කොළඹ නෙළුම් කුළුණ පෙනෙන තෙක් මානයේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ දහයකට පමණ මිල දී ගත හැකි බව මීට කෙටි කලකට ඉහත මගේ හිතවතෙක් කීය. ඔහු බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දේදුගල, උඩුව ග්‍රාම නිලධාරී කාංචන එදිරිසිංහ ය. එහෙත්, ඔහුගේ ඒ කතාවෙහි කුමක් හෝ පටලැවිල්ලක් තිබිය හැකි බව සැනින් වටහා ගත් මම ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු විමසා සිටියෙමි.
එවිට ඔහු කියා සිටියේ අවශ්‍ය නම් ඒ ඉඩම් වල සිට ශ්‍රීපාදස්ථානය ද “වැඳ පුදා ගත හැකි” බව ය. ඒ කෙසේ හෝ ඔහු ඉන්පසු මා වෙත හෙළි කළ ඒ තොරතුරේ අපූර්වත්වය කොතෙක් ද යත් මම ඊට ආසන්නතම දිනයෙක අක්කරයක් රුපියල් ලක්ෂ දහයක් හෙවත් පර්චසයක් රුපියල් හය දහස් දෙසිය පනහක් පමණ වන නෙළුම් කුළුණ පමණක් නොව කොළඹ නගරයේ තවත් උස් ගොඩනැඟිලි සේම වරාය සේම සමනොළ කන්ද ද පෙනෙන තෙක් මානයේ ඇති ඒ අපූරු මනස්කාන්ත ඉසව්ව සොයා ගියෙමි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියෙන් හැරී යන දොලොස්බාගේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් දහ නවයක් පසු කළ විට හමුවන උඩ පැලැම්පිටිය මගේ හිතවතා කී ඒ අපූරු ඉසව්ව ය.මෙම ගමනාන්තයට අගනුවර සිට ඇති දුර කිලෝ මීටර් අනූවක් පමණ වේ.
බුලත්කොහුපිටියේ සිට දොලොස්බාගේ දක්වා ඇති මාර්ගයේ මුල් කොටස එතරම් සුවපහසු නැතත් එහි උඩ උඩපැලැම්පිටියේ සිට දොලොස් බාගේ තෙක් කොටස කාපට් අතුරා මනාව සකසා තිබේ.
එහි උඩ උඩපැලැම්පිටිය යනු තේවතු රජදහනකට මැදි වූ සුන්දර දිය ඇලි කිහිපයකින් යුතු වටපිටාවක් ද සහිත පැරණි ගම්වරයකි.මෙහි ඇත්තේ කඳුකරයට ආවේණික සිසිල් දේශගුණයකි.
එය බොහෝ දුරට මහනූවර දේශගුණයටත් වඩා සිසිල් බවින් යුතු දොලොස්බාගේ දේශගුණයට සමාන ය උඩ උඩපැලැම්පිටිය ගම්මානය උදෙසා විහාරස්ථානයක් නොමැති අඩුව මීට අවුරුදු හැට පහකට පෙරම මනාව දැනී ඇති බැවින් ඉංග්‍රීසින් ගේ තේවතු රජ දහනට අයත් කැල්වින් වත්ත නම් වත්තේ ඉහළම කොටසේ 1956 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍යය මුල්කොට විහාරයක් ඉදි කොට තිබේ.
ඒ විහාරය නම් කොට ඇත්තේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය නිමිනි. එම විහාරස්ථානයේ ඉඩමින් කොටසක් ඉංග්‍රීසීන් ගෙන් පසුව එය මිල දී ගත් ශිවලිංග පුල්ලේ නම් දානපතියකු විසින් පරිත්‍යාග කොට ඇති බවක් පැවසෙයි.
ඊට පසුව අලුතින් එක් වූ බිම් කොටස් ද අද එම විහාරය සතුව තිබේ. මා ඉහත සඳහන් කළ අපූරු දසුන් පෙළ වඩාත් හොඳින් දැක ගත හැක්කේ ඒ විහාර භූමියේ සිට ය.
“මේ විහාරස්ථාන භූමියේ බටහිර පැත්තෙන් තියෙන්නේ ලොකු කපොල්ලක්; අර ප්‍රසිද්ධ ඇල්ල කපොල්ල වගේ. නමුත් මේක අර වගේ ප්‍රසිද්ධ නෑ; නමුත් අහස පැහැදිලි දාට මේ කපොල්ලෙන් කොළඹ නගරයේ සැළකිය යුතු කොටසක් පැහැදිලිව දැක ගන්න පුළුවන්. නෙළුම් කුළුණ වගේම ලොකු ලොකු ඉදි කිරීම් පහසුවෙන් අඳුනා ගන්නත් පුළුවන්.
ඒ වගේම දකුණු පැත්තෙන් ශ්‍රී පාද කන්ද විදුලි ආලෝකයත් එක්ක ඉතාම හොඳින් දැක ගන්න පුළුවන්. නමුත් තවම මේ දර්ශනය ගැන පිටස්තර බොහෝ දෙනෙක් දන්නේ නැහැ.එහි දී අප කළ විමසුමකට පිළිතුරු ලෙස විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ලියන්වෙල සමිත හිමියෝ කීහ.
“අහස වළාකුලින් පිරුණු දවස්වලට මේ දර්ශන නොපෙනුණාට වළාකුළු අඩු දවස්වල දවල් රෑ දෙකේම ඒ දර්ශන හොඳට දැක බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම රෑට වහැලා උදේට හොඳට හිර පායාගෙන එන වෙලාවට ඒ දර්ශන අතිශයින්ම පැහැදිලිව පේනවා”උන්වහන්සේ එසේ පවසා සිටියේ එම අපූරු දසුන් නැරඹීඹ පිණිස එහි පැමිණෙන්නකු හට ඇතැම් විට ඒ සඳහා ඉඩකඩ පවතින බවක් ද පවසමිනි. එමෙන්ම, විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කරවීම තනා ඇති ඵලකය ඒ මනරම් දසුන් දැක ගත
හැකි ස්ථානයක් බව සමිත හිමියෝ කීහ.
හැකි ස්ථානයක් බව සමිත හිමියෝ කීහ.
උන්වහන්සේ වැඩිදුරටත් පැවසූ අන්දමට 2016 වසරේ කොස්ගම යුද හමුදා කඳවුරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි සිදු වූ පිපිරීම් දාමය එම විහාර භූමියට මල් වෙඩි ආකාරයෙන් දිස් වී තිබේ.
එමෙන්ම 2019 කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ පාස්කු ප්‍රහාරය මුල්කොට අහසට නැංවුණු දුම ද ඒ මොහොතේ විහාරස්ථ දහම් පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් තමන්ට පෙන්වූ බව ද උන්වහන්සේ මා හා කීය.
බුලත්කොහුපිටියේ සිට දොලොස්බාගේ තෙක් මාර්ග පද්ධතිය සකස් වීමත් සමඟ ඊට මායිම්ව පිහිටි උඩ උඩපැලැම්පිටිය ආදී ප්‍රදේශ වෙත දේශීය සංචාරකයන් ගේ විශේෂ අවධානය යොමු වෙමින් තිබේ.
එමෙන්ම අගනුවර සිට නුවරඑළිය දක්වා බුලත්කොහුපිටිය හා නාවලපිටිය හරහා වැටීගත් විකල්ප මාර්ගයක් සේම ශ්‍රී පාද මාර්ගයක් ලෙස ද මෙය කෙමෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් ඇති බවක් පෙනෙයි.
නමුදු මෙම ප්‍රදේශවල පාරිසරික සුන්දරත්වය අත් විඳීම පිණිස පැමිණෙන්නවුන් ගෙන් සැළකිය යුතු පිරිසක් මෙම ප්‍රදේශයේ පාරිසරික සහ සංස්කෘතික අගයන් කෙලෙසන අන්දමින් කටයුතු කිරීම ද කෙමෙන් වැඩිවන බවට ප්‍රදේශවාසීන් නඟන මැසිවිලි ද සුළු කොට තකන්නට නොපුළුවන.
උඩ පැලැම්පිටියට පෙනෙන සිරි පා කඳු වැටිය
තිලක් සේනාසිංහ