එදිනෙදා ජීවිතයේ විවිධ සුබ කටයුතු ආරම්භ කිරීම පිණිස නැකැත් සාදවා ගැනීම අප ජන සමාජයේ බොහෝ දෙනකු තුළ පවතින පුරුද්දකි. විවිධ සුබ කටයුතු ඇරඹීම පිණිස එසේ සුබ නැකැත් සාදවා ගැනීමට බොහෝ දෙනෙක් නිරතුරුවම අප වෙත ද පැමිණෙති. ඉන් ඇතැමුන් ඒ සමගම කරන එක්තරා ඉල්ලීමක් ද තිබේ. එනම් තමන්ට පහසු වේලාවක්
මුල්කොට නැකතක් පිළියෙල කර දෙන ලෙස ය. එවිට මම ‘අපහසු වේලාවල නැකැත් පිළියෙල කර දෙන්නේ කවුරුන්ද?’ යි පුරුද්දට මෙන් ඔවුන්ගෙන් අසමි. එවිට ඒ අතරින් වැඩි පිරිසක් ප්‍රකාශ කොට සිටිනුයේ ඇතැම් ජ්‍යොතිර්වේදීන් තම ඥාති මිත්‍රාදීන්ගේ සුබ කටයුතු සඳහා දෙක, තුන, හතර වැනි අලුයම් කාල සීමාවන් මුල් කොට පවා නැකැත් සකසා දී ඇති බවකි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් කරන විමසුම්වල දී ‘අප නැකැත් යෙදෙන අන්දමට කටයුතු කරනු විනා අපට අවශ්‍ය වේලාවට නැකැත් සැකසීමක් ජ්‍යොතිෂයේ නොමැති බව ද එම ජ්‍යොතිර්වේදීන් තම ඥාති මිත්‍රාදීන් හා පවසා ඇති බව ද නැකැත් සාදා ගැනීම පිණිස ම’වෙත පැමිණෙන්නෝ කියා සිටිති.
මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමේදී පළමුව පැවසිය යුත්තක් තිබේ. එනම් ජ්‍යොතිර්වේදය යනු සමස්ත මානව වර්ගයාගේත් පොදුවේ විශ්වයේත් යහපැවැත්ම සඳහා යොදා ගත හැකි මානව ශාස්ත්‍රයක් බව ය.මෙවන් මානව ශාස්ත්‍ර මඟින් පුද්ගල හා සමාජමය වශයෙන් සිදුවන යහපත සම්බන්ධයෙන් බොහෝ කරුණු දැක්විය හැක.පුද්ගල හෝ සමාජ බද්ධව ඉන් අයහපතක් වනුයේ එය අවභාවිතා කිරීමෙන් පමණි.
ජ්‍යොතිර්වේදයේ සඳහන් වන අන්දමට දවසේ පැය විසි හතරෙන් ඕනෑම මොහොතක නැකතක් මතු කර ගත හැක. එහෙත්, එය එම නැකත භාවිතා කරන තැනැත්තා හෝ පවුල කෙරෙහි කෙතරම් සාධනීය ලෙස බලපවත්වන්නේ ද යන්න පිළිබඳ පූර්ව විනිශ්චයක් කොට එම අවශ්‍යතාව උපරිමයෙන් සංතෘප්ත වන නැකතක් සාදා දීම ජ්‍යොතිර්වේදියා සතු පරම වගකීමකි.
මිහි තුළ ඇති ඛනිජ සම්පත් සම්බන්ධයෙන් මිහි තලය මතුපිට සිට කිව හැකි විද්‍යා ශාස්ත්‍ර තිබේ. එහෙත්, ඒ විද්‍යා ශාස්ත්රයන්ට අනුව මිහි තලයෙන් අඩි දහස් ගණනක් ගැඹුරෙහි වටිනා ඛනිජ සම්පතක් ඇති බවට සාමාන්‍ය පුද්ගලයකු හට පවසා සිටීමේ තේරුමක් තිබේද? එවිට සිදුවන්නේ එම දැන ගැනීම මුල්කොට ඒ තැනැත්තා දැඩි මානසික අසහනයකට පත් වීම පමණි. මෙම නැකැත් සෑදීම ඇතුළු සියලු ජ්‍යොතිෂමය කරුණු අනාවරණය කිරීම් සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද එයම ය.
සුබ නැකත් තැනීම සම්බන්ධ උපදෙස් ලබා දෙන ජ්‍යොතිෂ පතපොත බොහෝ ය.මේවා අතුරින් මුහුර්ත චින්තාමනිය, හෝරභරණය, වෘහත් සංහිතාව, මයිමතය ආදී ජ්‍යොතිෂ පත පොත අප රටේ විද්වත්ජ්යොතිර්වේදීහු බහුල ලෙස භාවිතයට ගනිති. මේ සියලු ජ්‍යොතිෂ පොතපත පැරණි භාරතීය සෛද්ධාන්තික ජ්‍යොතිර්වේදය හා සම්බන්ධ ය. එහෙත්,ඒවායින් ඉදිරිපත් කෙරෙන මතවාද අතරේ සමානතා මෙන්ම විෂමතා ද දක්නට ලැබේ. ඒ අනුව මෙම සුබ නැකැත් පිළියෙල කිරීම ඒකීයත්වයකින් තොර බහුවිධ ශාස්ත්‍රයක් බව පළමුකොටම කිව යුතු ය.
මෙම නැකැත් සම්පාදනයේ ආකාර දෙකක් පවතී. ඉන් පළමුවැන්න පාද නැකැත්ය.යම් යම් සුබ කටයුතු සම්බන්ධයෙන් විශ්වයේ ඇති ගුප්ත ශක්ති පදාර්ථයන්ගේ හෙවත් නව ග්‍රහයන්ගේ සාධනීය බලපෑම් එල්ල වන දින, හෝරා, තිථි මත පදනම්ව සුබ නැකැත් ප්‍රකාශ කෙරේ. කෘෂිකර්මය, විද්‍යා ශාස්ත්‍ර, ව්‍යාපාර, ඛනිජ සම්පත් ගවේෂණය ආදී මෙකී
නොකී කටයුතු උදෙසා ඒ නැකැත් සාමාන්‍ය වශයෙන් යොදා ගත හැක. එම නැකැත් පුවත්පත් ආදිය මගින් ද ඉදිරිපත් කෙරේ.
මෙම සුබ නැකැත්වල දෙවැනි ප්‍රභේදය හුදු හෙවත් කේවල නැකැත් ය. එම නැකත හා සම්බන්ධ කාරියේ නියුක්ත වන පුද්ගලයාගේ ජන්ම පත්‍රය පදනම් කර ගනිමින් සැකසෙන ඒ නැකත ඒ හා සම්බන්ධ කරුණු මුල් කොට ගෙන ද වෙනස් වනු ඇත. අදාළ තැනැත්තාගේ ජන්ම පත්‍රයේ සුබ ග්‍රහ පිහිටීම සේම තත්කාල කේන්දරයේ සුබ ග්‍රහයන්ගේ ස්ථානගතවීම ද මෙහිදී සලකා බැලෙනු ඇත. එමෙන්ම කාල හෝරා, පංචම කාල හෝරා,සූක්ෂම කාල හෝරා යන නිර්ණායකයන් මත ඉංග්‍රීසි පැය සහ විනාඩි වශයෙන් ගණනය කොට එම නැකත ඉදිරිපත් කෙරෙනු ඇත.
නමුදු මෙහි දී දවසේ ඉංග්‍රීසි පැය විසි හතර තමන් සාදන නැකත ප්‍රයෝජනයට ගනු ලබන්නාට සහ ඔහු නියුක්ත වන කාරියට අනුව විධිමත් ලෙස කළමනාකරණය කර ගැනීම එම ජ්‍යොතිර්වේදියා සතු පරම වගකීමකි. අප රටේ බොහෝ ජ්‍යොතිර්වේදීන් පොට වරද්දා ගෙන “යක්කු ගස් නගින වේලාවන්” වශයෙන් ගැමි වහරේ පැවසෙන කාල හෝරාවන් තුළින් පවා නැකැත් මතු කර ගැනීමේ නව නැඹුරුවක් පළ වන්නේ මෙම වගකීම පිළිබඳ නිසි අවබෝධයක් වත්මන් සමාජයේ බොහෝ දෙනකු තුළ නොමැති බැවිනි.
සුබ නැකැත් සම්පාදනයේදී බොහෝ විට කේන්ද්‍රීය සාධකයක් වනුයේ සූර්යෝදය හෙවත් හිරු උදාව ය. සියලු මානව ක්‍රියාකාරකම් හිරු උදාව මත පදනම්ව සිදුවන බවට පවතින සොබාදහමේ නීතිය සොබාදහම සමග පදනම් වූ ගැඹුරු ශාස්ත්‍රයක් හා දර්ශනයක් වන ජ්‍යොතිෂය විසින් ද ඉඳුරාම පිළිගෙන තිබීම ඊට හේතුව බව කිව යුතු ය. ඒ අනුව බව
භෝග සිටුවීම, පතල් කැණීම, ගෙපළ කැපීම වැනි කටයුතු උදෙසා හිරු උදාවට පෙර නැකැත් සකසා දීම ප්‍රායෝගික කාරියක් ද නොවේ.
විද්‍යා ශාස්ත්‍ර කටයුතු සඳහා හිරු උදාවට පෙර එළැඹෙන බ්‍රහ්ම මුහුර්තය නම් හෝරාව අතිශය යෝග්‍ය බව ජ්‍යොතිෂයට පදනම් වන වෛදික පිළිගැනීම ය. එනිසා දරුවන්ට අකුරු කියවන නැකැත් ද ඒ අලුයම් යාමයේම යොදා ගැනීමෙන් වැඩි ප්‍රතිඵල අත්වන බවට මතයක් තිබේ.බ්‍රහ්ම මුහූර්තය යනු හිරු උදාවට පැයකුත් මිනිත්තු 36කට පෙර ආරම්භ වී ඉර උදාවීමට මිනිත්තු 48කට පෙර අවසන් වන කාල පරිච්ඡේදයකි. පෙරදිග සම්ප්‍රදායට අනුව එය රාත්‍රියේ අවසාන අදියර හෝ මුහුර්තයයි. සියලු යෝග අභ්‍යාස සඳහා ශුභ කාලයක් ලෙස සැලකෙන අතර හින්දු ආගමානුකූල යෝග වැඩීම භාවනාව, නමස්කාරය හෝ වෙනත් ඕනෑම ආගමික පිළිවෙතක් සඳහා වඩාත් සුදුසු වේ.නමුදු කුඩා දරුවන් හට අකුරු කියැවීම සම්බන්ධයෙන් එවැනි අලුයම් යාමයක් යොදා ගැනීමේ ප්‍රායෝගික තත්වය පිළිබඳව ද අප සිතා බැලිය යුතු ය.මක් නිසා ද යත් දරුවන්ට අකුරු කියැවීම පිණිස වන ඊට වඩා යෝග්‍ය සුබ මුහුර්තීන් ඕනෑ තරම් ඇති බැවිනි.ඒ අනුව අවසන් වශයෙන් කිව යුත්තේ ඕනෑම කනකුට තමන්ට ප්‍රායෝගික වශයෙන් පහසු නැකතක් සාදා දෙන ලෙස ජ්‍යොතිර්වේදීන් ගෙන් ඉල්ලා සිටීමේ අයිතිය සේම ජ්‍යොතිර්වේදීන් තම සේවා දායකයන්ගේ එම ඉල්ලීම ඉටු කර දීම ද එක සේ වැදගත් බවකි.
හේම ශ්‍රී අමරසිංහ