ඊයේ(09) ගාලු මුව දොර පැවති පොදු ජන උද්ඝෝෂණය සඳහා අපේක්ෂා කළ මිලියනයේ ජනකාය එක් නොවූ බවට වත්මන් රජයේ කුලී හේවා බලමුළු විසින් දැන් ප්‍රචාරයක් ගෙන යමින් තිබේ.ඔවුන් ගේ එම මත ප්‍රකාශය ඔවුන් ගේ දෘෂ්ඨියට අනුව නිවැරදි ය.එහෙත්, ඒ ද්‍රෂ්ඨිමය ආබාධය සම්බන්ධ සමාජමය පසුබිම් කතාවක් ද තිබේ.
ලොව ජන සමාජයන් ආර්ථික හා සමාජ මට්ටම් අනුව ධනේෂ්වර,ඉහළ මධ්‍යම ,පහළ මධ්‍යම සහ නිර්ධන යනුවෙන් පොදු බෙදීම් හතරකට ලක් කොට තිබේ.ඊට අමතරව නාගරික ග්‍රාමීය වශයෙන් බෙදීම් දෙකක් දක්නට ලැබෙන අතර අර්ධ නාගරික වශයෙන් උප ප්‍රභේදයක් ද දක්නට ලැබේ. මින් පළමු වර්ගීකරණයට වත්කම් හා ආදායම් පදනම් වෙයි.
පාරම්පරික වශයෙන් හෝ අනේක විධ ඉපැයීම් මාර්ග ඔස්සේ හිමිවන ධන පරිභෝජන හැකියාව සහ ඒ මත පදනම් වන සමාජ තත්ව විචල්‍යතාව අනුව එම සමාජමය පන්ති පරතරය නිර්මාණය වී තිබේ.ඊට අමතරව නාගරික,ග්‍රාමීය යන සමාජමය බෙදීම් සහ අර්ධ නාගරික උප බෙදීම නිර්මාණය වී ඇත්තේ සන්නිවේදන,ප්‍රවාහන,අධ්‍යාපන සහ සෞඛ්‍ය ඇතුළු සමාජමය යටිතල පහසුකම් පදනම් කර ගනිමිනි.
නමුත් අසූව දශකයේ මුල සිට අප සමාජයේ ආදායම් රටා වල විෂම හා ව්‍යාප්ත වීම මුල් කොට ගෙන ඉහත සඳහන් සමාජමය විෂමතාවයන් හි සංකීර්ණ බවක් පැන නැඟී ඇත.
ඒ හැලහැප්පීම් වල අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පැරණි සමාජයේ තිබූ ධනේෂ්වර සහ නිර්ධන පන්ති යන සමාජ ස්ථරයන් තුළින් මෙම නව මධ්‍යම පන්තිය පුළුල් අයුරින් විස්තාරණය වීම ය.එසේ ඉස්මතු වන නව මධ්‍යම පාන්තික සමාජය තුළින් නව සමාජ ක්‍රියාකාරී බලවේග වේගවත් ව බිහි වෙමින් තිබේ.
ඒ සඳහා ලබා දිය හැකි ආසන්නතම නිදසුන වනුයේ එම නව පැලැන්තියේ තරුණ ක්‍රියාකාරී බලවේග විසින් ඊයේ කොළඹ ගාලු මුව දොර පිටියේ මෙහෙයවන ලද පොදු ජන විරෝධතාවයි.ඊයේ පෙරවරු නවයට ඇරඹී අද අළුයම පහන් වන තුරුම පැවැති කිසිදු දේශපාලන පක්ෂයකට,වෙනයම් සංවිධානයකට,තබා පුද්ගලයකුට ගැති නොවූ මෙම ජන පොදු ජන විරෝධතාවයේ ප්‍රධාන සන්නිවේදන යාන්ත්‍රණය වූයේ අන්තර් ජාල සන්නිවේදන ව්‍යුහයයි.මේ සඳහා කොළඹට මිලියනයක ජනතාවක් රැස් කරවන බව එහි සංවිධායක වරු කීහ.
ඔවුන් කී ලෙසම ඊයේ පෙරවරු නවයේ සිටි අද අළුයම තෙක් වරින් වර ගාලු මුවදොර පිටියට රැස් වූ හෙවත් පර්යටනය වූ පිරිස මිලියනය ඉක්මවා ගිය බව ඉතා පැහැදිලි ය.
එහෙත්,එය අපට හුරු සාම්ප්‍රදායික දේශපාලන රැලියක් හෝ පෙළපාලියක් නොවූ එම පොදු ජන විරෝධතාවය සඳහා එකම මොහොතක ගාලු මුවදොර පිටියේ ඒ මිලියනට දක්නට නොවීම සාම්ප්‍රදායික චින්තකයනන් වෙතින් මෙම වැරදි අර්ථකථන ඉදිරිපත් වී තිබේ.
එහෙත්,අප ඔවුනට කියා සිටිනුයේ අසාම්ප්රදායික සංසිද්ධීන් හමුවේ හුවා දැක්වෙන සාම්ප්‍රදායික අර්ථ කථන හුදු අවලංගු සාධක වන බව ය.අප රටේ වාමාංශික මතධාරීන් තවමත් මෙරට නිර්ධන පන්ති අරගලයක් බිහිවන තුරු හීන දකිති.එහෙත්,වර්තමාන සමාජය තුළින් පැරණි සමාජමය ප්රපංචයන් අපේක්ෂා කිරීම පරලොව ගිය ඥාතියකු යළි මෙලොවට එනතුරු බලා සිටීමක් වැනි ය.
මක් නිසා ද යත් සෑම සමාජ අරගලයක්ම නිර්මාණය වනුයේ තත්කාලීන සමාජ,ආර්ථික සහ දේශපාලන සාධක පදනම් කර ගනිමිනි.ඒ අනුව මෙය 1971 සහ 1988 යන වසර වල මෙරට සිදු වූ සන්නද්ධ ක්‍රියාකාරකම් මත පදනම් වූ පිබිදීම් වලට ඉඳුරාම වෙනස් ය.
අති නවීන මධ්‍යම පාන්තික තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජන අරගලයක් වන මෙය හුදෙක් එල්ල වී ඇත්තේ වත්මන් සමාජයේ පැවතිය යුතු ජනතා පරමාධිපත්‍ය අව භාවිතා කොට ජාතික සම්පත් තම පවුලේ තනි බූදලයක් සේ සළකා ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ලංකාව මුලු ලෝකයේ “නරකම රට” බවට පත් කළ සට කපට රාජපක්ෂ පවුලේ කූට දේශපාලන අධිකාරිය බිඳ දැමීම පිණිස බව අතිශයින් පැහැදිලිය.”ගෝටා ගෝ හෝම්’ යන්න එහි සමාරම්භක ඉලක්කය පමණි.
අප රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය අතික්‍රමණය කළ මෙම නවතම සමාජ ප්‍රවණතාව සම්බන්ධයෙන් නව පරපුරේ මුල් පෙළේ සමාජ ජාල ක්‍රියාධරයකු වන පැතුම් කර්නර් තම ෆේස් බුක් පිටුවෙහි තැබූ මෙම සටහන මගේ ඉහත ප්‍රකාශයට ඌණ පූර්ණයක් වනු ඇත.
කෝ මේ පරම්පරාව ?
කෝ මේ පංතිය?
අරගලය තුල මිනිස්සු කොටසක් අඩු ය.
සජබේ , නිදහස් පක්ෂයේ, පොහොට්ටුවේ ලොකු රැළි තියෙන දවසට,
ලංකාවේ කොහේ හෝ මුල්ලක සිට පැමිණෙන
බස් එකක නැගි,
කා බී විනෝද වී පිට්ටනියේ ඔළු පුරවන,
තරමක් වැඩිහිටි පරම්පරාවේ මිනිසුන් මේ අරගලය තුල ඇත්තේ අඩුවෙනි.
ඔවුන් වත්මනේ අරගල කරන
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය වෙන සාපේක්ෂව තරුණ , මධ්‍යම පාංතිකයන් නොවේ.
මේ ගමේ බිම් මට්ටමේ දේශපාලන සංවිධායකයා හා සම්බන්ධ වී හිස් ගෙඩි ගාණට කොළඹ පැමිණෙන මිනිස්සු ය.
මේ අර්බුදයෙන් ඔවුහු ද පීඩා විඳිති.
ඔවුන් අනිවාර්යයෙන් මධ්‍යම පාන්තිකයාටත් වඩා දුකට පත් වී තිබේ.
එහෙත් ඔවුන් කොහෙද?
ඔවුන්ව අපි දැනුවත් කරන්නේ කොහොමද ?
මේ ඔවුන්ගේද හැබෑ අරගලයයි. ඔබ ඔවුන්ට කීවා ද එන්න කියලා?
පණිවිඩය ගියා ද?
දැනුවත් කලා ද?
ඒ දැනුවත් කිරීමේ මාර්ගය අපිමයි. ඔව් ඒ වගකීම තියෙන්නේ මධ්‍යම පාංතික තාරුණ්‍යයට.
ඔවුන් නැතුව අරගලය අසම්පූර්ණයි.
මිනිස්සු වෙනස් කර ගන්න එක තමයි අමාරුම අරගලය.
මිනිස්සු වෙනස් උනොත් තමයි රට වෙනස් වෙන්නේ.
ඔවුන්ට එන්න කියන්න.
ඔබ එක්කං එන්න.
මේක Peoples Revolution.
දමයන්ති ගමගේ