පිරිමින්ට වඩා කාන්තාවන් තුළ බහුල ඔස්ටියෝ ආතරයිටිස්

මෙය නිරන්තර අපගේ කතාබහට ලක්වන රෝගයකි. ඔස්ටියෝ යනු අස්ථී ය. ආතරයිටිස් යනු සන්ධි ප්‍රදාහය යි. ඒ අනුව මෙය අස්ථි ප්‍රදාහය ලෙස දක්වන්නට පුළුවන.
අස්ථි දෙකක් එකිනෙක හමු වන ස්ථානවල සන්ධි නිර්මාණය වේ. මේ අස්ථි එකිනෙකට ගැටීමේදී අස්ථි ප්‍රදාහ තත්ත්වය හට ගනු ඇත.
එහිදී ප්‍රධාන වශයෙන්ම ඇතිවන රෝග ලක්ෂණ නම් සන්ධි වේදනාව, සන්ධිවල දරදඬු බව, සන්ධි ඉදිමීම, කොඳුනාරටියේ වේදනාව, ක්‍රීඩා කිරීමේදී ඇතිවන සන්ධි නැවීමේ අපහසුතා, පඩි පෙළක් නැගීමේ දී සන්ධි දිග හරින විට සිදුවන අක්‍රමිතා ආදිය යි.

ඔස්ටියෝ ආතරයිටිස් කාන්තාවන් අතර වැඩි වීමට හේතු මොනවාදැයි සොයා බලමු.

අපේ රටේ කාන්තාවන්, විශේෂයෙන් බොහොමයක් මව්වරුන් තමන්ගේ ශරීර සෞඛ්‍යය පෝෂණය ගැන උනන්දු වීම අඩු ය. නිසි පෝෂණයක් ලබාගත හැකි ආහාර තිබුණත් ඒ ගැන උනන්දු වෙනවාට වඩා හොඳ දේ දරුවන්ටත් සැමියාටත් දී මොනවායින් හෝ කුස පුරවා ගැනීම අපේ රටේ කාන්තාවන් වැඩි දෙනෙකුගේ සිරිත ය. නිසි පෝෂණයක් නොලැබීම ද මෙම රෝගය වැළඳීමට බලපාන එක හේතුවකි.
නිසි ව්‍යායාම නොලද අයටද වියපත් වූ පසු ඔස්ටියෝ ආතරයිටිස් වැළඳීමේ හැකියාව ඇත. එසේම තරුණ වයසේදී නැටුම් ක්‍රීඩා වැනි දෑ නිසි මඟ පෙන්වීමක් නොමැතිව අවිචාරවත් අන්දමින් සිදු කරන විටත් වයස 35 – 40 වන විට සන්ධි ආබාධ හට ගන්නට පුළුවන. තවත් විශේෂ හේතුවක් වන්නේ තරබාරුකම යි. අපේ රටේ මැදි වියේ පසුවන කාන්තාවන් තුළ බහුලවම තරබාරු බව දක්නට ලැබේ. සිරුර තරබාරු වැඩිවන විට දණහිස් සන්ධිවලට අධික බරක් දැරීමට සිදුවනු ඇත. මෙය ද සන්ධි ආබාධවලට හේතුවකි.

අපේ ශරීරයේ පටක ගෙවී යාම සහ නැවත වර්ධනය වීම යන කරුණු දෙකෙහි සමතුලිත බවක් තිබිය යුතුය. වයසට යන විටත්, පෝෂණ ඌණතා නිසාත් මෙම සමතුලිත බව බිඳ වැටෙන්නට පුළුවන. ඒ අනුව පටක ගෙවී යන ප්‍රමාණයට අනුව නැවත වර්ධනය වීම අඩු විය හැකිය. සන්ධිවල කාටිලේජ පටකය වැඩිපුර ගෙවී යාම ඔස්ටියෝ ආතරයිටිස් රෝගය වැළඳීමට හේතුවක් වේ.

දැන් අපි මේ කාටිලේජ පටකය යනු කුමක්දැයි බලමු.

කාටිලේජ පටකය යනු ඉතාමත් වැදගත් දෙයකි. එය අපේ අස්ථිවල අග්‍ර ආරක්ෂා කරමින් සන්ධියක අස්ථි එකිනෙක ගැටීම වළක්වන මෘදු පටකයක් වේ. මෙය හරියටම කිවහොත් කුෂන් එකක් සහ කම්පන අවශෝෂකයක් (shock absorber) ලෙස හැසිරෙයි. අප සන්ධි උපයෝගී කරගෙන එදිනෙදා කරනු ලබන ඇවිදීම, දිවීම, බර ඉසිලීම, පඩිපෙළ නැගීම වැනි දේවල් අපහසුවකින් තොරව අපට සිදු කරන්නට හැකි වී තිබෙන්නේ මෙම කාටිලේජ පටකවල උපකාර ලැබෙන නිසා ය. නමුත් අවාසනාවට අප වැඩි දෙනෙකු කාටිලේජ පටකය උනන්දු වන්නට පටන් ගන්නේ සන්ධි වේදනාව, සන්ධි නැවීමේ දිගහැරීමේ අපහසුතා ඇති වූ පසුව ය. නමුත් අපගේ අස්ථි මෙන්ම මෙම කාටිලේජ පටකය ද අපට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. හොඳ අස්ථි පද්ධතියක්, සන්ධි පද්ධතියක් ඇති අයෙකු ඉතාමත් ක්‍රියාශීලී වන අතර ඒ අයගේ ශරීරය ද ඉතාමත් නම්‍යශීලී ය.

මෙවැනි සන්ධි වේදනාවක් ඇති වූ විට එය සමනය කර ගැනීම සඳහා වේදනානාශක ගැනීමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිති. නමුත් වේදනාවට එකම පිළියම ලෙස දිගුකාලීනව වේදනානාශක ගැනීම තුළින් අයහපත් අතුරු ප්‍රතිඵල ඇතිවීමට හැකියාව තිබේ. ආමාශයේ ගැස්ට්‍රයිටිස්, අභ්‍යන්තර රුධිර වහනයන්, ඇතැම්විට රක්තහීනතාවය දක්වාම මෙය වර්ධනය වීමට ඉඩකඩක් තිබේ. එසේම වකුගඩුවලටත් මෙහි අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන. මේ අනුව තාවකාලික විසඳුමකින් රෝග රැසක් හිමිකර ගැනීමේ අවදානමක් තිබේ. එබැවින් වඩාත් ම සුදුසු ගෙවී යන කාටිලේජ පටකය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පෝෂණ සංඝටක ලබා ගැනීම ය.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී ග්ලුකෝ සැමයින් ( Gluco samine ) මගින් රෝග නිධානයට ප්‍රතිකාර කිරීම සිදුවේ. කාටිලේජ පටකය නැවත වර්ධනයට අවශ්‍ය මූලික සංඝටකයක් එමගින් සැපයෙන අතර මෙහි අතුරු ප්‍රතිඵල නොමැත. මාස 2- 6 ක කාලයක් දක්වා නිර්දේශ කෙරේ. මෙමගින් සන්ධි දරදඬු වීම ආදී රෝග ලක්ෂණ ක්‍රමයෙන් සුව අතට හැරෙනු ඇත.

කායික රෝග විශේෂඥ  වෛද්‍ය හර්ෂණී ප්‍රනාන්දු

ඉන්දු පෙරේරා

විනිවිද සායනය