මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා වන පරිදි පැවති පඬුකරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් බවත් මෙම පඬුකරඳ ගස ඉවත් කිරීමත් සමඟ අලුතින් පඬුකරඳ ශාක 200ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.එක් එක් දේශපාලන වුවමනාවන් හා විවිධ හේතූන් මත ක්‍රියාත්මක වූ කණ්ඩායම් එම පඬුකරඳ ගස වසර සියයක් පමණ පැරණි බවත් ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් කියමින් විරෝධතා දක්වද්දී විෂය භාර ඇමැතිවරයා ලෙස තමන් එයට සංවේදී වෙමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිතියම වෙනස් කර ගසට හානියක් නොවන පරිදි ඉදිකිරීම් කිරීමට මුලදී සැලසුම් කළ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.නමුත් මූලික සැලසුම වෙනස් කිරීමේදී මාර්ගය ඉදිකිරීම සඳහා අමතරව රුපියල් බිලියන පහළොවක් වැය වන බව පෙනී ගිය බව කී ඇමැතිවරයා ජනතා මුදල් එතරම් විශාල ප්‍රමාණයක් අමතරව වැය කිරීම අසීරු බැවින් පසුව ඒ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට පියවර ගත් බවද කීය. විද්වතුන් ඇතුළු පිරිස් යොදා කළ එම අධ්‍යයනයේදී මෙම පඬුකරඳ ගස තිබූ ප්‍රදේශය අවට භූමියේ වසර හතළිහකට වඩා පැරණි තවත් පඬුකරඳ ගස් පහළොවක් පමණ තිබෙන අතර එයට අමතරව අඩි 12-15 උසින් යුතු ගස් 25 ක් තිබෙන බව අනාවරණය වූ බව ද ඇමැතිවරයා පැවසීය.