ලබන වසර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට රුපියල් 6,000ක් බැගන් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය ප්‍රකාශ කළේ, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා එය උපකාරී වනු ඇති බවයි.
දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට අදාළ දීමනාව ලබාදීමටයි සැලැසුම් කර ඇති බව සඳහන්.
පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් 55%කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී තිබේ.
ග්‍රාමීය හා වතුපාසල් ආශ්රිත ව මේ තත්වය වඩාත් උග්‍ර අතර ඉන් 53%කට අධික දරුවන් සංඛ්‍යාවක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බව සඳහන්.
සියයට 26ක් ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළිව ඇත.
එම ආර්ථික දුෂ්කරතා මගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කර ඇති අහිතකර බලපෑම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් රජය මෙම මූල්‍ය දීමනාව ලබන වසර මුල සිට ම සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව හරිනි අමසූරිය මෙනෙවිය කියාසිටියි.
‘අස්වැසුම’ ප්රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වෙයි.
මේ සඳහා වයස අවුරුදු 5ත් – 18ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බව සඳහන්.
ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවයි, අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි.
මීට අමතර ව පාසල් දිවා ආහාර වැඩසටහන වැනි දැනට පවත්නා වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදු කරමින් දරුවන් පාසල තුළ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බව ද ඇයි කියා සිටියි.
2025 වසරේ දීත් රජයේ පාසල් නිල ඇඳුම් සැපයීමේ වැඩසටහනට අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබේ.
මෙවැනි කටයුතු කඩාකප්පල් කිරීමට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තරයේම හෙළා දකින බවයි හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, පෙර මෙන් පාර්ලිමේන්තුව තුළ හොරමැරකම් පිළිබඳ නොව මන්ත්‍රීවරුන්ගේ ආධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ දැඩි ප්‍රශ්න කිරීමක් ආරම්භ වී තිබීම එක්තරා ඉදිරි පියවරක් වන නමුත් එම ප්‍රශ්න කිරීමේ අවංකභාවය හා සත්භාවය රැඳී තිබෙන්නේ නම් එය ඉතා යහපත් දෙයක් වන බවයි.