පාඨලී ඇඟිල්ල දිගු කරන රාජපක්ෂලාගේ “සංවර්ධන සුදු අලියා” දෙසත් ටිකක් බලමු

“දැන් මතක තියා ගන්න ඕන; මේ රටේ මේ ණය බර භාවය ගැන 225ට බහිනවා.අවුරුදු 72ක් රට පාලනය කරපු අයට බනිනවා. එහෙම කියලා මේක සාමාන්‍යකරණය කරලා තියෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා අද මේ අර්බුදය බණ්ඩාරනායකලා, සේනානායකලා, ජයවර්ධනලා, කුමාරතුංගලා, ප්‍රේමදාසලා හදපු අර්බුදයක් නෙවේ.

මේ අර්බුදය සම්පූර්ණයෙන්ම රාජපක්‍ෂලා හදපු අර්බුදයක්” හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එසේ කියයි.ඔහු ඒ සම්බන්ධ වැඩි විස්තර ගෙනෙනුයේ මෙලෙසිනි. “මේ අවුරුද්දේ අපේ ණය ආපසු ගෙවීම් ගැන බැලුවොත් මේ අවුරුද්දේ 2022 77.4%ක්ම මහින්ද රාජපක්‍ෂගේ ණය මතක තියා ගන්න. 14% යි සේනානායකගේ ඉඳන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය දක්වා ආපු ණය.

ඒකෙන් පේන්නේ මේ බර රාජපක්ෂලා ගේ බර. ඊළඟට තව එකක් මතක තබා ගන්නට ඕන 2005 වෙනකම් අපි අර කියනවා සහනදායී ණය ඒ වගේම වාණිජ ණය එහෙම නැත්නම් කොමර්ෂල් ලෝන්.

ඒ වාණිජ ණය සහනදායී නොවන ණය ප්‍රතිශතය තිබුණෙ 8%ටේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒක 47%ට ගෙනිච්ච. අන්න ඒ ණය තමයි අපිට මේ ආපහු ගෙවන්න වෙලා තියෙන්නෙ. මේකෙ තියෙන බැරෑරුම්කම කොච්චරද කියනව නම් අපි කතා කරන මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් මේ අවුරුද්දෙ තියෙනවා මිලියන 1500ක් තව 1083 ක් තියෙනව පොලී. 1500 ණය පොලිය 1083 යි.”හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ප්‍රකාශය එලෙසිනි.

ශ්‍රී ලංකාව වැනි රටකට විදේශ ආධාර නොමැතිව පවත්නා ගෝලීය තත්වයන්ට සමාන්තරව හිස එසවීම අසීරුය.දැනට අප රට සතුව පවත්නා විදේශ වත්කම් ප්‍රමාණය අපනයන ආදායම් රටාව ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් අනිවාර්ය අවශ්‍යතාවක් ව පවතී.

එහෙත් එසේ ණය ලබා ගත යුත්තේ කුමන ආයතන වලින් කෙබඳු පදනමක් යටතේ ද ඒ ණය ආයෝජනය කිරීමේ දී ප්‍රමුඛතාව හිමි විය යුත්තේ කවර ක්ෂේත්‍රයන් කෙරෙහි ද එසේ ගත් ණය සහ ඒවායේ පොලිය ප්‍රතිපූරණය කළ හැක්කේ කවර උපාය මාර්ග මඟින් ද යන්න පිළිබඳව විධිමත් විශ්ලේෂණයක් නොකළ රජය ණය දෙන්නන් වාලේ ණය ගැනීමත් සංවර්ධනයේ නාමයෙන් ඒවා බරපතල ලෙස අවභාවිතා කොට ඇති බවක් පෙනෙයි.

ජාත්‍යන්තර මුදල් අති විශාල ප්‍රමාණයක් වැය කොට ජාතික වශයෙන් නඩත්තු කරන සංවර්ධන “සුදු අලින්’ ගෙන් ඒ බව පෙනී යයි.එම සෑම ණයකරයක් තුළම සාමාන්‍ය ජනතාවට ස්පර්ශ නොවන අතිරේක සැඟවුණු “භාරයක්” ද තිබේ.

ඒ භාරයට කුමක් වන්නේ ද යන්න ඒ සම්බන්ධ විමසුම් කරන්නවුන්ට රහසක් නොවේ.එවන් තත්වයක් තුළ රජය මේ හිතුවක්කාර ණයකරයන් හා බැඳී ඇත්තේ මෙරට පොදු ජනතාවගේ බත් පත පමණක් නොව ඔවුන්ගේ ඉදිරි ජීවිත පවා උගසට තබමින් බව අතිශය පැහැඩිලිය හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ඉහත සඳහන් ප්‍රකාශය හුදු ඔහුගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට යන්නක් නිසා ඒ සම්බන්ධ විධිමත් සංතීක්ෂණ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක් ව පවතින බව අපගේ ද වැටහීමය.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර