බමුණු බලි ඇරීම සහ බොදුනු බලි පිදීම

bamunu

මිනිසාට ඇතිවන ගුප්ත දෝෂ දුරු කිරීම සඳහා වන පුද පිළිවෙත් බලි, තොවිල්, ශාන්තිකර්ම ලෙස කොටස් තුනකින් යුතුව දක්වා තිබේ. ග්‍රහයන් උදෙසා සිදු කරන මෙම පුද පිළිවෙත් “බලි” නමින් ද යකුන් සඳහා සිදු කරනු ලබන පුද පිළිවෙත් “තොවිල්” නමින් ද දෙවියන් උදෙසා කරනු ලබන පුද පිළිවෙත් “ශාන්තිකර්ම” ලෙස ද හඳුන්වා දිය හැක. එහෙත්, වර්තමානයේ මෙම පුද පිළිවෙත් අතුරින් ‘බලි’ නම් වන යාතුකර්ම මාලාව ශීඝ්‍රයෙන් අභාවයට යනු දක්නට ලැබේ. මෙම බලි යන වදන සමගම යෙදෙන ඊළඟ යුගල පදය ‘බිලි’ යනුවෙන් හැඳින්වෙන අතර බලි සහ බිලි යනු එකිනෙකට ඉඳුරාම වෙනස් පුද පිළිවෙත් බව මූලිකවම කිව යුතු ය. බිලි යනු ඒකාන්ත වශයෙන්ම කිසියම් යක්ෂාදී අමනුෂ්‍යයන් උදෙසා කිසියම් ප්‍රාණයක් කැප කිරීමකි. අතීතයේ මෙන්ම මෑත භාගයේ දී ද මිනිසුන් පවා ඒ සඳහා යොදා ගත් බවට ‌‌‌ෙඑතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ.

bali

කෝට්ටේ යුගයේ උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජු සමයේ තනවන ලද වැව් වේල්ලක් ආශ්‍රිත ප්‍රදේශයක් අද ද රදාවාන ලෙස නම් කෙරේ. අදටත් තුන් හෙළයේ ඉමහත් ගෞරවාදරයට ලක් වන මහගම සේකරයන්ගේ නිජබිම වීම මත අදත් රදාවානට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලැබී තිබේ. එහෙත්, ඒ ග්‍රාම නාමය පිළිබඳව අර්ථ විග්‍රහයක යෙදෙන නූතන විද්වත්හු රජු විසින් තනන ලද වාන වශයෙන් හැඳින්වෙන එම ප්‍රදේශය මුලින් රජා වාන නමින් හැඳින්වී පසුව රදාවාන වූ බවට මත ඉදිරිපත් කරති. නමුත් ගත වූ දශක තුනක පමණ කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නාම මුල් කොට මා විසින් කරන ලද විමසුමකට අනුව තහවුරු කර ගැනීමට හැකි වූයේ ජන සම්මතයට අනුව කිසියම් කුලහීන මිනිසකු බිලි දීමෙන් තැනූ වේල්ල හෙවත් වාන ‘රදා වාන’ බවට පත්ව ඇති බවකි. ඊට හේතුව සකල කලා වල්ලභ රජතුමා විසින් තනවන ලද බව පැවසෙන තවත් එවැනිම වැවක් ආශ්‍රිත ප්‍රදේශයක් අදටත් බෙරවා වාන නමින් හැඳින්වීම ය. එම ප්‍රදේශය ගම්පහ අලුත්ගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබේ. සකල කලා වල්ලභ රජ යුගයට පෙර වනගතව පිහිටි එම ප්‍රදේශයට වැවක් අනුසාරයෙන් කෘෂිකාර්මික සංවර්ධනයක් ලබා දුන් රජතුමා බාහිරින් පැමිණි ජන කොටස් එහි පදිංචි කරවීම මත පසුව එය ‘අලුත්ගම’ නමින් ප්‍රකට වූ බව පෙනෙයි.

   එහෙත් අපගේ මාතෘකවට ලක් වන ‘බලි’ යන්න ‘බිලි’ මෙන් ප්‍රචණ්ඩ සහ හිංසාකාරී පුද පිළිවෙතක් නොවේ. එය හුදෙක් ග්‍රහයන් සතුටු කරවීම පිණිස කරනු ලබන එක්තරා පුද පූජා විධියකි. නමුත් පසු කලෙක දේව සහ යක්ෂ පුද පිළිවෙත් හැඳින්වීම සඳහා ද මෙම ‘බලි’ යන නාමය යෙදුණු අවස්ථා තිබේ.මේ සියල්ල වෛදික බ්‍රාහ්මණ යාග-හෝම සම්ප්‍රදායට අනුව සැකසුණු බව පෙනී යයි.

අපගේ ජන ව්‍යවහාරයට අනුව “බලි ඇරීම” යනු ග්‍රහයන් (ඇතැම් විට දේව යක්ෂාදීන්) සතුටු කරවීම පිණිස සිදු කරනු ලබන පුද පිළිවෙත් දාමයක් වන අතර ‘බලි ඇඹීම’ යනු ඒ සඳහා වන යම් යම් දේ නිර්මාණය කිරීම ය. උඩරට, පහතරට සහ සබරගමු යන ශාන්තිකර්ම සම්ප්‍රදායන් තුන තුළම මෙම බලි ඇරීම සහ බලි ඇඹීම දක්නට ලැබේ.

මැටියෙන් සේම කිරිබත් ආදියෙන් නිර්මාණය කෙරෙන බලි රූපය එම පුද පිළිවෙත අතරවාරයේ දී එය එතෙක් වසා තිබූ කඩතුරාව ඉවත් කොට ආතුරයා හෙවත් එම දෝෂයට ලක් වූ පුද්ගලයා ඉදිරියේ නිරාවරණය කිරීම මෙම බලි ඇරීමේ සාමාන්‍ය පිළිවෙත ය. බලි ඇදුරා නමින් හැඳින්වෙන පුද්ගලයකු සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදු කරන මෙම යාතුකර්මයේ දී ගායනා කෙරෙන පද සහ මන්ත්‍ර රාශියක් තිබේ. අද ඒවා බොහොමයක් ද අභාවයට ගොසිනි.

මෙවන් බලි ඇඹීම සහ බලි රූප නිර්මාණය කිරීමට චිත්‍ර විෂය පිළිබඳ කිසියම් නිපුණතාවක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුුතු නැත. එහෙත්, බලි චිත්‍ර සම්ප්‍රදාය නමින් වන චිත්‍ර සම්ප්‍රදායක් අප රටේ නොමැති වීම ද විශේෂ විමසුමට ලක් විය යුත්තකි. නමුදු, කිසිදු අරුතක් පළ නොවන විකාර රූපී චිත්‍ර සහ රූ සටහන් ‘බලි රූප’ ලෙසත් යම් පුද්ගලයකු අරුත් විරහිතව බලා හිඳීම ‘කට බලියන් හිඳීම’ ලෙසත් හඳින්වීම මත මෙම බලි රූප යනු කිසිදු ප්‍රමිතියක් නොමැති අවර ගණයේ කලා නිර්මාණ බව පෙනේ. එහෙත්, කුඩා කල දුටු කිරිබත්වලින් තනා රතු, කහ, කොළ ආදියෙන් වර්ණ ගන්වා තිබූ බලි රූපයක චිත්තාකර්ෂණීය බව තවමත් මගේ මතකයෙන් පහව ගොස් නැත. මගේ මතකයට අනුව එය බෝධිසත්ව රූපයක් මෙනි.

බලි යාග පිළිබඳ ශාස්ත්‍රීය විමසුමක දී පන් තිස් බලි යාග වශයෙන් සමස්ත බලි යාග තිස් පහක් ලෙස හඳුනා ගත හැක. සිරි ලියනගේ සූරීන් විසින් සංස්කරණය කරන ලද ජනශ්‍රැති ශබ්දකෝෂය (2001) කෘතියෙහි දැක්වෙන අන්දමට ඒවා අත් බලි, බත් බලි, වැලි බලි, මාංශ බලි, දේව බලි, නර බලි, යුග බලි, වරුස බලි, මාස් බලි,පක්ෂි බලි. තිථි බලි, දින බලි, නක්ෂත්‍ර බලි, රාශි බලි, චත්‍ර බලි, සිංහතර බලි,අවරාක්ෂි රූප බලි, ප්‍රතිමා බලි, කල්‍යාණ බලි, මංගල බලි, මඩු බලි, වෙස් බලි, අෂ්ට බලි, සක බලි,යාග බලි, යක් බලි පිසසුන් බලි,අන්ත බලි හීන් බලි, කඩ බලි, මල් බලි,යන්ත්‍ර බලි, අගසස් බලි ආදී වශයෙන් විස්තර කෙරේ.එහෙත්, ඒ සම්බන්ධයෙන් අපගේ පෞද්ගලික නිගමනය වනුයේ භාරතීය යාග හෝම සම්ප්‍රදාය තුළින් අප ජනශ්‍රැතියට පැමිණි ඉහත සඳහන් බලි වර්ගවලින් බොහොමයක් අප ජන සංස්කෘතියට බද්ධ නොවූ බවකි. මෙම බලි හා සම්බන්ධ මානව විද්‍යාත්මක සාක්ෂි ගොනු කර ගැනීමේ දී බලි හා සම්බන්ධ ග්‍රාම නාම කෙරෙහි ද අපගේ අවධානය යොමු විය.එහි දී අදටත් රත්න කම්බිලි දේවාලයක් නිසා ප්‍රසිද්ධියට පත් ගල්නෑවේ මල්බලිගල එවන් ග්‍රාමයකි.මෙය අතීතයේ මල් බලි තබන ලද ගලක් කේන්ද්‍ර කරගත් ගම්වරයක් සේ අනුමාන කෙරේ.

ඇදුරන් නිර්මාණය කරන බලි රූ මගින් යම් ග්‍රහයකු, දෙවියකු හෝ යක්ෂයකු සංකේතනය කෙරෙන අතරේ එය ඉදිරිපස තබන පූජාව හෙවත් භෝජන තටුව ද බලි දැරීමක දී විශේෂ තැනක් ගනී. බත්, හත් මාළුව, කැවුම්, කෙසෙල්, අග්ගලා, විළඳ, රොටී මෙන්ම ‘අල පහ’ නමින් තම්බා ගත් අල වර්ග පහක් ද ‘බඩ පහ’ නමින් කෙසෙල්, පුවක්, තල්, අන්නාසි සහ හණ ගස්වල බඩ පහක් ද මෙම භෝජන තැටියට ඇතුළත් කෙරේ. එමෙන්ම එහි දී එක් එක් ග්‍රහයන් සංකේතනය කෙරෙන ඉඹුල් (රවි), දිවුල් (සඳු), කොළොන් (කුජ), කොහොඹ (බුධ), බෝ (ගුරු), කරඳ (සිකුරු), නුග (ශනි), වැටකේ (රාහු), කෙසෙල් (කේතු) ආදී වශයෙන් වන ශාක පත්‍ර ද යොදා ගැනෙයි. නමුත් මෑත භගයේ දී මෙම බලි යාතුකර්මය තොවිල් හා ශාන්ති කර්ම වලට වඩා බෙහෙවින් පසුගාමී තත්වයක පවතින බව කිව යුතු ය.මේ අතර සබරගමුවේ මදන බලි,රති කාම බලි සහ නුවර කලාවියේ වැහි බලි ආදී යාතු කර්ම සිදු කෙරෙන අතර ඒවා බලි යාග ශාන්ති කර්මය හා සබැඳි චූල සම්ප්‍රදායේ පුද පිළිවෙත් බව අපගේ වැටහීමය.එමෙන්ම එම බලි යාග බොහොමයක් ලිංගිකත්වය කේන්ද්‍ර ගත වූ ඒවා වීම ද විශේෂත්වයකි.

මෙම බලි ඇරීම සහ බලි ඇඹීම මුලුමනින්ම වෛදික සම්ප්‍රදායනට අයත් වූවද ඒවාට මුලුමනින් වෙනස් බලි පහක් හෙවත් පංච බලියක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ ද දැක්වෙයි. බුදුන් වහන්සේ අනේපිඬු සිටුතුමාට දේශනා කළ පඤ්චභෝගාදී සූත‍්‍ර දේශනාව අනුව දැහැමි ලෙස උපයන ධනයෙන් තමා සතුටුවීම අතරේ අනුන් සතුටු කිරීම පිණිස වන ‘බලි’ හෙවත් යුතුකම් පහක් හඳුන්වා දී තිබේ.

අතිථි බලි – ආගන්තුකයන්ට සැලකීම
ඥාති බලි – ඥාතීන්ට සැලකීම
රාජ බලි – රජයට අය බදු ගෙවීම
දේවතා බලි – තමාගේ ඉටුදෙවියන්ට පුද පූජා කිරීම
පුබ්බපේත බලි – මියගිය ඥාතීන්ට පිං දීම ආදී වශයෙන් දැක්වෙන ඒ බෞද්ධ බලි ක්‍රමය ගුප්ත විශ්වාස වලින් බැහැරව මිනිස් සදාචාරය මත පදනම් වන යුතුකම් බව පඤ්චභෝගාදී සූත්‍රය කියවන ඕනෑම කෙනකුට වැටහෙනු ඇත.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය