මංකොල්ලයක් කියලයි වෙලාවකට හිතෙන්නේ.
බිස්නස් කාරයන්ට අවවාද කරලා තේරුමක් නැහැ.ඒ අයට කන් ඇහෙන්නෙ නැහැ .හරියට සමහර ආණ්ඩුවෙ බලධාරීන් වගේ. හිතක් පපුවක් නෑ. මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුල් පැත්තෙ තියෙන ගින්දර ගැන සංවේදී නැහැ . බුල්ඩෝසරයක් වගේ මිනිසුන්ව තලා පෙළාගෙන යට කරගෙන යනවා.
නත්තලේ අධ්‍යාත්මික අර්ථයක් ගැන එයාලට වැඩක් නෑ.
ඒ නිසා නත්තලට සූදානම් වෙන ඔබට කියන්න තියෙන්නේ, රැවටෙන්න එපා, මෝඩ වෙන්න එපා, පුහු දේවල් වලට වියදම් කරන්න එපා , ඔබටම නොදනී ඔබේ අතේ තියෙන තුට්ටු දෙකටත් විදින්න කපටි වෙළෙන්දන්ට ඉඩ දෙන්න එපා කියන එකයි.
උත්සව පැවැත්තුට කමක් නෑ. ඒත් නත්තලේ සැබෑ වටිනාකම, අර්ථය යටපත් වෙන්න දෙන්න එපා.
බෙහෙත් වර්ග ෆාමසියේ තිබුනට වැඩක් නෑ. බොන්න ඕන සනීප වෙන්න. පොත්පත් පොත් සාප්පුවල තිබුනට වැඩක් නෑ. ඒවා කියවන්න ඕන දැනුම ලබන්න.
ඒ වගේ ධාර්මික අදහස් පොතපතේ පල්ලියේ පන්සලේ තිබුණට වැඩක් නෑ. ඒවා ජීවිත තුළ ක්‍රියාත්මක කරන්න ඕන. එතකොටයි ජීවිතය , සමාජය ලස්සන වෙන්නෙ.
“මාගේ වචන අසා ඒවා පිළිපදින සෑම කෙනෙක්ම පර්වතයක් මත තම නිවස ගොඩනඟා ගත් නුවණැති මිනිසෙකුට සමාන වන්නේය.” කියල ජේසුස් වහන්සේ කිව්වා.
පල්ලි ගිහින් දේව වචන අහල විතරක් වැඩක් නෑ.. පිළිපදින්න ඕනා.
මොනවද “මාගේ වචන” කියන්නේ?
ඉතාම සරලව කියනවා නම් ‘බැහැපත් වෙන්න.. දුප්පතුන්ට ආදරය කරන්න.. ආත්මාර්ථකාමී නොවී තියන දේ බෙදා හදා ගන්න…’
ජීවිතයේ සැබෑ සැනසීම තෘප්තිය සතුට තියෙන්නේ එතනයි.
නුවණැති මිනිසෙක් කියන්නේ ඔය ටික තේරුම් ගත්ත කෙනෙක්.
ඒ ටික ඔබට තේරෙන්නෙ නැත්තං නත්තලේ අර්ථය තේරෙන්නෙත් නෑ.
විශේෂයෙන් අද අපේ රටේ බොහෝ දෙනෙක් ආර්ථික පැත්තෙන් විතරක් නෙවෙයි මානසික පැත්තෙනුත් බිඳවැටිල බලාපොරොත්තු සුන් වෙලා හෙට දවසට කොහොමද මුහුණ දෙන්නේ කියලා හිතාගන්න බැරි තරමට අසරණ වෙලා ඉන්නෙ.
ගොඩක් දෙනෙකුට නත්තලට ගොඩක් දේවල් ගන්න ආසා තිබුනට ගන්න අතේ සල්ලි නෑ.
අතේ සල්ලි ටිකක් යහමින් ගැවසෙන අය සළු පිළි මිලදී ගනිද්දි ,රජ බොජුන් වළඳද්ඳි අම්මට තාත්තට සහෝදරයාට සහෝදරියට ඇඳුමක් අරන් දෙන්ඩ විදිහක් නැතිව, මේ නත්තල් සමයේ හිත යටින් නිහඬව සුසුම් හෙලන මිනිස්සුත් අපි අතර ඉන්න බව අමතක කරන්න එපා.
අද ඉස්කෝලෙ යන්න ඇඳුමක්, සපත්තු දෙකක් නැතුව පොත්පත් නැතුව ලතවෙන දරුවෝ අනන්තයි .දරුවන්ට හරිහමන් කෑම වේලක් දීගන්න බැරුව, ගෙදර වියදම් පියව ගන්න බැරුව ලතවෙන දෙමව්පියෝ අනන්තයි.
ඔන්න පුළුවන් නම් ඒ වගේ අය ගැන හොයලා බලල, හැකි උදව්වක් කරන්න මේ නත්තල අවස්ථාවක් කරගන්න. හැබැයි ඔබ කාටහරි උදව්වක් කරනවා නම් ඒ අයගේ ආත්ම ගෞරවයට හානියක් වන විදිහට උදව් කරන්න යන්න එපා.
අපිට තියෙනවා, ඔයාලට නෑ.. ඒ හින්දා අපි ඔයාලට දෙනවා කියන අදහසින් නෙමෙයි, අපට තියෙන දෙයක් අපි බෙදා හදා ගනිමු කියන අදහසෙනුයි ඔබ ක්‍රියා කළ යුත්තේ.
සමහර මිනිස්සු අතේ මුදල් නැති උනාට ඒ හැමෝටම ආත්ම ගෞරවයක් තියෙනවා .
අද හිඟන්නෝ හෙට කෝටිපති වෙන්න පුළුවන්, ඒ වගේම අද කෝටිපති හෙට පාරට වැටෙන්නත් පුළුවන්. දුප්පත්කම, මුදල් නැතිකම මිනිසුන්ව මනින මිනුම් දණ්ඩක් කරගන්නෙ නැතුව මනුෂ්‍යත්වය බෙදා හදා ගැනීමේ චේතනාවෙන් හැකි විදියකට අනික් අය සමග තියෙන දේ බෙදා හදාගන්න.
ජේසු බිළිඳුන්ඳුට කතා කරන්න පුළුවන්කම තිබුන නම් , නත්තලට රතිඤ්ඤා පත්තු කළාද , අරක්කු බෝතල් කීයක් ගෙනාවද,හොඳට රහට කෑවද බිව්වද, හොඳ අලුත් විලාසිතා ඇඳුම් එහෙම ගත්තද වගේ දේවල් අහයි කියල ඔබ හිතනවද?
සත්තකින්ම නෑ..
ඒත් ,ඔබ කී දෙනෙකුට බත් කටක් කන්න උදව් කළාද? බෙහෙත් ටිකක් ගන්න උදව් කලාද, කීදෙනෙකුගේ හිත් සැනසුවද , ප්‍රශ්න විසඳගන්න උදව් කළාද වගේ දේවල් ජේසු සමහරවිට අහයි.
ඉතින් ඔබ ඇත්තටම නත්තල් දා ජේසු බිළිඳුන්ව පිළිගන්න සූදානම් වෙනවා නම් ඒ වගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ලෑස්ති වෙන්න.
ගොඩක් දෙනෙක් පාටි දානවා මිසක් ප්‍රායෝගිකව නත්තල අර්ථවත් කරගන්න උත්සාහ ගන්නේ නැහැ.
ගොරවනකොට අකුණු ගහනකොට කන් දෙකේ ඇඟිලි ගහගන්න මිනිස්සු නත්තලටත් සල්ලි දීල රතිඤ්ඤ ගෙනල්ල පුපුරන සද්දෙන් ලබන ආශ්වාදය මොකක්ද කියලා හිතාගන්න බෑ. ඇමරිකාව ඔසඕස්ට්රේලියාව නවසිලන්තය ජපානය වගේ දියුණු රටවල් වල මේ රතිඤ්ඤා සෙල්ලං නෑ මං හිතන්නෙ. සමහර රටවල ඒක නීතියෙන් තහනම්.
ඒත් කාගෙන් හරි හිඟා කාලා කීයක් හරි අපිට ණයට පොලියට දුන්නම රතිඤ්ඤා පත්තු කරන මරි මෝඩ සිරිතක් නං අපේ රටේ තියෙනවා.
ඔය නිකරුණේ වියදම් කරන සල්ලි වලින් අඩු ගානේ දුප්පතෙකුට බත් කටක් කන්න අවස්ථාවක් හදලා දෙන්න.
හිතට සැබෑ සැනසීම සතුට ලැබෙන්නේ තණ්හාවෙන් ගොඩ ගැසීමෙන් හෝ පුහු දේවල් වලට නිකරුණේ නාස්ති කිරීමෙන් නෙමෙයි. තියන බත් කට හරි බෙදා හදා ගැනීමෙන්.
ඔය ටික තේරුම් ගත්තොත් මේ නත්තල විතරක් නෙමෙයි ගත වෙන හැම දවසක්ම සතුටින් සැනසීමෙන් පිරුණ තෘප්තිමත් දවසක් වේවි.
ඔබට ඒ සැනසීම සතුට පිරි අරුත් බර නත්තලක්ම වේවා!
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු