පළමු වරට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු

සල්ලි අච්චු ගැසීම ගැන ලංකාවේත් මේ කාලෙ නිතරම කතා වෙන බව රහසක් නොවෙයි. මේ දවස්වල එංගලන්තයේත් මේ වගේ කතාවක් ඇහෙන්න ලැබෙනවා. නමුත් ඒකට නම් හේතුව අපේ වගේ ආර්ථිකයේ ප්‍රශ්න නොවෙයි.

ඉදිරියේදී එංගලන්තයේ කිසියම් විශේෂත්වයක් ගන්නා මුදල් නෝට්ටු තොගයක් මුද්‍රණය කෙරෙනු ඇති බව එරට මාධ්‍ය පසුගිය දිනවල වාර්තා කර තිබුණා. මෙම මුදල් නෝට්ටුවල විශේෂත්වය වන්නේ පළමු වතාවට ඒවායේ 3 වැනි චාල්ස් රජුගේ රුව සටහන් වීමයි. මෙතෙක් කලක් එංගලන්ත මහ බැංකුව නිකුත් කළ මුදල් නෝට්ටුවල සටහන් වූයේ මෙයට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ එළිසබෙත් මහ රැජිනගේ රුවයි. එරට මුදල් නෝට්ටුවල රුව සටහන් වූ පළමු රාජකීයයාත්, එකම රාජකීයයාත් ඇය යි. ඇයගේ රුව සහිත නෝට්ටු මුල් වරට නිකුත් වූයේ 1960 වසරේ යි. මුලින්ම නිකුත් කර තිබුණේ ස්ටර්ලිං පවුම් 1 ක නෝට්ටුවක්.

3 වැනි චාල්ස් රජුගේ රුව සහිතව මුද්‍රණය කරන අලුත් මුදල් නෝට්ටුවල පින්තූර කිහිපයක් මෙයට ටික දිනකට පෙර එරට මහ බැංකුව වන එංගලන්ත බැංකුව (Bank of England) පළමු වතාවට මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. මේ සමග පළ වී ඇත්තේ එබඳු එක් පින්තූරයක්. එහි මුහුණතෙහි තැන් දෙකක චාල්ස් රජුගේ රුව සටහන්ව තිබෙනු දැකිය හැකියි. ස්ටර්ලිං පවුම් 5, 10, 20 සහ 50 නෝට්ටුවල මේ ආකාරයෙන් චාල්ස් රජුගේ රුව මුද්‍රණය කෙරෙනු ඇති බව ද මහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත් මෙම අලුත් මුදල් නෝට්ටු භාවිතය සඳහා නිකුත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ යි. 2024 මැද භාගයේ සිට මේවා සංසරණය වනු ඇති බවයි සඳහන් වන්නේ. මෙම අලුත් නෝට්ටු භාවිතයට පැමිණියත් මහ රැජිනගේ රුව සහිත නෝට්ටු ද දිගටම වලංගු වනු ඇති.
එංගලන්ත බැංකුව පවසන ආකාරයට ඔවුන් මෙම නෝට්ටු විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීමේ සූදානමක් නැහැ. මේ වනවිට දුර්වර්ණ වී ඇති, ගෙවී ගොස් ඇති නෝට්ටු සඳහාත්, අලුතෙන් ඇති වී තිබෙන ඉල්ලුම සපිරීමට අවශ්‍ය වන ප්‍රමාණයටත් පමණක් අලුතෙන් නෝට්ටු මුද්‍රණය කරනු ඇති බවයි ඔවුන් පවසන්නේ. විශාල වශයෙන් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා සිදුවිය හැකි පාරිසරික සහ මූල්‍යමය බලපෑම් අවම කිරීම එහි අරමුණ යි.

මේ වනවිට සංසරණය වෙමින් ඇති එංගලන්ත බැංකුවේ මුදල් නෝට්ටු ප්‍රමාණය බිලියන 4.5 කට ආසන්නයි. එහි මුළු වටිනාකම ස්ටර්ලිං පවුම් බිලියන 80 ක් පමණ වෙනවා.

චාල්ස් රජුගේ රුව සහිත කාසි තොගයක් නම් මේ වනවිටත් සංසරණය සඳහා මුදා හැර තිබෙනවා. පැන්ස 50 හේ වටිනාකමින් යුතු මෙම කාසි නිකුත් කරනු ලැබුවේ පසුගිය දෙසැම්බරයේ යි. තැපැල් කන්තෝරු හරහා මේවා ජනතාව වෙත මුදා හැරුණු බව සඳහන්. පාරිභෝගිකයන්ට ඉතුරු සල්ලි දීමේ දී මෙම අලුත් කාසි ද යොදාගෙන තිබුණා. කාසි මිලියන 4.9 ක් පමණ මේ ආකාරයෙන් තැපැල් කාර්යාල වෙත ලබා දී ඇති බව වාර්තා වුණා. මෙය නිකුත් කිරීමට නියමිත සම්පූර්ණ කාසි ප්‍රමාණයෙන් අඩක් බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම කාසි නිශ්පාදනය කරන ලද්දේ වේල්සයේ පිහිටි The Royal Mint නැමැති ආයතනයේ යි. කාසිවල පළමු වරට සටහන් වන චාල්ස් රජුගේ රුව නිර්මාණය කර තිබුණේ මාටින් ජෙනිංග්ස් නැමැති මූර්ති ශිල්පියෙක්. තමා නිර්මාණය කළ කුඩාම රුව මෙය බව ඔහු පවසා තිබුණා. මෙම රුව නිර්මාණය කර තිබුණේ චාල්ස් ගේ 70 වැනි උපන් දිනය අවස්ථාවේ ගත් ඡායාරූපයක් ඇසුරෙනුයි. රජුගේ නියම ස්වරූපය ගැනීම සඳහා මාස ගණනක් ඉතා වෙහෙස වී වැඩ කරන්නට සිදු වූ බවත් ජෙනිංග්ස් පවසා තිබුණා. අවසානයේ The Royal Mint ආයතනයේ කාසි නිශ්පාදනය වනු දැකීම තමාට සුවිශේෂී අත්දැකීමක් වූ බවත් ඔහු සඳහන් කර තිබෙනු දැකිය හැකි වුණා.

එංගලන්ත බැංකුව ඉහත කී ආකාරයෙන් චාල්ස් රජුගේ රුව සහිත නෝට්ටු සහ කාසි නිකුත් කරද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන රටක් වන ඕස්ටේ්‍රලියාවෙන් මෙයට තරමක් වෙනස් කතාවක් ඇසෙන්නට ලැබෙනවා. තවමත් ඕස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ බි්‍රතාන්‍ය රජු හෝ රැජිනයි. එරට තවමත් ජනරජයක් බවට පත්ව නැහැ. මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ ඇතැම් මුදල් නෝට්ටුවල තවමත් මහ රැජිනගේ රුව සටහන් වෙනවා. නමුත් පසුගිය දා එරට මහ බැංකුව පවසා තිබුණේ ඉදිරියේ දී නිකුත් කරන ඕස්ටේ්‍රලියානු ඩොලර් 5 හේ මුදල් නෝට්ටුවල චාල්ස් රජුගේ රුව මුද්‍රණය නොකරන බවයි. ඒ වෙනුවට එරට ආදි වාසි ජනතාවගේ ඉතිහාසය සහ සංස්කෘතිය නියෝජනය කරන රූප ඒවායේ මුද්‍රණය කරනු ඇති බව ඔවුන් පවසා තිබුණා.

ඕස්ටේ්‍රලියාව ජනරජයක් බවට පත් විය යුතුය යන්න මේ වනවිට එරට විශාල පිරිසකගේ අදහස බවට පත්ව තිබෙනවා.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර