“මට මගේ පාඩුවේ කණක් ඇහිලා නිස්කාංසුවේ ඉන්න දීපල්ලා” මෙය මීට දශක කිහිපයක් තෙක් අපගේ වැඩිහිටි පරපුර වෙතින් තරුණ හා ළමා පරපුර හට නිබඳවම අසන්නට ලැබුණු වදනකි. එහෙත්, අද වන විට මෙය කෙතරම් විපරීත තත්වයකට පත්ව තිබේද? කිවහොත් අප රටේ සාමාන්‍ය ජනතාව ශබ්ද විකාශන මගින් ශබ්ද දූෂණය කරන්නවුන් වෙත නඟන පොදු මැසිවිල්ලක් බවට පත්ව තිබේ. ශබ්ද විකාශන මගින් ශබ්ද දූෂණය සිදු කිරීම බහුවිධ ක්‍රියාවලියකි. ඒ අතුරින් ලොව නොදියුණු රටවල පමණක් සිදු කෙරෙන ශබ්ද දූෂණ අංගයක් වනුයේ ආගමික ශබ්ද දූෂණයයි. අප රට සම්බන්ධයෙන් ද මෙම ආගමික ශබ්ද දූෂණය නොඅඩුව බලපැවැත්වෙන අතර ඒ අතින් අපි ලොව ඉහළම තලයකට පත්ව හිඳිමු. අප රටේ විවිධ ආගමික ස්ථාන මුල් කොට ශබ්ද විකාශන මගින් සිදුවන මෙම ශබ්ද දූෂණය අඩු වැඩි වශයෙන් සිදුවේ. නමුදු මෙරට ජනගහණයෙන් වැඩිම දෙනකු අදහන ආගම බුද්ධාගම නිසාත් මෙරට පූජනීය ස්ථාන අතුරින් වැඩිම ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථාන නිසාත් අප රටේ දැනට ප්‍රචලිතව පවත්නා මූලික බුදු සමයෙන් බැහැර නූතන ජනප්‍රිය බුද්ධාගම පදනම්ව මිනිසුන්ට සතා සීපාවාට, ක්ෂුද්‍ර ප්‍රාණීන්ට, සේම වෘක්ෂලතා වලින් සැදුම්ලත් පරිසර පද්ධතියට පවා අහිතකර බලපෑම් සිදු කෙරෙන මෙම ශබ්ද දූෂණ ක්‍රියාවලියේ ලොකුම වගකීම බෞද්ධ භික්ෂුන් ප්රමුඛ ඒ ඒ විහාරස්ථාන භාරකාරත්වය විසින් දැරිය යුතු බව පළමුව සඳහන් කරමි.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාවට පීඩාකාරී වන අයුරින් පිරිත් විසුරුවා හැරීමෙන් සමස්ත රට ජතියටම මහත් ආශිර්වාදයක් සිදුවන බවට පැතිර ඇති ජන විශ්වාසය මූලික බුදු සමයට ඉඳුරාම පටහැනි අන්ධ විශ්වාසයකි. බෞද්ධ සූත්‍ර පිටකයට අයත් දහ නව දහසකටත් අධික සූත්‍ර අතුරින් පිරිත් වශයෙන් සම්මත සූත්‍ර වෙන් කොට දක්වා ඒවා චතුර් භානවර පාලි හෙවත් සතර බණවර ලෙස නම් කොට ඇත්තේ අතීතයේ විසූ ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා විසින් මිස බුදුන් වහන්සේ විසින් නොවේ. වෛදික හින්දු ආදී ආගමික විශ්වාසයන් හි එන ශාන්තිකර්ම සම්ප්‍රදායට බෞද්ධාගමික ආරෝපණයක් ලබා දුන් මෙම පිරිත් දේශනා මගින් හාත්පසින් එළැඹෙන උවදුරු මැඩලිය හැකි (පරිසමන්ත තායස්සු රක්ඛතී ති පරිත්තං) බව ද දේශීය ව්‍යවහාරයක් මිස බුද්ධ භාෂිතයක් නොවේ. එවන් තත්වයක් යටතේ එම පිරිත් දේශනා ශබ්ද දූෂණයක් හට ගන්නා ලෙසින් හා සාමාන්‍ය ජනතාවට හිරිහැරයක් වන අයුරින් ප්‍රචාරය කරවීම බුදු දහමට කරන පරම නිග්රහයකි.ආගම් ඇදහීම හෝ නොඇදහීම මිනිසුන් සතු හිමිකමකි.එවන් තත්වයක් යටතේ බලහත්කාරයෙන් යමකු පිට කුමන ආගමක් වුව පැටවීම මිනිසත් බවට පවා නිඟා දෙන සදාචාර විරෝධී ක්‍රියාවක් බව කිව යුතු ය.. ඒ අතර ඇතැම් භික්ෂූන් පවා පිරිතෙහි ඇති ශබ්ද විද්‍යාත්මක බලයක් නිසා මිනිසුන් හට සේම සතා සීපාවා මුල් කොට ගත් පරිසර පද්ධතියට සෙතක් ශාන්තියක් වන බවට මතයක් පතුරුවති. නමුදු පිරිතේ නාද රටාව ද හුදෙක් දේශීය වශයෙන් භාවිතයට ගැනෙන්නක් මිස බෞද්ධ ධර්ම විනය සම්ප්‍රදායන් සමග කිසිදු අයුරකින් සම්බන්ධ වන්නක් නොවේ. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන මධ්‍ය ස්වර සප්තකයේ මුල් ස්වර සතර වන ස, රි, ග, ම මත පදනම්ව සජ්ජායනා කෙරෙන පිරිතේ ශබ්ද විද්‍යාත්මක බලයක් ඇත්නම් ඒ නාද රටාව ඔස්සේ එම ස්වර සංකලනය ගායනා හෝ වාදනය කළ ද ඒ සෙත් ශාන්තිය ඒ අයුරින්ම හිමිවිය යුතු ය. කුඩා දරුවකුට වුව වැටහෙන අයුරින් කිවහොත් මෙය ටොෆිය වීසි කොට ටොෆි කොලයේ රස බැලීමක් බඳු අඥාන ක්‍රියාවකි.
ඇත්ත ඇති සැටියෙන් කිවහොත් වත්මන් භික්ෂු සමාජයේ වැඩි දෙනකු තම විහාරස්ථාන ඇසුරින් මෙලෙස ශබ්ද විකාශන යන්ත්‍ර මුල්කොට ශබ්ද දූෂණයක් ඇති වන සේ පිරිත් වන්දනා ගාථා කවි බණ විරිදු ආදී මෙකී නොකී දෑ බාහිරට මුදා හරිනුයේ තම විහාරස්ථානය සතු ආගමික ප්රතාපය සම්බන්ධයෙන් ලොවට හඬනඟා කීමේ පුහු ආටෝපකාරී පියවරක් ලෙසිනි. එහෙත්, ඒ සම්බන්ධයෙන් මැදිහත් මත දරන්නවුන් පවසනුයේ බෙර, දවුල් ආදියේ ඇතුලත හිස් බව පදනම් ව ඒවායේ හඬ බාහිරට විහිදීම හා සමාන ක්‍රියාවලියක් මෙහිදී ද සිදුවන බවකි. එම අදහසට එකඟ වෙමින් අප පවසනුයේ ද විහාරස්ථාන වලින් මතුවන ශබ්ද දූෂණය ඒවායේ ආධ්‍යාත්මික හිස් බව කියා පාන්නක් බව ය. අද සමාජයේ බොහෝ දෙනකු නොදන්නා මුත් මෙලෙස තම විහාරස්ථානය හා සම්බන්ධ ආගමික ප්රතාපය බලහත්කාරී ලෙස බාහිර සමාජය වෙත පැටවීම ඒ විහාරස්ථාන වල සමස්ත භික්ෂු ප්රජාවන්ගේ පූර්ණ එකඟත්වයකින් සිදුවන්නක් ද නොවේ. අප ඉතා හොඳින් දන්නා අන්දමට ඒවායේ වැඩ වෙසෙන භික්ෂුන් ගෙන් වැඩි කොටසක් ද මෙම ශබ්ද දූෂණයන් නිසා බරපතල පීඩාවට පත්ව සිටිති. එහෙත්,ඒ මුල් කොට විහාර භාරකාරත්වයට එරෙහි වීම තමන්ට ද උන්හිටි තැන් අහිමි කරවන්නක් නිසා ඒ භික්ෂුන් ඒ අතිමහත් පීඩාව නිහඬව විඳ දරා ගෙන හිඳින බව අපි පෞද්ගලිකව හොඳාකාරව දනිමු.
බුදුන් වහන්සේ මෙවන් අධික ඝෝෂාකාරී පරිසරයන් දැඩිසේ ප්‍රතික්ෂේප කළ බවට ත්‍රිපිටකානුසාරයෙන් ගොනු කර ගත හැකි කරුණු බොහොමයකි.තමන් වහන්සේට උවටැන් පිණිස පැමිණි භික්ෂ පිරිසක් දෙව් රම් වෙහෙර තුළ එලෙස හඬ නඟා ඝෝෂා කළ බැවින් බුදුන් වහන්සේ ඔවුන් විහාරාරාමයෙන් පිටමං කොට පසු කලෙක ඔවුන් ආර්ය මාර්ගය ඔස්සේ ගමන් කරන බව වටහා ගෙන නැවත කැඳවා ගත් පුවතක් ඛුද්දක නිකායේ උදාන පාලියේ එන යසෝජ සූත්‍රයේ සඳහන් ය. එහිදී බුදුන් වහන්සේ එම භික්ෂුන් නඟන ඝෝෂාව අසා “මේක මාළු වාඩියක්ද?”(කිං නු තුම්හේ භික්ඛවේ උච්චාසද්දා මහාසද්දා කේවට්ටා මඤ්ඤේ මච්ඡවිලෝපේ) යනුවෙන් විමසා සිටි බවක් ද එම සූත්‍රයේ සඳහන් ය.
යමක කරදරකාරී බව හැඟවීම පිණිස නූතන සමාජය යොදන ජනප්‍රිය අව වහරක් වනුයේ ‘ඇනයක්’ යන්න ය. එමෙන්ම මෙවන් අධික ශබ්දය ද ප්‍රථම ධ්‍යානය විෂයෙහි ‘කටුවක්’ බව බුදුන් වහන්සේ ද දේශනා කොට ඇති බවක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ කණ්ටක සූත්‍රයේ මෙලෙස සඳහන් වේ.
”මහණෙනි, ධ්‍යානයෝ ශබ්දයෙන් රිදුම් දෙන කටු සහිත වූවාහු’ යැයි ම’විසින් පවසන ලදී. මහණෙනි, මේ කටු දහයක් තිබේ. ඒ කවර දහයක් ද යත්; හුදෙකලා විවේකයේ ඇළුණු කෙනෙකුට පිරිස සමඟ ඇලී සිටීම කටුවකි. අසුභ නිමිත්ත දියුණු කරමින් සිටින කෙනෙකුට සුභ නිමිත්ත ඇති වීම කටුවකි. ඉන්ද්රියයන්හි දොරටු වසාගෙන සිටින්නහුට විකාර දර්ශනයන් පෙනීම කටුවකි. බඹසර සිල් රකින්නහුට ස්ත්‍රියක හා හිතවත් වීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්ක විචාර කටුවකි.තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. හතරවෙනි ධ්‍යානයට ආශ්වාස ප්රාශ්වාස කටුවකි. සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සංඥාවත්, විඳීමත් කටුවකි. රාගය කටුවකි. ද්වේෂය කටුවකි. මෝහය කටුවකි. මහණෙනි, මේ කටු රහිත ව වාසය කරව්. මහණෙනි, කටුවලින් තොර ව වාසය කරව්. මහණෙනි, රහත්හූ කටු රහිතයෝ ය. මහණෙනි, රහත්හු කටුවලින් තොර වූවෝ ය. මහණෙනි, රහත්හූ කටු රහිත, කටු වලින් තොර වූවෝ ය”.
බුදුන් වහන්සේ විසාලා මහනුවර මහ වනයේ කූටාගාර ශාලාවේ වැඩ සිටින සමයේ ලිච්චවී රජ දරුවන් සුවපහසු යානා සහ පිරිසක් සමඟ බුදුන් වහන්සේ බැහැ දැකීමට එහි පැමිණීමත් සමඟ එහි වැඩ සිටි භික්ෂුන් වහන්සේ කිහිප නමක් තම චිත්ත විවේකයට බාධා වීම මත ශාන්ත නිහැඬියාවක් සහිත ගෝසිංහ සාල වනෝද්‍යානයට වැඩම කළහ.පසුව ඒ සම්බන්ධයෙන් විමසා බලන බුදුන් වහන්සේ භික්ෂුන් අරභයා ඉහත සඳහන් දේශනාව කළ බව එම සූත්‍රයෙහි දැක්වෙයි.බුදුන් වහන්සේ පරිසරයේ ඇති අධික ඝෝෂාකාරී බව පිටුදැකීම සම්බන්ධ තවත් වැදගත් තොරතුරක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ කිංදිට්ඨික සූත්‍රයේ ද සඳහන් ය.
එහි නිදාන කතාවට අනුව දිනක් මධ්යාන්නයේ බුදුන් බැහැ දැකීමට යන අනේපිඬු සිටුතුමා ඒ මොහොතේ බුදුන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේ මානසික සුවයෙන් වැඩවෙසෙතැයි සිතා තීර්ථකාරාමයක් වෙත යනුයේ බුදුන් බැහැ දැකීමට නිසි කාල වේලාව එළැඹෙන තුරු ය. ඒ මොහොතේ උස් හඬින් කෑ කොස්සන් දෙමින් හිඳින තීර්ථකයන් අනේපිඬු සිටුතුමාගේ පැමිණීම දැක ඔහු නිහඬතාව ප්‍රිය කරන ශ්‍රමණ ගෞතමයන් ගේ ශ්‍රාවකයෙකු බැවින් තමන් ද නිහඬ විය යුතු යැයි කතිකා කොට ඒ නිහඬ බව ආරක්ෂා කර ගත් පුවතක් එම සූත්‍රයේ සඳහන් ය.
බුදුන් වහන්සේ කොතෙක් දුරට නිහඬතාව ඇගැයුමට ලක් කළේ ද යන්නට දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍ර නිදාන කතාව මගින් ද කදිම සාක්ෂියක් සැපයෙයි.භික්ෂුන් එක් දහස් දෙසිය පනහක් ද සමඟ කෝමාරභච්ච ජීවක තුමන්ගේ අඹ වනයේ වැඩ සිටින බුදුන් වහන්සේ බැහැ දැකීමට එක් පුන් පෝ දිනයක අජාසත්ත රජතුමා යනුයේ කෝමාරභච්ච ජීවක තුමන් කළ ඉල්ලීමක් මත ය. එහිදී රජතුමන් ඇතින්නියන් පන්සීයයක් පිට නැගි බිසෝවරුන් පන්සියයක් ද සමඟ ඒ ගමනේ යෙදුණු බව එහි සඳහන් ය. නමුදු එම කූටාගාර ශාලාවට සමීප වත්ම ඉන් කිසිවකුගේ කතා හඬක් තබා කිවිසීම් කෑරීම් හඬක් වත් නොනැඟීම මත අජාසත් රජුගේ සිත තුළ මහත් භීතියක් හටගනී. ඒ එය බුදුන් වහන්සේ බැහැ දැකීමට කැඳවා ගෙන යන බව පවසමින් කෝමාරභච්ච ජීවක තුමන් තමන් සතුරන්ට පාවා දීමට දරන වෑයමක් බවට සැකයක් උපදවා ගනිමිනි. ඒ අනුව ඒ මොහොතේම ඒ බව විමසන අජාසත් රජතුමන්ට කෝමාරභච්ච ජීවක තුමා එම අඹ වනයේ චක්රාගාර ශාලාවේ දැල්වෙන පහන් පෙන්වා බුදුන් එහි මැද කනුව සමීපයේ නැගෙනහිර දිසාව බලා භික්ෂුන් පිරිවරා වැඩ සිටින බව පවසා රජුගේ සැකය දුරු කළ බව එම සූත්‍රයේ සඳහන් ය. එහිදී පීතෘ ඝාතක අජාසත් රජතුමන් බුදුන් වහන්සේ ප්රමුඛ මෙම භික්ෂු පිරිසගේ ඉන්ද්රියයන් සංවරය තම පුතු වන උදායි භද්‍ර කුමරුන් තුළත් ඇති වන්නේ නම් යැයි සිතූ බව ද ඒ සූත්‍රයේ දැක්වෙයි.
නමුදු අද අප රටේ වැඩ සිටින භික්ෂුන්ගෙන් වැඩිදෙනෙක් ශබ්ද දූෂණය වැනි කරුණක් සම්බන්ධයෙන් වුව ධර්ම විනයානු කූල විනිශ්චයකට එළැඹීමට අපොහොසත් වෙති. ඔවුන් සිතනුයේ බෞද්ධයන් චිත්ත දමනය මුල්කොට ගත් සදාචාර මාර්ගයකට පිවිසුවීම වෙනුවට ඉහත සඳහන් ආකාරයෙන් ඔවුනට නිස්කාන්සුවේ දීමට ඉඩ නොදී අප රටේ ජනසමාජය තම විහාරස්ථාන කෙරෙහි පහදවා ගෙන ඔවුන් ගෙන් ගෙන් වැඩිපුර ලාභ ප්‍රයෝජන ගත හැකි බවකි.එහෙත්, මේ වන විට පැනනැඟී ඇති නවතම තත්වය අනුව අප රටේ භික්ෂු ප්‍රජාවේ බහුතරයක් තුළ නොමැති චින්තන ප්රබෝධයකින් යුතු නව සමාජ පැලැන්තියක් වේගවත් ප්‍රවර්ධනය වීම හේතුවෙන් ඉහත සඳහන් අන්දමින් ශබ්ද දූෂණය මුල් කොට ආගමික පෞරුෂය ඉස්මතු කිරීමට වෙර දරන භික්ෂුන් කපටින් වංචනිකයන් සේම ධර්ම විනය නොදත් අඥානයන් හෙවත් මෝඩ පුරුෂයන් ලෙස මේ වන විට වේගයෙන් දැනහැඳුනුමට පාත්‍ර වෙමින් සිටිති.ශබ්ද දූෂණය සම්බන්ධයෙන් වග කිව යුතු පූජක පාර්ශවයන් සම්බන්ධයෙන් මෙම තත්වය මේ අයුරින්ම බලපාන බව පෙනී යන මුත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමකින් තොරව මෙම සටහන නිමා කරනු කැමැත්තෙමු.
කදුරුපොකුණේ සුමංගල හිමි