‘ප්‍රේමයෙන් සහ සමාවෙන් එකිනෙකාගේ කුරුසිය ඔසවන්න’යනුවෙන් ලියා තබා සග සැපත හිමි කර ගත් ශුද්ධෝත්තම පිය තුමා

වතිකානය අඳුරු වී ගියා සේ දැනුණි. කෙසේ නමුත් හාත්පස ආධ්‍යාත්මික බවින් ඒකාලෝක විය. ඒ රෝමානු කතෝලික සභාවේ 1 වැනි ෆ්‍රාන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමගය. 1936 දෙසැම්බර් 17 වැනිදාවක ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හිදී හෝර්හේ මාර්යෝ බර්ගෝල්යෝ (Jorge Mario Bergoglio) නමින් උපත ලද උන් වහන්සේ ලතින් ඇමරිකාවට අයත් පළමුවැනි පාප් වහන්සේය. 2013 වසරේ ඉල්ලා අස් වූ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේගෙන් හිස් වූ ධුරයට ෆ්‍රාන්සිස් පාප් වහන්සේ පත් වූහ. එතුමා නූතන කතෝලික දහම තුළ විප්ලවයක් කරන්නට උත්සාහ ගත් පළමුවැන්නා ලෙස ද ප්‍රකටය. ජේසුයිට් නිකායේ පළමුවැන්නා මෙන්ම යුරෝපයට බැහැරින් පත් වූ පළමුවැන්නා ද වූ උන් වහන්සේ නිහතමානීබව, අන්තර් සාමයික සංවාදයට සහ දිළිඳු සහ අසරණ මිනිසුන් වෙනුවෙන් ගැඹුරු සහකම්පනයකින් යුක්ත වූවකු ලෙස ද ඉමහත් කතාබහකට ලක් වූහ.

2025 අප්‍රේල් මාසයේ ශුද්ධ වූ සතිය එළැඹෙද්දී, ෆ්‍රාන්සිස් පාප් වහන්සේ සිය දුර්වල වෙමින් පැවති සෞඛ්‍ය තත්වය ද නොසළකා හරිමින් සිය පූජා මෙහෙවරෙහි යෙදී සිටියහ. උන් වහන්සේ නිව්මෝනියා තත්ත්වයෙන් සහ වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිටිය ද සිය දේව මෙහෙවර ඉටු කිරීමේ කිසිසේත්ම පැහැර හැරියේ නැත.උන් වහන්සේගේ ජීවිතයේ අවසන් දින 5 පිළිබඳ සැලකිලිමත් වීමේදී පෙනී යන්නේ මේ සියලු රෝගාබාධ තත්ත්වයන් මධ්‍යයේ වුව ද ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම කෙරෙහි සිත යොමු කොට සිටි බවය.

සිය පාප් ධූරය දරන සමයේ උන් වහන්සේ අනුගමනය කළ ආදර්ශය වූයේ ‘දිළින්දා වෙනුවෙන් දිළින්දාගේ දේවස්ථානය’ යන්නය. උන් වහන්සේට මිනිසුන් ආමන්ත්‍රණය කිරීමේ කෙතරම් හැකියාවක් තිබුණේ ද කිවහොත් කතෝලික දහම විශ්වාස නොකළ මිනිසුන්ගේ ද අති මහත් භක්ත්‍යාදරය දිනා ගන්නට සමත් වූහ. උන් වහන්සේගේ වදන්වල ගැබ්ව පැවතියේ දයානුකම්පාව, සුරක්ෂිත බව සහ සදාචාරාත්මක බවය. මේ තුළින් උන් වහන්සේ ගෝලීය වශයෙන් සදාචාරාත්මක හඬක් නගන්නකු බවට පත් වූහ.

2025 අප්‍රේල් මාසයේ ශුද්ධ වූ සතිය එළැඹෙද්දී, ෆ්‍රාන්සිස් පාප් වහන්සේ සිය දුර්වල වෙමින් පැවති සෞඛ්‍ය තත්වය ද නොසළකා හරිමින් සිය පූජා මෙහෙවරෙහි යෙදී සිටියහ. උන් වහන්සේ නිව්මෝනියා තත්ත්වයෙන් සහ වකුගඩු ආබාධයකින් පෙළෙමින් සිටිය ද සිය දේව මෙහෙවර ඉටු කිරීමේ කිසිසේත්ම පැහැර හැරියේ නැත.

උන් වහන්සේගේ ජීවිතයේ අවසන් දින 5 පිළිබඳ සැලකිලිමත් වීමේදී පෙනී යන්නේ මේ සියලු රෝගාබාධ තත්ත්වයන් මධ්‍යයේ වුව ද ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම කෙරෙහි සිත යොමු කොට සිටි බවය.

අප්‍රේල් 16 වැනි දින උන් වහන්සේ සිය මරණය පිළිබඳ ඉඟි ලැබුණා සේ නිහඬව යාඥා කරමින් ආධ්‍යාත්මික සූදානම් වීමක නිරත වනු දකින්නට හැකි විය. මහජනයා ඉදිරියේ පෙනී සිටින්නට නොහැකි තරම් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවුව ද, සාමය සහ කරුණාව අයදිමින් උන් වහන්සේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළහ. වතිකාන ප්‍රවෘත්ති මූලාශ්‍ර සඳහන් කරන්නේ උන් වහන්සේ සිය ශාරීරික සීමාවන් පිළිබඳ පූර්ණ වූ දැනුවත්බවකින් යුක්තව සිටි බවය.

අප්‍රේල් 17 වැනිදා උදා වූ මහ බ්‍රහස්පතින්දාවේ උන් වහන්සේ ඩෝර්මූස් සැන්ක්ටේ මාර්ටේ නම් සිය පෞද්ගලික දේවස්ථානයේ දී ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජන දේව මෙහෙය පැවැත්වූහ. නිහතමානී බව පෙන්වීමේ සංකේතයක් වශයෙන් සහ තමා මහත් සේ අගය කළ එක් කාර්යයක් ලෙස උන් වහන්සේ වතිකාන කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පා දෝවනය කළහ.

එයින් පසුව අප්‍රේල් 18 වැනිදා මහ සිකුරාදා දිනය උදා විය. උන් වහන්සේ කොලෝසියමේ සිට විකාශනය කරන ලද ස්වාමීන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිය යහනේ සිට නැරඹූ අතර ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන දර්ශනය නරඹද්දී මහත් සේ සසලව කඳුළු වැගිරූ බව වාර්තා වේ. වතිකාන මාධ්‍ය වාර්තා කරන අන්දමට උන් වහන්සේ අවසාන වශයෙන් යමක් ලියා ඇත්තේ ඒ අවස්ථාවේ දීය. උන් වහන්සේ ‘ප්‍රේමයෙන් සහ සමාවෙන් එකිනෙකාගේ කුරුසිය ඔසවන්න’ යැයි ලියා තැබූ බව වාර්තා වේ.

අප්‍රේල් 19 වැනිදා මහ සෙනසුරාදාව උදා වන විට පාප් වහන්සේගේ තත්ත්වය තවත් අයහපත් අතට පත් ව තිබිණි. තමාට අමාරු තත්ත්වයක පසුවන බව උන් වහන්සේට දැනුණි. කාදිනල්වරු සහ සමීපව සිට උපස්ථාන කරන්නන් එක් වී උන් වහන්සේ සමග එක්ව යාඥා කරන්නට පටන් ගත්හ. සිය විඩාපත් බව පසෙක ලූ උන් වහන්සේ උපස්ථායකින් සිය කෘතඥතාව පළ කිරීමේ වදන් තෙපලූ බවත්, ලොව පුරා තමා වෙනුවෙන් යාඥා කරන්නන් වෙනුවෙන් නිහඬ ආශීර්වාදයක් පුද කළ බවත් වාර්තා වේ.

අප්‍රේල් 20 වැනි පාස්කු ඉරිදා දිනය උන් වහන්සේ අවසන් වරට මහජනතාව ඉදිරියේ පෙනී සිටී දිනය විය.උන් වහන්සේගේ සිය නිවහනේ කවුළුවෙන් කෙටි පාස්කු ආශීර්වාදයක් පුද කරනු දැකීම සියලු දෙනා තුළ විස්මයක් ඇති කරන්නට හේතු විය. සිය සැරයටියට බර දුන් උන් වහන්සේ දුර්වල නමුත් සිය තිරසාර හඬින් මෙසේ පැවසූහ. “ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වූ සේක. අපගේ හදවත් තුළ ප්‍රේමය සහ සාමය නැඟී එත්වා”. මේ දුර්වල නමුත් නිර්භීත එඬේරා සිය අවසන් පණිවිඩය ලෝකය හමුවේ තබන අවස්ථාව, උන් වහන්සේගේ ජීවිතය පුරා දකින්නට ලැබුණු කැපවීම සංකේතවක් කරමින් ලෝකය පුරා මහත් සේ පැතිර ගියේය.

ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වතිකානයේ සීමා පවුරු ඉක්මවා ගිය උරුමයක් ලෝකය ඉදිරියේ ඉතිරි කළහ. සැබෑ ශක්තිය ඇත්තේ නිහතමානීකම තුළ බවත්, දයාව යුක්තියේ හදවත බවත් උන් වහන්සේ ලොවට මතක් කර දුන්නේය. ජීවත් වූ කාලයේ සේම මරණයට පත් වූ අවසාන මොහොතේ පවා උන් වහන්සේ ලොව පුරා මිලියන ගණනක වූ ජනතාවට සහන් එළියක් සහ අපේක්ෂාවක් ඉතිරි කළහ.

අප්‍රේල් 21 වැනි ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වසර 88 ක ආයු කාලයක් පසු කොට සමාදානයේ සැතපුනහ. ලොව පුරා නායකයෝ, ඇදහිලිවන්ත ප්‍රජාවන් සහ සාමාන්‍ය ජනතාව කැලඹිලි සහිත කාලවල දී වෙනසක්, සැනසීමක් සහ ධෛර්යයක් ඇති කළ මිනිසකු පිළිබඳ සිය ශෝකය පළ කළහ.

ෆ්‍රාන්සිස් පාප් වහන්සේ වතිකානයේ සීමා පවුරු ඉක්මවා ගිය උරුමයක් ලෝකය ඉදිරියේ ඉතිරි කළහ. සැබෑ ශක්තිය ඇත්තේ නිහතමානීකම තුළ බවත්, දයාව යුක්තියේ හදවත බවත් උන් වහන්සේ ලොවට මතක් කර දුන්නේය. ජීවත් වූ කාලයේ සේම මරණයට පත් වූ අවසාන මොහොතේ පවා උන් වහන්සේ ලොව පුරා මිලියන ගණනක වූ ජනතාවට සහන් එළියක් සහ අපේක්ෂාවක් ඉතිරි කළහ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර