“පේරා හයිය අපි ගෝල්ෆේස් එකට අරන් එමු”. සරසවි ඇදුරු වරියකගෙන් පේරාදෙණිය විද්‍යාර්ථීන්ට ඇරැයුමක්!

“අපි එක් ව එක් දිනක ගාලු මුවදොර පිටියට එක්වෙමු. ඔබ රජයේ කෙතරම් උසස් නිලයක් දැරුව ද ඔබ ඔබේ හෘද සාක්ෂිය සමඟ සිටගන්න. අපි එකම දිනක හමුවෙමු. එතැන් සිට එය අල්ලාගෙන සිටිමු. මුන් පන්නන තුරු අල්ලාගෙන සිටිමු. එන්න. පේරා හයිය අපි ගෝල්ෆේස් එකට අරන් එමු”යනුවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය තම ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තමන් හා අධ්‍යාපනය ලත් විද්‍යාර්ථීන්ට ඇරයුමක් කොට තිබේ.මෙතෙක් සමාජමය වශයෙන් යම් යම් කොටස් වලට පමණක් සීමා වූ වීදි අරගල වර්තමානයේ සිදු වෙමින් පවතින අතිශය බරපතල සමාජ ආර්ථික බිඳ වැටීම හමුවේ විවිධ විද්වත් වෘත්තිකයන් වෙතට ද සම්ප්‍රේෂණය වෙමින් පවතී රූපසිංහ මහත්මිය ගේ එම ෆේස්බුක් සටහන මෙලෙසිනි.                                                             පේරා සගයිනි, අද වන විට අපට මළගෙදරක යන්න දහයක් එකතු ගත නොහැකි සමාජ වටපිටාවක අපට තවමත් විශ්වාසය තැබිය හැක්කේ අපේ පැරණි මිතුරුදම් තුළ පමණි. අවංක වන්නේත් සත්‍යවාදී යැයි තවමත් විශ්වාස කළ හැක්කේත් අපේ පැරණි මිතුදම් පමණි.
යම් දෙයක් කිරීමේදී තවමත් මට එක දුරකථන ඇමතුමකින් එක වට්ස්ඇප් පණිවිඩයකින් එකතු කර ගත හැක්කේ පේරාදෙණි මිතුරන් පමණි. “හරි යමාං”යැයි ගෙදර ඇඳ සිටි ඇඳුම් පිටින්ම එන්නේ උන් පමණි. එවැනි මිනිසුන් අන් කවර තැනකින් හෝ මම යළි නොදුටුවෙමි.
එමනිසා මේ ආරාධනය මම නුඹට කරමි.
දැන් අප එක පොකුරක්ව මහ මඟට බැසිය යුතු කාලය එළඹ ඇත. පේරාදෙණියේ සිසුන් අරගල කරනු දුටු කිසිවෙකුගේ ඇඟේ ලොමු දැහැ නොගැනුණේ නම් ඔබ පේරාදෙණියේ සිටියකු නොවනු ඇත.
අපි එක්ව එක් දිනක ගාලුමුවදොර පිටියට එක්වෙමු. ඔබ රජයේ කෙතරම් උසස් නිලයක් දැරුව ද ඔබ ඔබේ හෘද සාක්ෂිය සමඟ සිටගන්න. අපි එකම දිනක හමුවෙමු. එතැන් සිට එය අල්ලාගෙන සිටිමු. මුන් පන්නන තුරු අල්ලාගෙන සිටිමු. එන්න. පේරා හයිය අපි ගෝල්ෆේස් එකට අරන් එමු.

කාලීන පුවත්