නිළියන්ට කළ ලිංගික අතවර පිලිබඳ වාර්තාවකින් මලයාලම් සිනමාව කැළඹෙයි

ඉන්දියාව විවිධ භාෂා රැසකින් චිත්‍රපට නිපදවන රටක් බව සිනමාලෝලීන්ට රහසක් නොවේ. ඒ අතරින් මලයාලම් සිනමාව මේ වනවිට වඩාත් කැපී පෙනෙන තත්ත්වයකට පත්ව ඇති අතර ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල සිනමා රසික රසිකාවියෝ මලයාලම් චිත්‍රපට රස විඳීමට පුරුදුව සිටිති. ලංකාවේ ද මෙම චිත්‍රපට සඳහා විශාල රසික පිරිසක් සිටින බව දැකිය හැකි වේ.
කෙසේ නමුත් මේ වනවිට මලයාලම් සිනමා කර්මාන්තයට අදාළව විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙනු දක්නට ලැබේ. ඒ එරට සිනමාවට සම්බන්ධ නිළියන් ඇතුළු කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර පිලිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් වීමත් සමග ය. මෙයට ටික දිනකට පෙර නිකුත් කර තිබූ මෙම වාර්තාව හැඳින්වෙන්නේ ‘හේමා කමිටු වාර්තාව’ යන නමිනි. මලයාලම් සිනමාවට සම්බන්ධ ප්‍රසිද්ධ නළුවන් සහ අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනෙකුටම එරෙහිව ද චෝදනා එල්ල වී ඇති බව සඳහන් වේ. මෙම වාර්තාව එළිදැකීමත් සමග එම සිනමා කර්මාන්තය ආශ්‍රිතව විශාල කැළඹීමක් හටගෙන තිබේ.
වසරකට මලයාලම් චිත්‍රපට 150-200 ක් පමණ නිශ්පාදනය කෙරෙන අතර ඉතා උසස් මට්ටමේ චිත්‍රපට මෙන්ම ප්‍රගතිශීලී චිත්‍රපට ද මලයාලම් සිනමාව තුළින් බිහි වෙයි. දැන් කරළියට පැමිණ ඇති මෙම සිදුවීම එම සිනමාවට විශාල කළු පැල්ලමක් එක් කිරීමට සමත්ව ඇත.

අතවරයට මුහුණ දුන්නේ චිත්‍රපට රාශියක රඟපා ඇති භවානා මෙනන් නැමැති සම්මානනීය නිළියකි. ඇය ත්‍රිසූර් නැමැති නගරයේ සිට කොචි දක්වා ගමන් කරමින් සිටිය දී යම් පිරිසක් ඇය පැහැර ගෙන ගොස් ලිංගික අතවර කර තිබිණි. මෙහි දී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ දිලීප් නැමැති ජනප්‍රිය නළුවකුට යි. ඔහු චිත්‍රපට රැසක භවානා සමග රඟපා තිබූ නළුවෙකි.

භවානා මෙනන්

මලයාලම් සිනමාව තුළ පවතින අකටයුතුකම් ගැන සොයා බැලීම සඳහා කේරළයේ ප්‍රාන්ත ආණ්ඩුව එරට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු ඉහත කී හේමා කමිටුව පත් කර තිබුණේ 2017 වසරේ යි. මෙම කමිටුව පත් කිරීමට සිදුව තිබුණේ ප්‍රධාන පෙලේ මලයාලම් නිළියකට සිදු වූ දරුණු ලිංගික අතවරයක් නිසා ය.
මෙම අතවරයට මුහුණ දුන්නේ චිත්‍රපට රාශියක රඟපා ඇති භවානා මෙනන් නැමැති සම්මානනීය නිළියකි. ඇය ත්‍රිසූර් නැමැති නගරයේ සිට කොචි දක්වා ගමන් කරමින් සිටිය දී යම් පිරිසක් ඇය පැහැර ගෙන ගොස් ලිංගික අතවර කර තිබිණි. මෙහි දී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූයේ දිලීප් නැමැති ජනප්‍රිය නළුවකුට යි. ඔහු චිත්‍රපට රැසක භවානා සමග රඟපා තිබූ නළුවෙකි. කෙසේ හෝ වේවා, දිලීප් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය. නමුත් ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර මාස තුනකට ආසන්න කාලයක් බන්ධනාගාරගත කර තිබුණි. පසුව ඔහු ඇප මත නිදහස් කරන ලදී. නමුත් මෙම සිද්ධිය පිලිබඳ නඩු විභාගයක් තවමත් පැවැත්වෙමින් තිබේ.

මෙම සිදුවීමෙන් පසු පත් කරන ලද ඉහත කී හේමා කමිටුව මලයාලම් සිනමාව තුළ කාන්තාවන් මුහුණ දෙන විවිධ අසාධාරණයන් සහ දුෂ්කරතාවන් පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තේය. 2019 වසරේ එම කමිටුවේ වාර්තාව කේරළ බලධාරීන් වෙත බාර දී තිබිණ. නමුත් එය ප්‍රසිද්ධියට පත් කිරීම දිනෙන් දින කල් ගියේය. අවසානයේ මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරුණේ මෙයට දින කිහිපයකට කලිනි. නමුත් බොහෝ චුදිතයන් ගේ සහ අතවරවලට ලක් වූවන්ගේ නම් ඇතුළත් කොටස් තවමත් ප්‍රසිද්ධ කර නැති බව සඳහන් වේ. කෙසේ වෙතත්, පිටු 300 කට ආසන්න මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇති සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කේරළ රජය විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.

මෝහන්ලාල්

මේ අතර හේමා වාර්තාව නිකුත් වීමෙන් පසු එයින් උත්තේජනය ලැබූ කාන්තාවන් රැසක් තමුන් මුහුණ දුන් සිදුවීම් පිලිබඳ හෙලි කිරීම සඳහා පෙරට විත් තිබිණි. මේ සමහරුන් මේ වනවිට රංගනයෙන් ඉවත් වී ඇති බව ද මාධ්‍ය සඳහන් කර තිබේ. කිහිප දෙනෙකු ඇතැම් නළුවන්ට, අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි ගොනු කර ඇති බව ද වාර්තා වේ. මෙම කාන්තාවන් බොහෝ දෙනෙකුට ලිංගික අතවර කිරීමට උත්සාහ ගෙන තිබුණේ ඔවුන්ට චිත්‍රපටවල අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමිනි.
රූපගත කිරීමක් කළ කාලයේ තමුන් නතර වී සිටි හෝටල් කාමරවල දොරවල්වලට මහ රෑ තට්ටු කිරීමට පුරුදුව සිටි අධ්‍යක්‍ෂවරයකු ගැනද නිළියන් දෙදෙනකු පැමිණිලි කර තිබිණි.

මලයාලම් සිනමාවේ ප්‍රකට නළුවකු වන සිදීක්ට එරෙහිව ද එක් නිළියක පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔහු 2016 වසරේ තමා දූෂණය කළ බවට ඇය චෝදනා කර ඇත. සිදීක් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇතත් ඔහු කේරළයේ ප්‍රධාන සිනමා සංගමයක දරමින් සිටි නිලයකින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු පවසන්නේ මෙම චෝදනා තමාගේ ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණෙන් නගා ඇති චෝදනා බවයි.
හේමා වාර්තාවෙන් හෙලිදරව් කෙරුණු කාරණා ගැන තවමත් කිසිවක් නොපවසා මුනිවත රැකීම ගැන මලයාලම් සිනමාවේ දැවැන්තයන් වන මම්මුති, මෝහන්ලාල් වැනි නළුවන්ට ද ඇතැමුන් දෝෂාරෝපනය කර තිබිණි.

මම්මුති

මලයාලම් සිනමාවේ ප්‍රකට නළුවකු වන සිදීක්ට එරෙහිව ද එක් නිළියක පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඔහු 2016 වසරේ තමා දූෂණය කළ බවට ඇය චෝදනා කර ඇත. සිදීක් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇතත් ඔහු කේරළයේ ප්‍රධාන සිනමා සංගමයක දරමින් සිටි නිලයකින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු පවසන්නේ මෙම චෝදනා තමාගේ ප්‍රතිරූපයට හානි කිරීමේ අරමුණෙන් නගා ඇති චෝදනා බවයි.
හේමා වාර්තාවෙන් හෙලිදරව් කෙරුණු කාරණා ගැන තවමත් කිසිවක් නොපවසා මුනිවත රැකීම ගැන මලයාලම් සිනමාවේ දැවැන්තයන් වන මම්මුති, මෝහන්ලාල් වැනි නළුවන්ට ද ඇතැමුන් දෝෂාරෝපනය කර තිබිණි. මලයාලම් සිනමා ශිල්පීන්ගේ සංගමය නැමැති සිනමා සංගමයක තමුන් දරමින් සිටි සභාගති ධුරයෙන් ඉවත් වීමට මෝහන්ලාල් පසුගිය දා පියවර ගෙන තිබිණි. එම සංගමයේ කිහිප දෙනෙකුට එරෙහිව ද ලිංගික චෝදනා එල්ල වී තිබේ. මෝහන්ලාල් ඉවත් වී ඇත්තේ ඒ පිලිබඳ සදාචාරාත්මක වගකීම බාර ගනිමිනි.

ඉන්දියානු සිනමාව තුළ සිදුවන මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් මෙබඳු වාර්තාවක් නිකුත් වූ පළමු අවස්ථාව මෙය යි. මේ නිසා බොලිවුඩ් වැනි අනෙක් සිනමාවන් ද මේ වනවිට මතුවී ඇති තත්ත්වය ගැන දැඩි අවධානයෙන් පසුවන බව මාධ්‍ය සඳහන් කර තිබිණි. ඉදිරියේ දී එම සිනමාවන්ට ද අදාළ මෙවැනි ආන්දෝලනාත්මක කාරණා කරළියට පැමිණීමට ඉඩ තිබේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර