පියාඹන අශ්වයාට ඔබේ පුද්ගලික තොරතුරු සොරාගන්නට ඉඩදෙනවාද?

හදිසියේ ඔබ ද නොදැනුවත්ව ඔබේ ජංගම දුරකතනයේ කැමරාව ක්‍රියාත්මක වී එයින් ඡායාරූප ගැනීම, වීඩියෝ ගැනීම සිදුවුවහොත්, ඔබගේ ජංගම දුරකතනයේ මයික්එක ක්‍රියාත්මක වී ඔබ අන්කිසිවෙකු සමග කෙරෙන කතාබහ පටිගත වුවහොත් ඔබට දැනෙන හැඟීම කුමක්විය හැකිද? එවැනි සිදුවීම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පමණක් සිදුවන්නේ යැයි ඔබ අදවන තෙක් සිතා සිටියා වන්නට පුළුවන. නමුත් සත්‍යය එය නොවේ. එවැනි තර්ජනයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. ඔබ මෙය කියවිය යුත්තේ එබැවිනි.

අදින් වසර ගණනාවක් ආපස්සට ගියහොත් බොහෝ දෙනෙකුගේ අතිශය පෞද්ගලික කාරණා දිනපොත්වල, ලියුම්වල ලියන්නට පුරුදුව සිටියත්, තාක්ෂණයේ දියුණුවත් සමග අප අතට පැමිණි ස්මාර්ට් ජංගම දුරකතන ලෝකයට බිහිවීමත් සමග ඒ සියල්ලෙහිම තැන එය හිමිකරගත්තේ ය.

ඉන්පසු සිය අතිශය පුද්ගලික කාරණා ජංගම දුරකතනය ඔස්සේ හුවමාරු කරගන්නට බොහෝ දෙනෙක් පටන් ගත්හ. ලියුම් සහ දිනපොත් මෙන් මෙන් නොව ජංගම දුරකතනය තමා සන්තකයේම තිබෙන නිසාත්, එය අන්අයෙකුට භාවිත කරන්නට නොහැකි වන සේ තාක්ෂණික උපක්‍රම මගින් අගුලු ලා තැබිය හැකි නිසාත් එහි අඩංගු වූ කාරණා පිටතට නොයන බවට වූ විශ්වාසය ද දිනෙන්දින වර්ධනය වන්නට විය.

දිනෙන්දින වර්ධනය වූ මේ විශ්වාසය නිසා ලෝකයේ බහුතර ජංගම දුරකතන තුළ අතිශය පුද්ගලික කාරණා ගොඩගැසෙන්නට පටන් ගත්තේය. මෙයින් කිසිවෙකුට කිසිවක් සොරාගන්නට ඉඩක් නැතැයි සියලු දෙනාම කල්පනා කළහ.

සාමාන්‍යයෙන් අප ජංගම දුරකතන ඔස්සේ පණිවිඩ හුමමාරුකරගන්නා යෙදුම්වල end-to-end encryption නම් තාක්ෂණික උපාංගයක් තිබේ. එහි අරුත වන්නේ පණිවිඩ හුවමාරුව සිදුවන අන්ත දෙකෙහිදීම පණිවිඩය තෙවැනි පාර්ශ්වයකට එබිකම්කොට බැලිය නොහැකි වන සේ තාක්ෂණික වශයෙන් අගුලක් නිර්මාණය කොට ඇති බවය. ඔබ තවත් කෙනෙකු සමග කුමනාකාර කාරණයක් හුවමාරු කරගත්ත ද තෙවැනි පාර්ශවයක් අතට එය පත්නොවන බවට සහතිකයක් එමගින් ලැබේ.

එය පුද්ගලයකු වශයෙන් ගත්විට ගැටලුවක් නොමැති වුවත්, රජයක් ලෙස ගතහොත් ලෝකයේ බොහෝ පාලකයන් ඒ අගුලුදැමීම කෙරෙහි කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ සිට රජයට එරෙහිව අදහස් පතුරුවන්නේ කවුරුන්ද යන්න හැකි සෑම මාර්ගයක් ඔස්සේම සොයාබැලීමය. ඔත්තුබැලීමය. මේ අගුල බිදදමන්නට ඔවුන්ට අවශ්‍ය විය. මේ අවශ්‍යතාවට නව තාක්ෂණය එක්කළ විට එම හැකියාවට පියාපත් දළුලන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

ලෝකයේ ඔත්තුබැලීම් අතින් ඉදිරියෙන්ම සිටින ඊශ්‍රායල් රජය මේ සඳහා තාක්ෂණයක් නිපදවන්නට එරට පුද්ගලික තාක්ෂණික් සමාගමක් වූ NSO ආයතනයට භාරදුන්නේ ය. ඔවුන් එය නොපිරිහෙලා ඉටු කරමින් ‘පෙගාසස්’ (Pegasus යන වදනේ අරුත ‘පියාඹන අශ්වයා’ යන්නය) නමින් ජංගම දුරකතන යෙදුමක් නිර්මාණය කළේය.

මෙය ලෝකයේ බොහෝ ජංගම දුරකතන ධාවනය වන ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මෙහෙයුම් පද්ධති මත ස්ථාපනය කළ හැකි අයුරින් සකසා තිබුණි. කෙසේ නමුත් මෙය සාමාන්‍ය ජංගම දුරකතන යෙදුමක් නොවන බව ලෝකයාට වැටහෙන්නට වැඩිකාලයක් ගතවූයේ නැත. මෙයින් ජංගම දුරකතනවල ඇති සියලු අගුලු බිඳ දමා පුද්ගලික තොරතුරු සොරා ගන්නා බවට මුලින්ම අනාවරණය වූයේ 2016 වසරේ දී ය.

මේ යෙදුම වැඩිවශයෙන් වට්ස්අප් ඉලක්කකොට ඇති බව වට්ස්අප් නිර්මාණය කළ ෆේස්බුක් සමාගම පවසයි. එයට හේතුව ලෝකයේ වැඩිදෙනෙකු අතර පණිවිඩ හුවමාරුකරගැනීම සඳහා ජනප්‍රියව පවතින්නේ එය බැවිනි.

ඇතැම් විට ඔබට යම් පණිවිඩයක් ඔස්සේ ලිංක් (Link) එකක් ලැබිය හැකිය. ඔබ එය ක්ලික් කළ විට තිරයේ දිස්වන්නේ ෆේස්බුක් වෙතට ප්‍රවේශවීමේ ආරම්භක තිරයයි.

ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය අසා සිටිය හැකි අතර, එබ වැඩිදුර නොසිතා එය ලබාදෙයි. නමුත් ඔබ ඒ තොරතුරු ඇතුළු කළේ සැබෑ ෆෙස්බුක් අඩවියට නොව ඒ පෙනුමට සකස්කළ ව්‍යාජ එකකට බව අවබෝධ කරගන්නා විට සියල්ල සිදුවී හමාරය. ඒ වනවිට මේ ව්‍යාජ අඩවිය නිර්මාණය කළ අය ඔබගේ ෆේස්බුක් ගිනුමට ඇතුළුවී එයින් සියල්ල ලබාගෙන අවසන් ය. පෙගාසස් මුලින්ම තොරතුරු සොරා ගත්තේ ඒ ආකාරයටය.

නමුත් එවැනි දේ පිළිබඳ වැටහෙන්නට පටන්ගත් විට ඔවුන් වෙනත් උපක්‍රම භාවිත කරන්නට පටන් ගත්හ. ඔබ කිසිවක් මත ක්ලික් නෙකළ ද ඔබගේ පුද්ගලික තොරතුරු සොරාගන්නට ඔවුන් හැකියාව ලබාගත් හ. ඔබට නොදැනුවත්ව ඔබගේ දුරකතනයේ කැමරාව හෝ මයික්එක ක්‍රියාත්මක කොට ඒ ඔස්සේ ද ඔවුන් තොරතුරු සොරා ගත්හ. තවමත් මේ තර්ජනය පහව ගොස් නැත.

“මගේ මොනවා හොරා ගන්නද?” කියා ඇතැම්වට ඔබට සිතෙන්නට හැකිවුවත්, ඔබගේ අතිශය පුද්ගලික පණිවිඩයක්, ඡායාරූපයක් හෝ වීඩියෝ ක්ලිප් එකක් මේ ආකාරයට තෙවැනි පාර්ශවයක් අතට පත්වීම නොසළකා හැරිය හැක්කක් නොවේ. ඇතැම්විට සභ්‍ය ලෝකය හමුවේ ප්‍රසිද්ධ නොකළ හැකි ඔබටම පමණක් පුද්ගලික වූ ඡායාරූප හෝ වීඩියෝ පට ද ජංගම දුරකතනයේ තිබෙන්නට පුළුවන.

පෙගාසස් හි ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබලන ආයතන පවසන්නේ ඔබට ලැබෙන මිස්ඩ් කෝල් (missed call) එකක් ඔස්සේ වුවත් මෙය දුරකතනයේ ස්ථාපනය වන බවය. ඔබ එයට පිළිතුරු දියයුතු නැත. නමුත් ඔබ නොදැනුවත්වම අශ්වයා පියාපත් සළා ඔබේ ජංගම දුරකතනයට පැමිණ අවසන්ය.

එසේත් නැත්නම් ඔබට නොපෙනෙන පරිදි ඔබට ලැබෙන පණිවිඩයක් ඔස්සේ ද මෙය ස්ථාපනය විය හැකිය. මෙහි ඉළක්කයක් වන්නට ඔබ රාජ්‍ය නායකයකු, හමුදා නිලධාරියකු, බුද්ධි අංශ නිලධාරියකු වන්නට අවශ්‍ය නැත. පෙගාසස්ට අවශ්‍ය වන්නේ ලෝකයේ සියලු දෙනාගේම ජංගම දුරකතන තුළට රිංගන්නටය. ප්‍රංශ ජනපතිවරයාගේ ජංගම දුරකතනය තුළට මෙය රිංගා ඇතිබවට සැක පහළ වූ අතර ඔහු ජංගම දුරකතනයේ සිට සියලුම දේවල් වෙනස් කළේය. තත්ත්වය ඒ තරම් බරපතළය.

පෙගාසස්ට අගුලු ලෑම සඳහා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මෙහෙයුම් පද්ධතිවල ආරක්ෂාව දිනෙන් දින වර්ධනය කරමින් පවතී. ඒවායේ නවතම යාවත්කාලීනයන් කෙරෙහි ඔබ නිරතුරු අවධානයෙන් සිටිය යුත්තේ එබැවිනි. කෙසේ නමුත් පෙගාසස් පියාපත් සලමින් ඔබට ද නොදැනී ඔබ අසලම සිටින බව නම් නිරතුරු සිහියේ තබාගත යුතුමය.

– නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර