1864 අංක 13 දරන පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ වත්මන් ආණ්ඩුව ගන්නා තවත් ජනතාවාදී පියවරක් බව හඟවමිකි.ඒ අනුව මෙය ද “දන්නෝ බුදුන් ගේ” ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීම මෙන් හුදී ජනයාගේ පහන් සංවේගයට හේතු වන තවත් පියවරක් යැයි ආණ්ඩුව සිතනු ඇත.
පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන අයුරින් විධිවිධාන ඇතුළත් කර 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවා තිබේ. නමුත් පාරිභෝගික පනතේ ඇතැම් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී පාන් ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් වාර්තා වන හෙයින් එම පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොමැති බව තීරණය වී ඇත. එහෙත්, එම ගැටළු වලට මුල් වන පාන් ආඥා පනතේ සඳහන් “ඇතැම් විධිවිධාන” මොනවාද යන්න සඳහන් ව නැත.ඒවා අසා දැහගන්නට අපිත් හරිම ආසාවෙන් හිඳිමු.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සහ එහි විධිවිධාන වලට අනුව භාණ්ඩ ඇසුරුම් වල උපරිම සිල්ලර මිල ඇතුලු තොරතුරු සඳහන් කළ යුතු ය.නමුදු පාන් ගෙඩියට එවැනි ඇසුරුමක් නොමැත.එහෙයින් කළ යුත්තේ ඒවා අලෙවි කරන ස්ථානයේ මිල දර්ශනයක් පවත්වා ගෙන යාම පමණි.1864 අංක 13 දරන පාන් ආඥාපනත සිව් වරක්ම සංශෝධන වී තිබේ.නමුත් මෙම පනතේ ඇති වැදගත්ම කොටස වනුයේ පාන් ගෙඩියක් වෙළඳ පළට ඉදිරිපත් කළ හැකි නිශ්චිත බර ප්‍රමාණයන් එහි දක්වා තිබීම ය.වර්තමානයේ පාන් ගෙඩියක නිශ්චිත බර ප්‍රමාණය ග්‍රෑම් 450 කි.ඒ පාන් ආඥා පනතට අනුව පාන් ගෙඩියක් සඳහා වන බර රාත්තලක් ලෙස සඳහන්ව තිබීම මුල් කොට ගෙන ය.ඒ අනුව රාත්තල් බාගය, කාල ආදී බර ප්‍රමාණයන්ගෙන් පාන් වෙළඳ පළට එක් කළ යුතු බව පාන් ආඥා පනතේ දැක්වෙයි.පසුව ශ්‍රී ලංකාවේ කිරුම් මිනුම් ජාත්‍යන්තරයට අනුරූප වන සේ මෙට්‍රික් ක්‍රමයට සැකසීමේ දී පාන් ගෙඩියේ බර ද ග්‍රෑම් වලට පරිවර්තනය කොට තිබේ.
ඉහත සඳහන් පාන් ආඥාපනත සම්මත වනුයේ අප රට පාලනය කළ මැකාති ඉංග්‍රීසි ආණ්ඩු කාරයාගේ කාලයේ ඉදිරිපත් වූ කෙටුම් පතකිනි.ඒ කාලයේ පාන් ඇතුළු පාන් පිටි නිෂ්පාදන බොහෝ විට නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පන්තියට සීමා වී තිබූ බව පෙනේ.එවක අප රටේ ජීවත් වූ 80% කටත් වැඩි ග්‍රාමීය ජනතාවට පාන් පිටි ආහාර බෙහෙවින් ආගන්තුක විය.එතරම් අතීතයක් පසෙක තිබිය දී දෙවන ලෝක සංග්රාම සමයේ පවා ගම්බද ජනතාව නෑදෑ හිතවතකුගේ ගෙදරකට යන විට පාන් ගෙඩියක් රැගෙන ගිය ආකාරය එම කාලය යන්තමින් හෝ මතකයට නංවා ගත හැකි වැඩිහිටි පරපුර පවසනු නියත ය.පසුව මේ පාන් ගෙඩිය බටර් පාන් ගෙඩියක් වී ඊටත් පසුව කේක් ගෙඩියක් බවට පත් ව තිබේ.නමුත් අද තත්වය අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන අප රටේ භුමික ජාතිය දේහයේ ලේ නහර බඳු රට පුරා පැතිර ඇති සමස්ත මාර්ග පද්ධතිය පුරා කෙතරම් විසිරණය වී තිබේ ද යත් වන අලින් ගැවසෙන අප රටේ කෘෂිකාර්මික ප්‍රදේශ වල දෙවැට පාරවල පවා චූන් පාන් රථ දුවනු දක්නට ලැබේ.පසුගිය කාලයේ හිමිදිරියක ගිරිබාව ප්‍රදේශයේ කෘෂිකාර්මික කලාපයක් වෙත යමින් තිබූ චූන් පාන් ත්‍රිරෝද රථයක් වන අලි ප්‍රහාරයකට ලක් ව නූලෙන් බේරීම මත මේ වන විට ඒ ගමන නතර කොට ඇතැයි එම ප්‍රදේශයේ වන අලි උවදුරු පිළිබඳ කතා බහකදී මට දැනගන්නට ලැබිණ.
ශ්‍රී ලංකාවේ අලෙවි කරනු ලබන පාන්වල මිල, බර හා ප්‍රමිතිය සම්බන්ධ පාරිභෝගිකයින් හමුවේ මේ වන විටත් ගැටළු රාශියක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳ පාරිභෝගිකයින් පැමිණිලි රාශියක් ද පාරිභෝගික අධිකාරියට පසුගිය වසර කිහිපය පුරාවට ඉදිරිපත් වී තිබේ. එහෙත්, ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරිය විධිමත් පියවරක් ගෙන නැත.ඇත්තම කතාව නම් ඊට හේතුව ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් විධිවිධාන සලසා නොමැතිවීම ය.එහෙත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රට පුරා බර අඩු පාන් සොයා මෙහෙයුම් කරන බව දන්වා කොළඔ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක අදාල වැටලීම් කර නීතිය ක්‍රියාත්මක කරන බවට පුළුල් ප්‍රචාරයක් දීම කලෙක සිට සිදු වන්නකි.කාට වුව වැටහෙන බසින් කිව හොත් මෙය “බොරු චණ්ඩි කම”කි.ඒ වෙනුවට පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් කරනුයේ වෙළදසැල් වෙත ගොස් 450ග්‍රෑම් පාන් ගෙඩියක් ඉල්ලා එම පාන්වල බර කිරා බර අඩු නම් එම වෙළද සැලට එරෙහිව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත ප්‍රකාරව මිල ප්‍රදර්ශණය නොකිරිම හෝ වෙනත් වරදක් පදනම් කොට නඩු පැවැරීම ය.එබැවින් වෙළඳ පළට නිකුත් කළ යුතු පාන් ගෙඩියක බර සඳහන් ආඥා පනත අහෝසි කරන්නට යෑම නොලැබෙන කුඩයක් වෙනුවෙන් හිස රැඳි තොප්පිය ගලවා වීසි කොට දැමීමකි.
මේ තත්වය මත ආණ්ඩුව ජනතාව හමුවේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වෙනුවට පළමුව කළ යුතුතේ පාන් ගෙඩියක උපරිම සිල්ලර මිල,බර හා අඩංගු විය යුතු අවම ප්‍රමිතිය සදහන් කොට ගැසට් පත්‍රයක් හෝ නිකුත් කිරීමට කටයුතු කොට පාරිභෝගික කටයුතු අධිකාරිය බල ගැන්වීම ය එසේ නොකොට පාරිභෝගිකයින් හා වෙළෙන්ඳන් අපහසුතාවයට පත්කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ලවා කරන මේ රූකඩ නැටවීම් වහාම නැවැත්විය යුතුව ඇත.අප එසේ පවසනුයේ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට කඩයේත් පාන් රාත්තලක බර ග්‍රෑම් 350 ක් බව පවසමින් ජනතාව “දෙකොනින් සිනාසෙන” පසුබිමක් යටතේ ය.
හේමන්ත රන්බණ්ඩාර