මෙයට වසර 35 කට පෙර 1987 වසරේ තිරගත වූ ‘නායකන්’ දෙමළ චිත්‍රපටය ලංකාවේ සිනමා රසිකයන් අතර ද මහත් සේ ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුප්‍රකට ඉන්දියානු සිනමාකරු මනි රත්නම් අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිතය නිරූපනය කළේ කමල් හසන් ය. මෙය වේලු නැමැති පාතාල නායකයකුගේ චරිතයක් වටා ගෙතුණු නිර්මාණයක් විය. සැබැවින් ජීවත් වූ චරිතයක් මෙම සිනමාපටයට පසුබිම් වූ බව ද සඳහන් වේ.
කෙසේ හෝ වේවා, ‘නායකන්’ චිත්‍රපටය තිරගත වී වසර 35 කට පසු පළමු වතාවට නැවතත් කමල් හසන් සහ මනි රත්නම් දෙදෙනා එකම චිත්‍රපටයකින් හමුවීමට යන බව වාර්තා වේ. තවමත් රූපගත කිරීම් ආරම්භ වී නැති මෙම සිනමාපටය දැනට නම් කර ඇත්තේ ණ්ය 234 යන නමිනි. මෙම නම ඉදිරියේ දී වෙනස් වනු ඇති බව ද සඳහන් වේ. ණ්ය 234 යන්නෙන් කියැවෙන්නේ කමල් හසන්ගේ 234 වැනි චිත්‍රපටය යන්න යි. මෙම චිත්‍රපටයේ කතා පුවත ගැන හෝ සෙසු නළු නිළියන් ගැන හෝ වැඩි විස්තරයක් තවම ප්‍රකාශයට පත්වී නැත.
කෙසේ හෝ වේවා, මෙතරම් කාලයකට පසු නැවත එකට වැඩ කිරීමට ලැබීම ගැන මනි සහ කමල් දෙදෙනාම මහත් සතුටට පත්ව සිටින බව පෙනේ. ‘මෙයට වසර 35 කට පෙර මනි රත්නම් මහත්මයා සමග වැඩ කිරීමට සූදානම් වෙද්දී මට දැනුණු නොඉවසිල්ල, නොසන්සුන් බව දැනුත් මට දැනෙනවා’ යයි පසුගිය දා කමල් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබිණි. එමෙන්ම චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා ඒ. ආර්. රහ්මාන් වීම ද එම උද්යෝගය වැඩි කරන්නක් බව ඔහු පවසා ඇත. මුල් කාලයේ මනි රත්නම් ගේ බොහෝ චිත්‍රපටවල සංගීත අධ්යක්ෂවරයා වූයේ ඉලෙයරාජා වුවත් පසුව දිගටම වාගේ ඔහුගේ චිත්‍රපට සංගීතවත් කළේ රහ්මාන් ය. මනි රත්නම්- රහ්මාන් සුසංයෝගය ආරම්භ වූයේ 1992 වසරේ තිරගත වූ ‘රෝජා’ චිත්‍රපටයෙනි.
මේ අතර මනි රත්නම් ද පවසා තිබුණේ කමල් හසන් සමග නැවත වැඩ කරන්නට ලැබීම සතුටක් මෙන්ම ගෞරවයක් ද බවයි. ඔවුන්ගේ පළමු චිත්‍රපටය ‘නායකන්’ ඉන්දීය සිනමා උළෙල කිහිපයකදී ම සම්මාන දිනාගන්නට සමත් විය. 1988 වසරේ ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉන්දියාව ඉදිරිපත් කළේද නායකන් චිත්‍රපටය යි.
එම චිත්‍රපටයෙන් පසු ඒ කිට්ටුවම වාගේ ඔවුන් දෙදෙනා තවත් චිත්‍රපටයක වැඩ කිරීමට සූදානම් වුවත් එය සාර්ථක වූයේ නැත. නවසිය අනූ ගණන්වල එම චිත්‍රපටය නිර්මාණය කිරීමට සූදානම් වූයේ කල්කි ක්‍රිෂ්ණමූර්ති ගේ ‘පොනියින් සෙල්වන්’ නවකතාව ඇසුරෙනි. එදා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවුණත් මනි රත්නම් පසුගිය දා එම නවකතාව ඇසුරෙන් දැවැන්ත සිනමාපටයක් නිර්මාණය කළේය. නමුත් එයට කමල් හසන් ගේ සම්බන්ධයක් නැත. මාස කිහිපයකට පෙර තිරගත වූ ‘පොනියින් සෙල්වන්’ අතිශයින් සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශණය වූ අතර මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ චිත්‍රපටය බවට ද පත් විය. එය ඉපැයූ සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 500 කට ආසන්න බව සඳහන් වේ. එය ලංකා රුපියල් කෝටි 2,200 කට ආසන්න මුදලකි.
මනි සහ කමල් දෙදෙනාගේ අලුත් සිනමාපටය තිරගත වනු ඇත්තේ 2024 වසරේ බව ද සඳහන් වේ. ඊට පෙර කමල්ගේ ‘ඉන්ඩියන්-2’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනු ඇත. මේ වනවිට එහි රූපගත කිරීම් සිදුවෙමින් ඇති බව වාර්තා වේ. එය නිර්මාණය වන්නේ 1996 වසරේ නිශ්පාදනය කෙරුණු ‘ඉන්ඩියන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙසිනි. ‘ඉන්ඩියන්’ ද අතිශයින් සාර්ථක වූ සිනමාපටයක් විය. මේ අතර මනි රත්නම්ගේ තවත් චිත්‍රපටයක් ද ලබන වසරේ තිරගත වීමට නියමිතව තිබේ. ඒ ‘පොනියින් සෙල්වන්’ චිත්‍රපටයේ දෙවැනි කොටස යි.
මේ වනවිට 68 වැනි වියෙහි පසුවන කමල් හසන් සිනමා රංගනයට පිවිසුණේ 1960 වසරේ තිරගත වූ ‘කලාතුර් කන්නම්මා’ නැමැති සිනමාපටයකිනි. නමුත් ඒ ළමා නළුවකු ලෙසිනි. එම සිනමාපටයේ රඟපාන විට ඔහුගේ වයස අවුරුදු 6 ක් පමණක් විය. කමල් පළමු වරට ප්‍රධාන මට්ටමේ වැඩිහිටි චරිතයක් රඟපෑවේ සුප්‍රකට අධ්යක්ෂ කේ. බාලචන්දර් ගේ ‘අරන්ගේත්‍රම්’ චිත්‍රපටයේ යි. එය තිරගත වූයේ 1973 වසරේ ය.
මනි රත්නම් අධ්යක්ෂවරයකු ලෙස සිනමාවට පිවිසුණේ 1983 වසරේ තිරගත වූ ‘පල්ලවි අනූ පල්ලවි’ නැමැති කන්නඩ සිනමාපටයෙනි. මේ වනවිට ඔහු චිත්‍රපට 30 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර තිබේ.
නිහාල් පීරිස්