පාන් ගෙඩිය රුපියල් 300යි.ඒත් පිටි මිල වැඩි වෙන හේතු හොයා ගන්න බැරිලු

වෙළෙඳපොළෙන් වැඩි මිලකට තිරිඟු පිටි මිලදී ගැනීමට සිදුව ඇති බැවින් ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක් රුපියල් 300 කට පමණ අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කළ ප්‍රකාශයක් පදනම් ව ඇතැම් බේකරි හිමියන් මේ වන විටත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අධික ලෙස ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබී තිබේ. රුපියල් 3500කට මිලදී ගත් කිලෝ 50 තිරිඟු පිටි මිටියක් අද වනවිට රුපියල් විසිපන්දහසකට මිලදී ගැනීමට සිදු වීම මත මෙසේ මිල වැඩි කිරීමට සිදුව ඇතැයි එම බේකරි හිමියන් පවසන බව ද පාරිභෝගිකයෝ කියති.කළුකඩෙන් ඉතා අධික මිලට පිටි මිලදීගෙන නිෂ්පාදනය කරන පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරනවාට තම සංගමය විරෝධයක් නොමැති බව ද ජයවර්ධන මහතා ද මාධ්‍යයට කියා තිබේ.නමුදු නමුත් වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනුයේ මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිදු හේතුවක් නැති බවකි.පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ තමන් ඉකුත් සිකුරාදා පැවැත්වූ සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් තිරිඟු තමන් සතුව ඇති බව ඔවුන් ප්‍රකාශ කළ බවත්, තුර්කිය සහ ඩුබායි වෙතින් ඇනවුම් කර ඇතිතිරිඟු තොගයක් මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බව ආනයන කරුවන් පැවසූ බවත් ඇමතිවරයා සඳහන් කරයි.එබැවින් ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බව කී ඇමති නලීන් ප්‍රනාන්දු මහතා ආනයනය කළ තිරිඟුවලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නොමැති බැවින් පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව ද ප්‍රනාන්දු මහතා කියයි
එමෙන්ම බේකරි හිමියන්ගේ සංගමය සමඟ තමන් හෙට (5) සාකච්ඡාවක් පවත්වන බව කී ඇමතිවරයා පාන් මිල සම්බන්ධයෙන් මේ අවස්ථාවේ තීරණයක් නොගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසීය. කෙසේ වෙතත් අසාමාන්‍ය ලෙස තිරිඟු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේවනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල පවසයි. නමුදු දිගින් දිගටම වෙළඳපලේ තිරිගු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බලා රජයක් වශයෙන් ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව ඇමති වරයා කියා තිබේ.

කාලීන පුවත්