‘නාකි බබ්බු’ හුරතල් කරන දෙමව්පියෝ – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

vinivida

දෙමව්පියෝ දරුවන්ට ගොඩක් ආදරෙයි. ඒ ගැන කතා දෙකක් නෑ. දරුවෝ කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකෙ තියෙන වටිනාම සම්පත.
ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන්නේ පුළුවන් තරම් දරුවා සතුටින් තියන්න. හොඳට පෝෂණය කරන්න. දෙන්න පුළුවන් උපරිම දේවල් දෙන්න. හොඳට උගන්නන්න. හොඳ පුද්ගලයෙක් බවට පත්කරන්න.
මේ සේරම හොඳ හිතින් කරන පරිත්‍යාගශීලී දේවල්.

ඒත් අවාසනාවකට වගේ බොහෝ දෙමව්පියෝ නොදැනුවත්වම ආදරේ කරනවා කියලා , දරුවන්ව නාස්ති කරන බව, දරුවන්ට ශක්තිමත් පෞරුෂයක් වෙනුවට දුර්වල පෞරුෂයක් ගොඩනගා ගන්න දායක වෙන බව ඔබ හිතලා තියෙනවද?

ඔව්! සමහර දෙමව්පියෝ අතින් ඒක සිද්ධ වෙනවා.
කොහොමද ඒක වෙන්නේ?
ඒක වෙන්නෙ ඕනෑවට වැඩිය ළමයින්ව හුරතල් කරන එකෙන්.

හුරතල් කරනවා කියන එකෙන් අදහස් කෙරුවෙ දරුවෙකු ළඟට අරගෙන තුරුල් කරගෙන ආදරයෙන් කතා කරලා සිප වැළඳගෙන ගොඩක් ආදරේ බව තහවුරු කරන එකට නෙමෙයි.
ලදරු වියේ ඉඳලම එහෙම ශාරීරිකව ළඟට අරගෙන දෙමාපියන්ගේ ආදරය පෙන්වීම දරුවන්ට පුදුම විදිහට වටිනවා. ඒක හිරු එළිය, ශරීරික පෝෂණය වගේම දරුවකුට නිරෝගී මනසක් සහිතව හොඳ පෞරුෂයක් ඇතිව වැඩෙන්න, අත්‍යාවශ්‍යම දෙයක්.

එහෙනම් මොකටද හුරතල් කරනවා කියන්නේ?

හුරතල් කරනවා කියන්නේ දරුවට තනියම කරගන්න පුළුවන් දේවල් දරුවාට කරගන්න ඉඩ නොදී දෙමව්පියන්ම ඒ දේ කිරීම සහ ඉල්ලන හැමදේම දීම.

ආදරය වැඩිකමට බොහෝ දෙමව්පියෝ ළමයින්ට චුට්ටක්වත් ඇඟ වෙහෙසෙන්න දෙන්නේ නැහැ.හිත කරදර කරගන්න දෙන්නේ නැහැ. ඒ හින්දා හැමදේම කරදෙන්නෙ දෙමව්පියෝ.

ළදරු වියේදී ළමයින්ට කිසි දෙයක් තනියම කරගන්න බැරි නිසා කෑම බීම කවන පොවන එක ඇතුළු හැම දෙයක්ම දෙමව්පියෝ කරන එක යුතුකමක්.
මොන්ටිසෝරි යන කාලෙදි දෙමව්පියෝ ළමයින්ව සෝදලා පවිත්‍ර කරලා ඇඳුම් අන්දලා කොන්ඩ ගැට ගහලා සපත්තු දාලා අතින් අල්ලගෙන ගිහින් පාසලට භාර දෙන එක කමක් නෑ කියමුකෝ.
ඒත් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් විතර වෙනකොට පුංචි දරුවෙකුට ඇඳුම් ඇඳගන්න, සපත්තු මේස් දාගන්න, කොන්ඩෙ පීරගන්න වගේ පුංචි පුංචි දේවල් ටික තනියම කරගන්න පුලුවන්. අවුරුදු හතර පහ වෙනකොට ඊටත් වැඩිය පහසුවෙන් දක්ෂ ලෙස ඒ වැඩේ කරන්න පුළුවන්.

දරුවෝ ටික ටික ලදරු වියෙන් ළමා වියට ඇවිත් ළමා වියෙන් තරුණ වියට ක්‍රමයෙන් වැඩෙද්දි වුණත් සමහර දෙමව්පියෝ ළමයින්ට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. හැම දෙයක්ම ඒගොල්ලෝ බදාගෙන කරනවා.
ඒගොල්ලන්ව නිකං ‘නාකි බබ්බු’ බවට පත් කරනවා.
අන්න ඒකයි හුරතල් කරනවා කිව්වෙ.

මේක දෙමව්පියෝ කරන අන්තිම භයානක ලොකුම වරදක්.

මේ වගේ ඕනවට වැඩිය හුරතල් කරල හදන ළමයි වැඩිහිටියන් වුනාමත් පුදුම විදිහට කම්මැලි වෙනවා . හැමදේම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ හිතන්නේ හැමෝම එයාලට ආවතේව කළ යුතුයි කියලා. ඇඟ වෙහෙසන්නේ නැතුව හැමදේම ළඟට ගෙන්න ගන්න තමයි උත්සාහ කරන්නේ.
කාපු පිඟාන හෝදන්නෙත් නැහැ. කෑම එකත් ලඟට බෙදලා ගෙනත් දෙන්න ඕනා. කඩේකට ගිහින් බඩුවක් ගෙන්න ගන්න වඳින්න ඕනා. සමහරවිට යන්නෙම නෑ. ඇඳුමක් හෝදන්නෙ නෑ. ඉදලක් කොස්සක් අල්ලන් නෑ.

මොකක් හරි වරදක් උනොත් ඒ වරද අනුන් පිටින් දාන්න පුරුදු වෙනවා. සමහරවිට කෝප වෙනවා .
මෙහෙම අනවශ්‍ය විදිහට හුරතල් වෙලා හැදෙන දරුවෝ විවාහ වෙච්ච දවසක ඒ ගොල්ලන්ගේ දරුවන්ගේ වැඩත් දෙමව්පියෝ කරයි කියලා බලාපොරොත්තු වෙන එක පුදුමයක් නෙමේ.
අද ලංකාවේ බොහෝ දෙනෙකුට ආච්චිලා සීල වුණාට පස්සෙත් තමුන්ගේ දරුවන්ගේ වැඩත් කරන්න වෙලා තියෙනවා.බොහෝ විට මේකෙ අග මුල් හොයාගෙන ගියොත් ඒකට හේතුව අනවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ දරුවන්ව සුරතල් කිරීමයි.
දෙමව්පියෝ කරන අනිත් වරද තමයි ළමයි ඉල්ලන හැමදේම අරන් දෙන එක.
සමහර ළමයි සෙල්ලම් බඩුවක් හරි මොකක් හරි දෙයක් ඕන කියලා ඒක අරන් දෙනකම්ම හඬා වැටෙනවා . සමහර වෙලාවට ටිකක් ඇඞුවට ඒ ගැන අවධානය යොමු නොකෙරුවට දිගටම අඬ අඩි හප්ප ඒකම ඉල්ලා හිටිනවනම් ළමයව අඬවන එක හොඳ නැහැ, හිත දුක් වෙයි කියල හිතලා දෙමව්පියෝ පුළුවන් වුනත් බැරිවුනත් ඒක අරන් දෙනවා.
මේකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ?
මව්පියන්ගෙන් යමක් ගන්න ඕන නම් මේක තමයි ක්‍රමය කියන වැරදි නිගමනය ළමයිගේ හිතට කාන්දු වෙනවා.
ඊට පස්සේ මතු අනාගතයේදිත් ඒගොල්ලො හිතන්නේ කාගෙන් හරි යම් දෙයක් ලබාගන්න නම් කරන්න ඕනේ තමුන් මහන්සි වෙන එක නෙමෙයි, අනිත් අයට මොන වදයක් වුනත්, තොරතෝංචියක් නැතුව ඒගොල්ලන්ට කරදර කරලම තමයි මේක ලබාගන්න ඕනේ කියල.
සමහර දෙමව්පියෝ කුඩා දරුවන්ට දවස පුරාම ස්මාර්ට් ෆෝන් එකෙන් නැත්තං අයිපෑඩ් එකෙන් ඒගොල්ලෝ කැමති දේවල් බලන්න ඉඩ දීලා තියෙනවා.
සමහර දෙමව්පියෝ මේක කරන්නේ නිදහසේ තමන්ගේ වැඩක් කරගන්න හින්දා.එහෙම නැත්නම් ඒක නවත්තන්න කිව්වොත් ළමයා තරහ ගනියි, අඬයි , හිත රිදෙයි කියන බයට.
මේක පුංචි කාලෙදිම කඩාගත්තෙ නැති පුරුද්දක් වුණොත් ඉදිරියේදී ඒ වගේ විද්‍යුත් භාණ්ඩ වලට ඇබ්බැහි වීමට අමතරව දෙමව්පියෝ කියන කිසිම දේකට කීකරු නොවීමේ අවදානමටත් දෙමව්පියන්ට ලෑස්ති වෙන්න සිද්ධ වෙනවා.
දෙමව්පියෝ දරුවන්ට කරුණාවන්ත විය යුතු බව, ආදරය කළ යුතු බව ඇත්ත . නමුත් දරුවෝ කියන හැමදේටම නැමිලා දරුවන්ට කීකරු වෙන එක නෙමෙයි දෙමාපියන් කළ යුත්තේ. සමහර වෙලාවට සෘජු මානසිකත්වයකින් යුතුව කෙලින් හිටගෙන දරුවන් ඉල්ලන සමහර දේවල් ප්‍රතික්ෂේප කිරීමද අවශ්‍ය බව දෙමව්පියන් වටහාගත යුතුයි.

මොනවද ඔබ කළ යුත්තේ?
දරුවන්ට කරගන්න පුළුවන් දේවල් ඒගොල්ලන්ට ටික කරගන්න ඉඩ දෙන්න. උදාහරණයක් වශයෙන් සපත්තු දාන හැටි සපත්තුවෙ ලේස් ගැට ගහන හැටි, කොන්ඩෙ පීරලා කොණ්ඩපටිය ගැටගහගන්න හැටි යනාදිය ආදරයෙන් කියල දෙන්න. කාමරය පිළිවෙලට තියාගන්න, සෙල්ලම් කරලා ඉවරවෙලා සෙල්ලම් බඩු නියම තැනින් තියන්න, කාපු පිඟාන සෝදන්න අමාරු නම් අඩුම ගානේ කුස්සියෙන් ගිහින් කියන්න වගේ දේවල් පුරුදු කරන්න.
බර වැඩ පවරන්න අවශ්‍ය නැහැ. නමුත් කන්නාඩිය බලලා තමුන්ගේ කොන්ඩ පීරගෙන පියරූ ටිකක් දාගෙන ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න සාමාන්‍ය දරුවෙකුට පුළුවන්.
ඔබ කළ යුත්තේ” මට මේ දේ කරන්න පුළුවන්” කියන ආත්ම ශක්තිය වඩවන මානසිකත්වයක් දරුවන් තුළ ඇතිවෙන විදියේ වැඩ කිරීමයි.
කම්මැලි නොවී අනුන්ට ගැති නොවී, අනුන් තුළ යැපෙන්නෙ නැතුව තමුන්ගේ දෙපයින් හිටගෙන වැඩ කරන්න පුංචි කාලේ ඉදලම දරුවන්ට පුහුණුවක් ලබා දෙන්නේ ඒ විදිහටයි.
එහෙම කළාම දරුවා තමන්ගෙම දෙපයින් හිටගෙන තමන්ගගේම ශක්තියෙන් තමුන්ගේ වැඩ කරගන්න ටික පුරුදු වෙනවා. “මම මගේ වැඩ සේරම තනියම කරගත්තා” කියන ආඩම්බර තෘප්තිමත්ම හැඟීම දරුවෙකු තුළ ඇති වෙනවා.
අනාගතයේදීත් දියුණු වීමට අවශ්‍ය තීරණ අරගෙන දියුණු වීමේ මානසිකත්වයක් නොදැනුවත්වම ප්‍රගුණ කර ගන්නවා.
ඉතින්, දරුවන්ට දෙපයින් සිටගත හැකි පිරිපුන් පෞරුෂයක් ගොඩනගා ගැනීමට උදව් කිරීම ඔබේ අරමුණ නම් ,
ප්‍රමාද වෙලා පසුතැවිලි වෙන්න ඉඩ තියාගන්නෙ නැතිව, තම දරුවන් අනවශ්‍ය ප්‍රමාණයට සුරතල් කිරීමේ නරක ප්‍රතිවිපාක හොඳින් අවබෝධ කරගෙන ප්‍රවේසමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 

එතෙර - මෙතෙර