ශ්‍රී ලංකාව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට වී ඇත. ලෝක ආහාර උද්ධමන දර්ශකයේ ඉහළින්ම සිටින රටවල් පහ අතරට ලංකාවට මේ වන විට එකතු වී තිබේ.
අපට රටට හිමිව ඇත්තේ එහි 12 වන ස්ථානයය. අපට ඉදිරියෙන් සිටින්නේ සිම්බාබ්වේ, සිරියාව, ලෙබනන් වැනි රටවල්ය. මේ සියල්ලට මූලිකව ඇත්තේ ඩොලර් අර්බුදයයි.
ශ්‍රී ලංකාවේ ආනයනය ඉහළ ගොස් අපනයන පහළ වැටී තිබේ. කොවිඩ් වසංගතයත් සමඟ රටට පැමිණෙන විදේශ සංචාරකයන් ද අහිමි ව ගොස් තිබිණ. අනෙක් පසින් විදෙස් ශ්‍රමිකයන් ද මෙරටට එවන ප්‍රේෂණ නවත දැම්මේය.
ඊට හේතු වූයේ ඩොලරයේ අගය ඉහළ යද්දී මහ බැංකුව මැදිහත්ව එය කෘත්‍රිමව පාලනය කිරීම ය. දේශීය බැංකු ඩොලරයකට රුපියල් 210 ක් ගෙවද්දී කළු කඩ ඊට 240 ක් ගෙව්වේ ය.
පසුව මහ බැංකුව ඩොලරයට ගෙවන මුදල රුපියල් 10 කින් ඉහළ දැම්ම ද විදෙස් ශ්‍රමිකයෝ වැඩි මුදලක් සිය ඥාතීන් අතට පත් කිරීම සඳහා උන්ඩියල් වැනි කළු කඩ හරහා මුදල් එවීමට කටයුතු කළහ. මේ සියළු කාරණා හමුවේ ඩොලර් අර්බුදය ඉහළ යද්දී ලංකාව මුදල් අච්චු ගැසීම ද ඉහළ දැම්මේය.
පවතින මූල්‍ය අර්බුදයෙන් ගොඩ ආ හැකි එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් ඓMF වෙත යාම බව විපක්ෂයේ සමහර නායකයෝ පෙන්වා දුන්හ.
රනිල් වික්‍රමසිංහ, හර්ෂ ද සිල්වා හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ අයි.එම්.එෆ් යා යුතු බවය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශව කියා සිටියේ ඓMF වෙත නොයා යුතු බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කොන්දේසි පනවන බැවින් ඒ වෙත යා යුතු නැතැයි ඇමති මණ්ඩලයේ කොටසක් කියා සිටිම නිසා IMF යාම ගැන ආණ්ඩුව දෙකට බෙදුණි.
බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර ආදී පිරිසක් කීවේ IMF වෙත නොයා යුතු බව ය. IMF ගියොත් එම මොහොතේම ආණ්ඩුවෙන් තමන් ඉවත් වන බවද වාසුදේව නානායක්කර කීවේ ය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කීවේ IMF ගිය හොත් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවය. එසේම රජය ජනතාවට ලබා දෙන නොයෙක් සහනද කප්පාදු කිරීමට සිදුවනු ඇති බව කියා සිටියේය.
රාජ්‍යයේ පාර්ශව දෙකට බෙදී මේ ගැන තර්ක කරද්දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මුදල් ඇමතිවරයා මේ ගැන කිසිවක් නොකියා නිහඩව සිටීමෙන් පැහැදිලි වූවේ ඔවුන් ද IMF යාමට කැමැත්තක් නැති බව ය.
එහෙත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුව කියා සිටියේ ඩොලර් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යාම සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කරමින් සිටින බව ය.
බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම වෙනුවෙන් ඩොලර් නොමැති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු බැංකුවකි. බැංකු කිසිවිටක තමන් දෙන ණය ගෙවා ගත නොහැකි කෙනෙකුට ණය දෙන්නේ නැත. නමුත් ණය ගෙවා ගත නොහැකි රටකට ණය දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලක් තිබේ. එතනදී ඔවුන් කරනුයේ ණය ගෙවා ගත නොහැකි රට ණය ගෙවා ගත හැකි රටක් බවට පරිවර්තනය කිරීමය.
ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම රටට ලැබෙන යම් ආදායමක් ඇතිනම් එය කළමනාකරණය කිරීම වෙනුවෙන් කොන්දේසි දමයි. එසේම ලබාදෙන ණය නිසි කළමනාකරණයකින් යුතුව වැය කිරීම වෙනුවෙන් ද කොනේදේසි දමයි.
එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ ණය ගෙවා ගත නොහැකිව මූල්‍ය අර්බුදයක සිරවී සිටින රට එම අර්බුදයෙන් ගොඩ ගෙන ණය ගෙවිය හැකි රටක් බවට පරිවර්තනය කිරීම ය.
ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වන්නේ නම් පමණක් IMF ආයතනය ණය ලබා දෙන අතර ඔවුන් එම ණය මුදල නිසි ලෙස කලමනාකරණය කරන්නේදැයි පසු විපරම් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් පිරිසක් නේවාසිකව සිටිමින් සොයා බලනු ලබයි. එවිට එම ණය දුෂිත ක්‍රිය වෙනුවෙන් නොයොදා අවශ්‍ය දේට පමණක් වියදම් කිරීමට සිදුවේ.
මේ කාරණය නිසා බොහෝ දූෂිත රටවල් IMF වෙත යාමට මැළිකමක් දක්වයි. ලංකාව ද මේ වන විට IMF වෙත යා යුතු කාලය පසු කර තිබේ. මුලින්ම ලංකාව IMF වෙත ගියා නම් මේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමට හැකියාව තිබුණි.
ලංකාව උත්සාහ කළේ හිතවත් රාජ්‍යයන් හරහා ණය ලබා ගෙන ඩොලර් අර්බුදය විසඳා ගන්නට ය. එහෙත් ලංකාවට හිතවත් රාජ්‍යයන් වන චීනය හා ඉන්දියාව ණය ලබා දුන්නේ ඔවුන්ගේ රටවලින් ණය ලබා ගැනීම වෙනුවෙන් මිස මුදල් වශයෙන් නොවීම නිසා රජයේ මූල්‍ය අර්බුදය උත්සන්න විය.
පකිස්ථානය ද ඔවුන් මුහුණ දීමට සුදානම් වූ ඩොලර් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගියේ ය. එලෙස ගිය නිසා සෞදිියෙන් ඔවුනට ඩොලර් ණයක් ගැනීමට හැකිවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් රටකට ණය දෙන්නේ නම් වෙනත් රටවල් ද එම රටට ණය දෙන්න මැලි වන්නේ නැත. මන්ද IMF ණය දෙන්නේ ණය ගෙවිය හැකි රටවලට බව අනෙක් රටවල් දන්නා නිසා ය.
අවසානයේ දැන බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා IMF වෙත යාමට සුදානම් බව විදෙස් මාධ්‍යයකට පවසා තිබේ. ඊට අමතරව ලංකාවට මෙම වසරේ තවත් ඩොලර් බිලියන 6.9 ණයක් ගෙවීමට ද තිබේ. සෛවරි බැදුම්කර ඇපයට තබා ගත් එම ණය ගෙවීම කල් ගැනීමට අදාළ ආයතන සමග සාකච්ඡා කරන බවද ඔවුන් කියා සිටියේ ය.
කෙසේ නමුත් පමා වී හෝ IMF වෙත යාමට ගත් තීරණය අගය කළ යුතු ය. නැතිනම් ලංකාව බෙහෙත් නොමැතිව මිනිසුන් මැරෙන කන්න නැතිව මිනිසුන් ජීවිතක්ෂයට පත් වන රටක් බවට නොබෝ කලකින් පත්වීමට ඉඩ තිබුණි.
ලසන්ත වීරකුලසූරිය