පලාත් පාලන මැතිවරණය පැවැත්වීම නොපැවැත්වීම ගැන පක්ෂ විපක්ෂ මතවාදයන් රටේ පවතී. මැතිවරණයෙන් තමන් කුජීත වෙතැයි සිතන පක්ෂ වලට අනුව නම් මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් නොවේ. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින අවස්ථාවකදී ඒ සඳහා පිළියම් යොදනවා මිස මැතිවරණ පැවැත්වීම නුසුදුසු බව ඔවුන්ගේ තර්කයයි. මැතිවරණයෙන් ජයග්‍රහණය ලබාගෙන බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේ පළමු පිම්ම පැණීමට හැකියැයි සිතා සිටින දේශපාලන පක්ෂ වලට අනුව නම් මැතිවරණය කලට වේලාවට පැවැත්වීම අනිවාර්ය වේ. එය ජනතාවගේ අයිතියකි. ජනතා පරමාධිපත්‍යයේ කොටසකි. ඒ නිසා ඔවුන්ට අනුව අනිවාර්යයෙන්ම පලාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුම ය. පලාත් පාලන මැතිවරණය ගැන බොහෝ සේ උනන්දුවන අනික් කණ්ඩායම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පලාත් පාලන
මැතිවරණය සලකන්නේ ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමක් ලෙස ය. ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ජනතාවට අහිමිවීම ඔවුහු නොඉවසති. ඒ නිසා වහාම පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට නිරීක්ෂණ සංවිධාන ඉල්ලා සිටිති.
මේ සියල්ලෝම අවංකව කතා කරන අය යැයි විශ්වාස කළොත් එය අප කරන ලොකුම මෝඩකමක් වනු ඇත. පලාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්විය යුතු නැතැයි කියන උදවිය එසේ කියන්නේ මැතිවරණය පැවැත්වීමෙන් තමන්ට අත්වෙන ඉරණමට මුහුණ දීමට ඇති බිය නිසා ය. යම් හෙයකින් මේ මැතිවරණය ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි තත්වයක් තිබුණේ නම් ඔවුන් මේ කතාව කියන්නේ නැත. මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතුයැයි කියා හඬ නගන ප්‍රධාන දේශපාලන පක්ෂ අවංකව මහජන අයිතිය පිළිබඳව ඇති උනන්දුව හෝ කැපවීම නිසා එම ඉල්ලීම කරනවා යැයි සිතිය හැකිද?. එසේත් නැත. ඔවුන් එසේ කියන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපනය කර ඇති පළාත් සභා ඡන්දය ගැන ඔවුන් කිසිදු හඬක් නොනඟන්නේ ඇයි?.
මැතිවරණ පැවැත්වීම නිසි කලට සිදුකිරීම අත්‍යාවශ්‍ය යැයි ඔවුන් අවංකව ම කල්පනා කරන්නේ නම් කළ යුතුව තිබුණේ වහාම පලාත් සභා මැතිවරණ පවත්වා ජනතා නියෝජිතයින්ට ඒ ඒ පලාත් සභා පාලනයට සම්බන්ධවීම ට ඉඩදිය යුතුය යන සටන මීට සෑහෙන කලකට පෙර ආරම්භ කිරීම ය. ඒ සඳහා “මී හඬක්” වත් නොනැගූ මේ දේශපාලන පක්ෂ පලාත් පාලන මැතිවරණය ගැන පමණක් “සිංහ නාද” නැඟීම හාස්‍ය ජනක ය. අනික් අතට මැතිවරණය කල් දැමීම නොඉවසන ඇතැම් පක්ෂ පළමු ප්‍රාදේශීය සභා මැතිවරණයේදී දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට එම මැතිවරණයට ඉදිරිපත්වීම තහනම් කළේ එසේ තරඟ කළහොත් “දඩුවම මරණය” යැයි තර්ජනය කරමිනි. එසේ වෙනත් කිසිවෙකු තරඟ කිරීම වැලැක්වූ බැවින් එවක අප රාජකාරි කළ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කීපයකටම සන්නද්ධ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නාම යෝජනා භාරදුන් එවක ආණ්ඩුවේ දේශපාලන පක්ෂයේ අපේක්ෂකයෝ නිතරඟයෙන්ම පත්වීම් ලැබීමට සමත් වූහ. අනිකුත් පලාත් වල කිසිවෙක් තරඟ කිරීමට ඉදිරිපත් නොවූ බව මට මතක ය.
කලට වෙලාවට මැතිවරණ පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පරිහරණයට ඉඩදිය යුතුයැයි වර්තමානයේ කියන අයගේ අතීතය මෙයයි. අතීතයේ එසේ වූවාට වර්තමානයේ අදහස වෙනස් කරන්නට බාධාවක් නැත. එහෙත්, ඊට පෙර ඔවුන් අතීතයේ වැරදුණු බවත් ඒ වරද යළි නොකරන බවටත් පිළිගැනීමට තරම් නිහතමානීත්වයක් පෙන්විය යුතුවේ.මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල උනන්දුව ගැන ද කිව යුත්තේ එයම ය. ඔවුන්ටත් ජනතාවගේ ප්රජාතන්ත්රීය අයිතිවාසිකම පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන සිහිපත් වී නැත. මේ පරිද්දෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය කොරෝනා කියා කල් දැමීම හා ඒ මැතිවරණය පැවැත්වූ අක්‍රමවත් ආකාරය ගැන කිසිදු උනන්දුවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දැක්වූයේ නැත.
2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියම කර තිබුනේ අප්‍රියෙල් 25 වන දා ය. නාම යෝජනා භාරගෙන අවසන් වූ මාර්තු 19 දිනම මැතිවරණ කොමිසම එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි බවට ප්‍රකාශ කර වෙනත් දිනයක් ඉදිරියේදී නියම කරන බව ප්‍රකාශ කළහ.මෙසේ වෙනත් දිනයක් නියම කිරීම යම් හදිසි හෝ අවස්ථානුගත තත්වයක් යටතේ නියම කල දිනට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්ථාවකදී පාර්ලිමේන්තු මැතිවරණ පණතේ 24(3) වගන්තියෙන් පවරා ඇති බලතල යටතේ කළ හැකිව තිබුණු කාර්යයකි. මේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මට මතක හැටියට ජුනි මාසයේ දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම තීරණය කරන ලදී. එහෙත්,එදිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ නැත. එය යළිත් වරක් කල් දැමීමට මැතිවරණ කොමිසම ක්‍රියා කළ බව කවුරුත් දනිති. අවසානයේ අගෝස්තු 5 දිනයේ දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී.
මේ අන්දමින් පාර්ලිමේන්තු මැතිවරණය දෙවෙනි වරටත් කල්දමා අගෝස්තු 5 දිනය තීරණය කිරීමට සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබුණේ කවර නීතියකින් දැයි කිසිවෙකුත් උනන්දුවෙන් හොයා බැලුවේ නැත. ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ගැන බොහෝ උනන්දුවක් දක්වන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල නිරීක්ෂණයට පවා එම කරුණ ලක් වුණේ නැත. එනමුදු සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකී පණතේ 24(3)යටතේ වෙනත් දිනයක් නියම කළ පසුව එදිනටත් මැතිවරණය පැවැත්විය නොහැකි වුවහොත් ගත යුතුව තිබූ නෛතික පියවර නොගෙන වෙනත් දිනයක් යළිත් නියම කරමින් මැතිවරණ කොමිසම කල බලාත්රික්රමණය නිරීක්ෂණ සංවිධානවල හෝ දේශපාලන පක්ෂ වල නිරීක්ෂණයට ලක් වුණේ නැත. මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත් ඒ නඩුව ප්‍රතික්ෂේප වූ බවට පිළිතුරක් සපයා නිදහස් වෙන්න සිතා සිටින උදවියට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ මැතිවරණය දින නියමයකින් තොරව කල්ගිය නිසා විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියෝගයක් ඉල්ලමිනි ඒ හැරුණු කොට වෙනත් කරුණකට නොවන බව සිහිපත් කරවිය යුතු ය. ඒනිසා නිරීක්ෂණ සංවිධාන ඒවායේ දී නිරීක්ෂණය කළේ කුමක් ද?යන්න සිතා ගත නොහැක.
මෙවර පලාත් පාලන මැතිවරණයේදී ද පලාත් පාලන ඡන්ද විමසීම් පණතේ 38(1) වගන්තිය ප්‍රකාරව නිකුත් කළ යුතු ඡන්ද විමසීම පිළිබඳ ව වූ ගැසට් පත්‍රය අදාල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිසි අන්දමින් නිකුත් කර නොතිබුණු බව ද මම නිරීක්ෂණය කළෙමි. නාම යෝජනා අවසානයේදී ඒ ඒ පලාත් පාලන ආයතනය සඳහා එක් නාම යෝජනා එවකට වැඩියෙන් පිළිගැනීමකට ලක්ව ඇති අවස්ථාවලදී නාම යෝජනා භාර ගත් තේරීම්භාර නිලධාරියා විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත ඒ බවට වූ වාර්තාවක් දිය යුතු වේ. ඒ වාර්තාව ලැබීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා විසින් කොමිෂන් සභාවේ එකඟත්වය ඇතිව තීරණය කළ ඡන්ද විමසීමේ දිනය ඇතුලත් කර ඡන්දය පවත්වන පලාත් පාලන ආයතනය ඡන්දය විමසන දිනය වේලාවන් ඡන්ද මධ්‍යස්ථාන වල නම් තරඟ කරන අපේක්ෂකයින්ගේ හා පක්ෂ හා කණ්ඩායම්වල නම් ඇතුලත් ගැසට් නිවේදනයක් පණතේ 38(1)වගන්තිය ප්‍රකාරව නිකුත් කළ යුතුය. නමුත් මේ සම්පූර්ණ ගැසට් නිවේදනය වෙනුවට නිකුත් කර තිබුණේ අදාල පලාත් පාලන, ආයතනයේ නම ඡන්දය විමසන දිනය හා වේලාව පමණක් ඇතුලත් ගැසට් නිවේදනයකි. මේ අනුව පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට වූ නිසි නෛතික නිවේදනයක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකර නොතිබුණු බව ද කිව හැකි වේ. එසේ මැතිවරණ දිනය ඇතුලු තොරතුරු නෛතිකව නිසි ලෙස ප්‍රකාශයට පත්කර නැති අවස්ථාවක මැතිවරණය සඳහා වෙනත් දිනයක් නියම කිරීම කරන්නේ කෙසේදැයි නොවැටහේ.මැතිවරණ නිරීක්ෂණය යනුවෙන් සිදුකරන නිරීක්ෂණයන්ට මේවා ද ඇතුලත් විය යුතු බවත් නිරීක්ෂණ සංවිධාන තේරුම් ගන්නේ නම් අගනේ ය.
පලාත් පාලන මැතිවරණය අද වන විට කොතරම් දුරකට දේශපාලනීකරණය වී ඇත්දැයි තේරුම් ගැනීමට මේ දිනවල ඒ මැතිවරණය වෙනුවෙන් ඇතිවී තිබෙන පොරකෑමෙන් තේරුම් ගත හැකිය. කණ්ඩායමක් මැතිවරණය පැවැත්තුවොත් ඉන් පරාජය වී තමන්ගේ බල අධිකාරයත් අභියෝගයට ලක් වී චුත වී යනු ඇතැයි බියෙන් සකල විධ උපායන් මගින් මැතිවරණය නොපැවත් වීමට අර අඳිමින් සිටිති.තව පිරිසක් මේ මැතිවරණයෙන් ජයගෙන ඒ පදනම මත ඉතුරු මැතිවරණත් ජයගෙන තමන් අතට බලය ගත හැකි යැයි සිතා මැතිවරණය වහා පවත්වනු යැයි කියා සටන අරඹා ඇත. මේ අරගලය අස්සේ මහ ජනතාව කළ යුත්තේ පලාත් පාලනයෙන් දේශපාලන පක්ෂ ලෙස කරන බල අරගලය පලවා හැර ස්වාධීන මහජන නියෝජිතයින්ට පමණක් තෝරා පත් කර ගැනීම ය.සැබෑ මහජන නියෝජනය සහිත බිම් මට්ටමේ රාජ්‍ය බලයෙන් කොටසක් ඉටුකරන ආයතනයක් බවට පලාත් පාලන ආයතන පත්කර ගැනීමේ සටන මේ අවස්ථාවේ ඇරඹීමය. දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම් සම්පූර්ණ කිරීමට හදාගෙන ඇති සමානුපාතික නියෝජන ආදී ක්‍රම පලාත් පාලන ආයතන වලින් ඉවත් කර කොට්ඨාශයේ නියෝජිතයා තෝරා ගැනීමට කොට්ඨාශයේ මහජනතාවට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීමටත් ඕනෑම අවස්ථාවකදී කොට්ඨාශයේ ජනතා බහුතරය ඉල්ලා සිටින්නේ නම් ඔවුන් පත් කළ නියෝජිතයා ඉවත්කර නව නියෝජිතයෙකු පත්කර ගැනීමට ද හැකි විධි විධාන ඇතුළත් කිරීමටත් කොට්ඨාශ වල නියෝජිත ධුර සඳහා දේශපාලන පක්ෂ මගින් තරඟ කළ නොහැකි වන ලෙසටත් නීති වෙනස් කළ යුතු ය.ඒ ඔස්සේ දේශපාලන පක්ෂවල කොන්ත්‍රාත් කරුවන් වෙනුවට සැබෑ ප්‍රජා නායකයින් මගින් පලාත් පාලන ආයතන පාලනය කරන නව ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට වහා ක්‍රියා කරන ලෙසටත් වූ මහා සටනක් ජනතාව විසින් ඇරඹිය යුතුව තිබේ.එහෙත්, මේ අදහසට වර්තමාන ප්‍රධාන දේශපාලන පක්ෂ නම් එකඟ වීමට ඉඩකඩ ඇත්තේම නැති තරම් ය. සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති