නපුර අවාසනාව රැගෙන බූරුවකු පිටේ නැගී එන මූසල දෙවඟන හෙවත් මූ දේවි

musala-dewi

වර්තමානයේ මුහුණ දෙන නොයෙකුත් ගැටළු අර්බුද කම්කටොළු හමුවේ දෙවි දේවතාවුන් සමීප කර ගෙන ඔවුන්ගේ බලපෑම් තමන් වෙත එල්ල කර ගැනීමට බොහෝ දෙනෙක් කැමැති වෙති.මේ වන විට අප රටේ දේවාල ජනයාගෙන් පිරී පවතින්නේ එනිසා ය. එහෙත් එසේ ළංකර ගැනීමට අකැමැති දෙවි දේවතාවුන් ද නැත්තේම නොවේ. අප කවුරුත් හුදු වචන මාත්‍රයක් ලෙස පමණක් අසා ඇති ‘මූ දේවි’ එවැනි දෙවඟනකි.නපුර, අයහපත, දුක, වේදනාව, කලකිරීම ආදී මිනිසුන් විසින් පිටුදැකීමට නිරතුරුව සැදී පැහැදී සිටින අවාසනාවන්ත තත්ත්වයන් නියෝජනය කරන මූ දේවිය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.

හින්දු සම්ප්‍රදායට අනුව මූ දේවිය යනු ලක්ෂ්මිය, ශ්‍රියා කාන්තාව හෙවත් සිරිකතගේ විරුද්ධ පාර්ශ්වය නියෝජනය කරන දේවතාවියකි. ඒ අනුව ඇය ලක්ෂ්මියගේ දෙටු සොයුරිය වශයෙන් හඳුන්වා ඊට ඉඳුරාම ප්‍රති විරුද්ධා යන අරුතින් ‘අලක්ෂ්මී’ ලෙස හඳුන්වා තිබේ. ජ්‍යොෂ්තා (ජ්‍යෙෂ්ඨ) ලක්ෂ්මිය යනු හින්දු ත්‍රිමූර්තියට අයත් විෂ්ණු දෙවියන්ගෙන් හිමි වන ලෞකික සමෘද්ධිය, වාසනාව නියෝජනය කරන්නිය වුව ද මෙම අලක්ෂ්මී දෙවඟන හා විෂ්ණු දේව පාර්ශ්වය හා සබැඳුණු තොරතුරු සොයා ගැනීමට අසීරු ය. මුල්ම වෛදික ග්‍රන්ථවල අලක්ෂ්මිය පිළිබඳ තොරතුරු සඳහන් නොවුණ ද ක්‍රි.පූර්ව තුන්වැනි සියවසේ සිට ඇය භාරතීය ජන අවධානයට යොමු වූ බව ඇගේ රුව සහිත ශිලා පුවරු ආදිය හමුවීමෙන් පෙනී යයි.

ඇතැම් මූලාශ්‍රවල සඳහන් වන අන්දමට අසුර නිකායික දේවතාවියක වන ඇය ජ්‍යොෂ්තා දේවී, දරිද්‍රා, කලහප්‍රියා ආදී නම්වලින් හැඳින්වේ. අසුර නිකායික දේවතාවියක වන කාලිගේ දෙවඟන ගේ අවතාරයක් වන සොහොන් කාලි අවතාරය හා මෙම මූ දේවිය හෙවත් ජ්‍යොෂ්තා දේවිය අතර සබැඳියාවක් ඇතැයි කියන්නෝ ද වෙති. මේ අතර ඇතැමුන් පවසනුයේ මෙම මූ දේවි ශීතලා නම් දෙවඟනගේ අවතාරයක් බව ය. ශීතලා මරණයට අධිපති දෙවඟනක ලෙස ද සළකනු ලැබේ. එහෙත් මූ දේවියගෙන් ජීවිතයේ අවාසනාව නිරූපණය කෙරෙන නිසා ඇය මරණය හා පවතින සම්බන්ධතා පිළිගැනීම අසීරු බව අපගේ වැටහීම ය. එමෙන්ම ‘දරිද්‍රා’ (දිළිඳු බව), කලහප්‍රියා (අඬදබර ප්‍රිය කිරීම) වැනි නම්වලින් හැඳින්වීම මත ඇය මිනිස් ජීවිතවලටම බලපෑම් එල්ල කරන්නියක බව පිළිගැනීම වඩා යුක්ති සහගත බව පෙනේ.

ජ්‍යොෂ්තා දේවි හෙවත් මූ දේවියගේ රූපකාය අනුව ඇය බෙහෙවින් කාල වර්ණ දේවතාවියකි. එමෙන්ම බෙහෙවින් කෘශ ශරීරයක් ඇති ඇගේ දෙකොපුල් ගිලී ගොසිනි. තද කාල වර්ණ දෙතොල ඉදිරියට නෙරා තිබේ. දෙනෙත් පබළු ස්වරූපයක් දරයි. මූ දේවියගේ වාහනය බූරුවෙකි. පක්ෂියා කපුටෙකි. ලක්ෂ්මිය හෙවත් ශ්‍රී දේවිය පලා යන නිවෙස්වලට පැමිණෙන මූ දේවිය ඒවායේ ලැගුම් ගන්නා බව කියනු ලැබේ. භාරතයේ විවිධ ජන සංස්කෘතීන්වල විවිධ නම්වලින් හැඳින්වෙන මෙම දෙවඟන දකුණු ඉන්දියාවේ දී ‘ මූ දේවි’ නමින්ම හඳුන්වා තිබීම විශේෂත්වයකි.

මෙම මූ දේවිය නිවසකට අරක් ගත් පසු එම නිවසේ සියලු කටයුතු අඩාළ වන බවත් නිවැසියන්ගේ ජීවන රටා මුළුමනින්ම බිඳ වැටෙන බවත් ඉන් පසු හිරු මුදුන් වන තුරු නින්දට වැටෙන නිවැසියන් දවසේ සියලු කටයුතු අඩාළ කර ගන්නා බවත් දකුණු ඉන්දියානුවෝ විශ්වාස කරති. මේ තත්ත්වය යටතේ ක්‍රි.පූ. 7-8 සියවස් දක්වා මෙම මූ දේවියගෙන් සිදු වන නපුර අයහපත පිටුදැකීම පිණිස නොයෙකුත් පුද පූජා කළ අතර අදටත් දකුණු ඉන්දියාවේ කන්චිපුරම්හි පිහිටි ශ්‍රී ජ්‍යොෂ්තා දේවි කෝවිලේ ඇය සඳහා වන ආගමික වත්පිළිවෙත් කරනු ලැබේ.

මෙම ජ්‍යොෂ්තා දේවි හෙවත් මූ දේවියගේ රුව සටහන් පැරණි ශිලා පුවරුවල ඇය දෙපා දෙපසට විහිදුවාගෙන හිඳින ඉරියව් ද දක්වා ඇති අතර අදත් දකුණු ඉන්දීය දැරියන්, තරුණියන් සේම වැඩිහිටි කාන්තාවන් එලෙස හිඳීම සම්බන්ධයෙන් එම පවුල්වල ඥාතීන් දැඩි අකැමැත්තක් පළ කරන බව පැවසෙයි.ඒ එය මූ දේවියගේ ඉරියව්වක් බැවිනි. එමෙන්ම අප කුඩා කාලයේ ද කිසියම් දැරියක එම ඉරියව්වෙන් පසුවන විට ‘ගැහැනු ළමයි ඔහොම ඉන්නේ නෑ’ යනුවෙන් වැඩිහිටියන් ඇයට අවවාද කළා අපට මතකය. එමෙන්ම බොහෝ වේලා එකම ඉරියව්වෙන් හිඳීම, ශබ්ද නගා ඈනුම් පිට කිරීම ආදිය කෙරෙහි මූ දේවි ප්‍රිය මනාප වන බවත් අපගේ සමාජය පවා පිළිගත් බවක් අපට ද නිරීක්ෂණය වී තිබේ.

අපගේ අතීත ජන සමාජයේ විශේෂ පිළිගැනීමකට ලක්ව නොතිබූ ගණපති, සරස්වතී යන ඇදහීම් මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ සිට විශේෂ ප්‍රබෝධයකට ලක් වූවකි. නමුදු එම දෙවිවරුන් අතරටම අයත් ලක්ෂ්මිය අප සමාජයේ එතරම් පිළිගැනීමට ලක් වූ බවට සාධක නැත. ඊට ආසන්නම හේතුව එවක සරල චාම් කෘෂිකාර්මික සමාජයක් තිබූ කන්ද උඩරට ජනතාව ලෞකික සමෘද්ධිය පිළිබඳ සුවිශේෂ උනන්දුක් නොදැක්වීම බව අපගේ වැටහීමය. නමුදු එවක ලක්ෂ්මිය ඉහළින් නොපිළිගත් අපගේ ජන සමාජය තුළ සිරියා දේවි නම් දේව කන්‍යාව පිළිබඳ විශ්වාසය සැලකිය යුතු ලෙසින් බලපැවැත්වුණු බව පෙනෙයි.

‘ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා – සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳිනවා’ ආදි වශයෙන් පැවසෙන සිරියා දේවිගේ කවි මාලාවේ අතීත කෘෂිකාර්මික ජන ජීවිතයට අවැසි උද්යෝගය මුල් කොට සිරියා දේවිය උදා හිමිදිරියේ නිවසේ නැගෙනහිරින් නිවෙස් තුළට පිවිසෙන බව මනාව දක්වා තිබේ. එවිට නිවසේ මූ දේවිය රැඳී සිටියහොත් ඇය පෑල දොරින් පලා යන බවත් පැවසෙන අතර යම් හෙයකින් නිවැසියන් තමන්ගේ එදිනෙදා කටයුතු සිදු නොකොට අලස ලෙස කල් ගත කළහොත් නිවසේ පෑල දොරින් නිවසට මූ දේවිය ඇතුළු වන බවක් පැවසෙන ජන විශ්වාසයක් අප ජන සමාජයේ තිබී ඇත.

මෙම මූ දේවිය පිළිබඳ ජන විශ්වාසය අප එදිනෙදා ව්‍යවහාරයට අනුව හැඳින්වෙනුයේ ‘මූසලකම’ යනුවෙනි. කිනම් හෝ දරුණු විපතක් අතුරු ආන්තරාවක් වැනි දෙයක දී අප නිවෙස් හා පවුල් අරා පැතිර යන එම මූසලකම පිටුදැකීම කිරි ඉතිරවී‍මේ චාරිත්‍රය මගින් සිදු කළ හැකිය යන විශ්වාසයක් තිබේ.

අවමඟුල් නිවෙස් ආදියේ මූ දේවිය රජ කරන බවටත් ඉන් පසුව ඇය ඉන් පිටමං කරවීමට ඇය උදෙසා පොල් කිරි ඉතිරවීමක් කළ යුතු බවටත් ජන විශ්වාසයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අදටත් ශේෂව තිබේ. මේ අතර අප ජන සමාජයේ ද අවමඟුල් නිවෙසකින් මෘත දේහයක් ඉවත් කළ සැණින් එය තැන්පත් කළ ස්ථානයේ පොල් කිරි ඉතිරවීමක් කිරීමේ චාරිත්‍රයක් ඇතැම් ප්‍රදේශවල තිබේ. මගේ විශ්වාසය අනුව එය අවිඥානකව හෝ මූ දේවිය පළවා හැරීම උදෙසා කරන්නක් විය යුතුය.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය