’ආරෝග්‍යා පරමා ලාභා’ යැයි බුදු හිමියෝ වරෙක දේශනා කළහ. එහෙත්, වත්මන් ලංකාවේ පවතින ඇතැම් පෞද්ගලික රෝහල් ද ඇතැම් වෛද්‍යවරුන් ද කටයුතු කරන්නේ ‘ආ රෝගියා පරමා ලාභා’ යන සංකල්පයේ සිට ය.එහෙත්, තවමත් උතුම් ගුණධර්ම වලින් පිරිපුන් හොඳ හදවත් ඇති ජීවක පරපුරේ වෛද්‍යවරුන් ගෙන්; දොස්තර මහත්වරුන් ගෙන් අපේ රට සපුරා දුරස් වී නොමැත. ඔවුහු මල් මෙන් පිපී හාත්පස සුවඳ විහිදුවමින් සිටිති. මේ කියන්නට යන නාමල් ද නාමලක් මෙන් පිපී රටටම සුවඳ බෙදමින් සිටින ජීවක පරපුරේ විශේෂඥ වෛද්‍ය වරයෙකි. නාමල් විජේසිංහ නමැති ඔහු අද කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති ය. එසේම,හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. මහාචාර්යවරයෙකි.හෘද රෝගීන් වෙනුවෙන් කැපවුණු ඔහුට මා දුරකථන ඇමතුමක් දුන් විට ඔහු පැවැසුවේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින බවකි. කෙසේ හෝ ඔහු මා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වන විට දහවල් එක හමාර පමණ විය. ඉනි`ක්බිතිව අපි හමු වීමු.
“මගේ ගම මාතර, ඉගෙන ගත්තෙ රාහුලේ. ඊට පස්සෙ කොළඹ රාජකීය විදුහලේ.ඊළඟට රුහුණු විශ්ව විද්‍යාලෙ. ඊට පස්සේ නවසීලන්තයෙ සහ කැනඩාවේ. ඔය විදිහට ඉගෙන ගෙන අද මම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්” ඔහු තමා ගැන ඉතාම කෙටියෙන් හැඳින්වීමක් කළේය.
’‘එතකොට සත්ව ප්‍රේමයෙන් හදවත පිරෙන්න ගත්තෙ කොයි කාලෙ ද?” මම දොස්තර මහත්යාගෙ මුහුණ බලුවෙමි. මන්ද, මා ඔහු මුණගැසුණේ හෘද රෝග විශේෂඥයකුගේ අසීමිත සත්ව ප්‍රේමය ගැන දැන ගැනීම පිණිසම වූ බැවිනි.
“විශ්ව විද්‍යාලෙ ඉන්න කාලයේදී”ඔහු කියන්නේ මුවඟ රැඳුණු මඳ සිනා ඇතිව ය.
’‘එතකොට මම හිටියෙ කරාපිටිය වෛද්‍ය පීඨයේ. අපි පිහිටුවාගෙන තිබුණා ගවේෂණ සමාජය කියලා සංවිධානයක්. මේ සංගමය කලේ පරිසරය, සතා සීපාවා, ගහකොළ පරෙස්සම් කරගන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම” මට මතකයි. වතාවක් මාධ්‍යවේදී කණ්ඩායමකුත් සමග අපි සිංහරාජයේ ගවේෂණයක් කළා. අපි වන සංහාරයට විරුද්ධ වුණා.එතකොට අපි හෝටර්න් තැන්නටත් ගිහින් එහෙ පරිසරය පිරිසිදු කරන්න, ආරක්ෂා කරන්න යම් යම් උත්සාහයන් ගත්තා. හෝර්ටන් තැන්නෙ අනවසර මැණික් ගැරීම සිදු වුණා. ඒ වගේම එහේ ඉන්න ගෝනුන්ට යම් යම් ප්‍රශ්න තිබ්බා. එතකොට කඩොලාන පරිසර පද්ධති රැක ගන්නත් අපේ ගවේෂණ සමාජය ලොකු වැඩ කොටසක් කළා. මේ හැම කටයුත්තකදීම අපි කළ ප්‍රධාන කාර්යයක් තමයි ජනතාවගේ ආකල්ප වෙනස් කරලා. ඔවුන් ඒ ඒ පරිසර පද්ධතිවල රැකවලුන් බව අවබෝධ කර දීම. ඒ විදිහේ ආකල්ප සංවර්ධනයක ප්‍රතිඵල දීර්ඝ කාලීනයි’‘.
නාමල් විජේසිංහ පශ්චාත් අධ්‍යාපන කටයුතු පිණිස නවසීලන්තයට සහ කැනඩාවට ගිය කාලවකානුවේදීත් පරිසර ප්‍රේමය නොමැරුණත් ප්‍රායෝජික ක්‍රියාකාරකම්වල නිරත වීමට අවකාශ ලැබුණේ නැත. එහෙත්, ඔහු ඒ රටවල පැවැති විවිධ පාරිසරික සංගම්වල ක්රියාකාරීත්වයන් පිලිබඳ අවධානයෙන් පසු වූයේය.
“ඒ රටවලත් විවිධ පාරිසරික ලෝලීන් හිටියා. සත්ව ප්‍රේමීන් හිටියා. මේ අය එකට එකතු වෙලා විවිධ සංගම් හදාගෙන තිබුණා. හැබැයි ඒ එකි`නෙකාගෙ ක්‍රියාකාරකම් වල ස්වභාවය එකිනෙකාට වෙනස්. නීතිය සම්බන්ධ අය නම් ඔවුන් පරිසර ප්රශ්නවලදී ගියේ නීතිය ළඟට. සත්ව ප්‍රේමින් නම් සතුන්ට කන්න බොන්න දීම වගේ දේවල් පශු වෛද්‍ය කණ්ඩායම් එහෙ නම් තුවාල වුණු සතුන්ට බෙහෙත් දීම වගේ දේවල් කළා.ඔය අතරෙ ආකල්ප සංවර්ධනය වගේ දේවල් ක්‍රියාවට නගපු සංගම්, සමාජ එහෙමත් තිබුණා.
විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස යළි ලංකාවට පැමිණි නාමල් විජේසිංහ සතුන් වෙනුවෙන්ම සංවිධානයක් පිහිටුවා ගන්න ඇප කැප විය. මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, වෛද්‍ය දිලූෂා අබේවික්‍රම, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන්, පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා යන සත්ව ප්‍රේමීන් සම්බන්ධ කරගෙන ඔහු පිහිටුවූ එම සංවිධානය ‘අහිංසා ශ්‍රී ලංකා’ ය.
“අපි මේ සංගමය පිහිටුවා ගත්තෙ 2013 දී. අපි මේ සංගමයෙන් කරන ප්‍රධානතම කටයුත්ත තමයි ආකල්ප සංවර්ධනය. වතාවක් පෝය දවසක අපි රුවන් වැලි සෑයට ගියා.
එතකොට එහි නායක හාමුදුරුවො විදිහට වැඩසිටිය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදය මැද පන්සලට පැමිණි අයට සත්ව ප්‍රේමයේ වැදගත්කම කියා දුන්නා. මේ
මිහිතලය මිනිසාගේ විතරක් නොවෙයි. සතා සීපාවාත් ගහකොළත් කියන හැමෝටමයි. ඒ නිසා සතෙකුට අඩුම තරමින් බල්ලකුටවත් ගලකින්වත් ගසන්නෙ නෑ කියන පොරොන්දු පත්රයකට එදා අපි අත්සන් ගත්තා. ඒ වැඩපිළිවෙළ හුඟාක් සාර්ථක වුණා.ඒ වගේම එදා අපි විශාල සුනඛ පිරිසකට දානයකුත් ලබා දුන්නා.තවත් වතාවක් අපි කළේ සර්පයන් කියන්නෙත් මේ මිහිතලයේ මේ පරිසරයේ කොටස් කරුවන් බව අවබෝධ කර දීමයි. ඒ වගේම තරුණ පිරිසකට සර්පයන් පරෙස්සමට අල්ලන හැටිත්, ඔවුන් ජනශූන්‍ය ප්‍රදේශවලට මුදාහරින හැටිත් කියා දුන්නා. එමගින් රට පුරාම කිසියම් ජාලයක් හැදුණා. කාගෙ හරි ගෙදරක වත්තක විෂඝෝර සර්පයෙක් ඉන්නවා නම් ඌව නොමරා මේ කණ්ඩායම හරහා ඔවුන් වත්තෙන් ඉවත් කරන්න පුළුවන්”.
වෛද්‍ය නාමල් විජේසිංහලාගේ අහිංසා සංවිධානය මෙතෙක් කළ ලොකුම සහ සුවිශේෂම කටයුත්ත අහිංසා ස්මාරකයක් ඉදිකිරීම ය. ගල්ගමුවේ පුලංචිය වැව අසල ගිමන්හල උද්‍යානයේ ඉදිකළ මේ අහිංසා ස්මාරකයේ පෙනී සිටින්නේ ඇත් ජෝඩුවකි. ඒ සියඹලන්ගමුවේ ඇතා සහ ගල්ගමුවේ දළ පූට්ටුවා ය. රුපියල් ලක්ෂ ගණනක වියදමින් ඉදිකෙරුණු මේ ස්මාරකය නොවන්නට මම නාමල් විජේසිංහ විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳ මේ ලිපිය නොලියන්න ද ඉඩ තිබිණි. එබැවින්ම මම මේ ඇත් ස්මාරකය පිළිබඳව විමසීමි.
“ඔය සියඹලන්ගමුවේ ඇතාත් දළ පූට්ටුවාත් දෙන්නාම ගල්ගමුවේ මිනිස්සු එක්ක සහජීවනයෙන් ජීවත් වුණා. ගම් වැදිලා වත්තක ගහකින් කොස් කඩාගෙන කෑවට, කුඹුරකට හේනකට බැහැලා චුට්ටක් බඩ පුරවා ගත්තට ගල්ගමුවේ මිනිස්සු මේ ඇත්තුන්ව එළෙව්වෙ නැහැ. මේ ඇත්තු දෙන්නත් කවදාවත් මිනිහෙකුට කරදරයක් කළෙත් නැහැ. ඒත්,ගම් වාසීන්ගේ විරුද්ධත්වය මැද්දේ වනජීවිය සියඹලන්ගමුවේ ඇතාව නිර්වින්දනය කරලා ලොරියකින් අරන් යන්න උත්සාහ කළා. ඒ උත්සාහයේදී මේ ඇතා මියගියා.
එතකොට දළ පූට්ටුවාට දළ පෙරේතයෝ වගයක් වෙඩි තියලා මරලා දැම්මා. මේ අවස්ථා දෙකේදීම ගල්ගමුවේ මිනිස්සු දාන දීලා මේ අලින්ට පින් පැමිණවීම කළා. ඔන්න ඔය අවස්ථාවේදී ගල්ගමුවේ මිනිස්සුම තමයි යෝජනා කළේ මේ ඇත්තු දෙන්නාගේ ස්මාරකයක් හදන්න ඕනෑ කියලා. පස්සේ ප්‍රාදේශීය සභාවේ සහයෝගයක් ඇතිව අපේ අහිංසා සංවිධානය මේ වැඩේට මූලික වුණා. ගමේම ඉන්න මූර්ති ශිල්පියෙක් වන ජේ .රත්නායක තමයි මේ අපූරු ස්මාරකය හැදුවේ. 2022 ඔක්තෝබර් 09 වැනිදා අපි මේ ස්මාරකය ජාතිය සතු කලා.
ගල්ගමුවේ ඇත් ස්මාරකය අද බොහෝ සංචාරකයන් නවතින තැනක් බවට පත්ව ඇත. මෙය නරඹන බොහෝ සෙනඟ දුවා දරුවන් නෙත් කදුළින් තෙත් කරගෙන මේ ඇත් රජුන් දෙස බලා හිඳිති. ඇතැම් දරුවෙක් සුදු නෙළුම් මල් ගෙන මෙම ඇතුන්ගේ හොඬවැල කෙළවර රඳවා යන්නේ ප්‍රකම්පිත වූ හදවත් ඇතිවය.හැබැයි ඒ කිසිවෙක් මේ සද්කාර්යය පිටුපස සිටින විශේෂඥ වෛද්‍යවරයා ගැන කිසිවක් මෙතෙක් දැන සිටියේ නැත.
ශාන්ත කුමාර විතාන(2023 ජූනි 04 ඉරිදා ලංකාදීප පුවත් පතෙනි)