පසට විස චීන පොහොරත් අපට භාර ගන්නට සිදුවේද?

ලක් ඉතිහාසයේ කිසිම දිනයෙක දක්නට නොතිබුණු අන්දමේ පොහොර අර්බුදයක් දැන් පැන නැඟී ඇත.එමෙන්ම එය මේ වන විට මහජන බැංකුව අසාදු ලේඛනයට යැවීමට තරම් ප්‍රබලවී තිබේ. ශ්‍රී ලංකාව එකවරම සියයට සියයකින් කාබනික ගොවිතැන සදහා හුවමාරු කිරීමත් සමග රටට අවශ්‍ය තරම් කාබනික පොහොර නොමැතිවීම මත කාබනික පොහොර ආනයනයට තීන්දු කෙරිණි. ඒ අනුව චීනයේ කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමෙන් කාබනික පොහොර ආනයනය කිරීමට ඇණවුම් යැවෙන්නේ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත්වීමටත් පෙර පුදුමාකාර හදිසියකිනි.

ශාක නිරෝධායන පනත අනුව පොහොර, රසායනික ද්‍රව්‍ය ඇතුළු පරිසරයට බලපාන දේ ආනයනය කිරීමට ප්‍රථම එහි සාම්පල ජාතික ශාක නිරෝධායන සේවයට යවා පරීක්ෂා කර ගත යුතු ය. රටට අහිතකර යම් මූලද්‍රව්‍යයක් තිබේ නම් එය මෙරටට ගෙන්වීමට අවසර නොමැත. අවසර ලද යම් මූලද්‍රව්‍යයක් වුවත් එය ආනයනය කොට මෙරටට ගොඩබෑමට ප්‍රථම නැවතත් පරික්ෂා කරනු ලබන්නේ අවසර ලැබුණු අමු ද්‍රව්‍යයට අමතර දෙයක් ගෙන්වා ඇති ද යන්න සොයා බැලීමට ය.මක් නිසාද යත් එස අපරික්ෂාකාරීව රට තුළට ගනු ලබන දේවලින් සිදු විය හැකි විනාශය මෙතෙකැයි කිව නොහැකි බැවිනි.

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට තීන්දු කිරීමත් සමග අදාළ කාබනික පොහොර සාම්පල චීන සමාගමෙන් ගෙන්වා පරීක්ෂා කිරීමේ දී එහි මෙරට පසට අහිතකර අර්වේනියා නම් ක්ෂුද්‍ර ජීවියෙකු සිටින බව තහවුරු කර ගත්තේය. පළමු සාම්පලයේත්, දෙවන හා තෙවන සාම්පලවලත් එම ක්ෂුද්‍ර ජිවියා සිටි බැවින් එම පොහොර මෙරටට ආනයනය කළ නොහැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තීන්දු කළේය.

එම තීන්දුවත් සමග චීනය කලබල වන්නේ ඒ වන විටත් පොහොර තොගය චීන සමාගම නැව්ගත කොට තිබීම හේතුවෙනි. ඒ අනුව චීන තානාපති වරයා විසින් පළමුවරට නිවේදනයක් නිකුත් කළේ පොහොර තොගය නොගැනීම දෙරට අතර මිතුරුකම ද පළුදු විය හැකි බවට අනතුරු අගවමිනි. එයින් නොනැවතුණු ඔවුන් මෙරට කෘෂිකර්ම ඇමතිවරයා, කෘෂිකර්ම රාජ්‍ය ඇමතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් ද චීන තානාපති කාර්යාලයට ගෙන්වා සාකච්ඡා කළේ මෙරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තීන්ද අත පල්ලෙන් බිම හෙළමිනි.

මන්ද ඇමතිවරුන් ළගට තානාපතිවරයා එනවා විනා තානාපතිවරයා ලගට ඇමතිවරු නොඑන බැවිනි. එහිදි ඔවුන් ඉල්ලා සිටියේ දෙරටම පිළිගන්නා තුන්වන පාර්ශවයක් හරහා පොහොර සාම්පල පරික්ෂා කළ යුතු බව ය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එයට එකඟ නොවීම මත එය ද ඇන හිටියේය. පසුව ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ එම සාකච්ඡාව පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ බවට ය.මේ නාටකයේ හොඳම කොටස හෙලිවන්නේ ඉන් පසුවය. ඒ කාබනික පොහොර සමාගමේ මෙරට නියෝජිතයාගේ නම හෙළිවීමෙන් අනතුරුව ය. ඔහු ලෝලිත අබේසිංහ නම් පුද්ගලයෙකි. මාධ්‍ය වාර්තා කර තිබුණේ මොහු අග්‍රමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ගේ සමීපතම ඥාතියෙකු බව ය.

කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත්වීමටත් පෙර චීන පොහොර ඇණවුම ගියේ කෙසේදැයි මෙයින් පැහැදිලි වනු ඇත. දේශපාලනයන්ගේ “අතයට ගණුදෙනු”වල ප්‍රතිඵල දැන් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය පවා බරපතල අර්බුදයකට ලක් කරමින් මහජන බැංකුව අසාදු ලේඛනයට යාමය.

චින තානාපති කාර්යාලය 29 දා නිවේදනය කළේ චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කර ඇති බව ය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය මෙම පියවර ගෙන ඇති අතර එම කාර්යාලය ඊයේ (29) මේ බව චීන වෙළෙද අමාත්‍යාංශය වෙත ද නිල වශයෙන් දන්වා ඇතැයි වාර්තාවේ. කාබනික පොහොර ආනායනය කිරීම වෙනුවෙන් නිකුත් කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් තානාපති කාර්යාලය මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙදාමේදී මහජන බැංකුව නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් චීන තානාපති කාර්යාලය එරට සියලූම ව්‍යවසායකයන්ට දන්වා ඇතැයි ද සඳහන්ය. ව්‍යාපාර ගැටළුව උත්සන්න වන්නේ මෙයත් සමඟය. චීනයේ මෙම තීන්දුව අනුව මෙරට හා චීනය අතර වෙළෙදාමේ නිරත මහජන බැංකුව හරහා ගණුදෙනු කළ සියළු ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වේ.

එසේම චීනයට හිතවත් රටවල් ද මේ අනුව මෙරට සමග කරනා ගණුදෙනු සම්බන්ධයෙන් අර්බුදයකට ගමන් කරන්නේය. දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා හේතුවෙන් දැන් ලංකාව ජාත්‍යන්තර අර්බුදයක් වෙත ගමන් කොට තිබේ. මෙරට පසට කුමක් වුවත් තමන්ගේ සාක්කුවට වැටෙන කොමිස් මුදල ගැන සිතා කටයුතු කිරීම මෙම අර්බුදයට හේතුවී ඇත.අගමැති වරයා ද මේ වන විට මෙරට පසට අහිතකර පොහොර නැව බාර ගැනීම සම්බන්ධ දෙගිඩියාවක පසු වනු පෙනෙයි.නමුත් ඔහුට ජාතික ශාක නිරෝධායන සේවාවේ විද්‍යාත්මක වාර්තා ප්‍රතික්ෂේප කළ හැකිද?

මේ අතර මහජන බැංකුව ද මීට අදාළව නිවේදනයක් නිකුත් කර තිබේ. එයින් කියැවෙන්නේ ණයවර ගෙවිම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දී ඇති බවයි. මෙරට නීතියට විරුද්ධව බැංකුවට කටයුතු කළ නොහැකි බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. තහනම් නියෝගය හේතුවෙන් ණයවර ලිපියට අදාළ මුදල් නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇති බවද එහි සඳහන්ය.

එයින් පැහැදිලි වන්නේ අධිකරණයෙන් තීන්දුවක් ලද පසු මුදල් නිකුත් කරන බවකි. එය තවත් පැත්තකින් පාඩුවකි. මන්ද මෙරටට ගොඩබෑම තහනම් කර ඇති භාණ්ඩයක් වෙනුවෙන් මුදල් ගෙවීමට බැංකුවට සිදුවන බැවිනි. චීනය උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ඇණවුම මෙරටට ලබාදීමට ය. ඒ වෙනුවෙන් ගත හැකි සියළු පියවර ඔවුහු ගනිමින් සිටිති.

කාබනික පොහොර රැගත් චීන නැව තවමත් ශ්‍රීී ලංකා මුහුදු තීරය ආසන්නයේ නැවේ නම පවා වෙනස් කොට හොර ගල් අහුලමින් නැංගුරම් ලා තිබේ. ඇණවුම ප්‍රතික්ෂේප වීමෙන් පසු නැව හරවා ගිය බව කීවත් ඔවුන් මෙරට මුහුදු සීමාවට පැමිණ සිටියි. නැව මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා සිටීම තුළ පොහොර ඇණවුම් කළ සමාගමට ප්‍රමාද ගාස්තු පවා ගෙවීමට ද සිදුවනු ඇත.

චීනුන්ගේ අශුචි මිශ්‍ර බවට පසිද්ධ පොහොර මෙරටට කෙසේ හෝ ගොඩබෑමට චීනය උත්සාහ කරනුයේ රාජ්‍ය තාන්ත්‍රික නියමයන් ද උල්ලංඝනය කරමිනි.. ලංකාවේ පස විනාශ කොට හෝ තමන්ගේ සාක්කු පුරවා ගැනීමට දේශපාලඥයන්ට අවශ්‍ය බැවින් එය සාර්ථකවීමට ද ඉඩ පවතියි. කෙසේ නමුත් අවසානයේ විනාශ වී යන්නේ මෙරට අනාගතය බව නම් පැහැදිලිය. එහෙත් එම විනාශයේ තරම මැනිය හැක්කේ ද අනාගතයටම පමණි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර