දින සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාව පුරා පැවති සාමකාමී මහජන අරගලයක ප්‍රතිපළයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පසුගිය 9 වන දා ශ්‍රී ලංකාවෙන් පලා ගිය අතර, සිය ධූරයේ බලතල භාවිත කරමින් දේශපාලන රැකවරණ සමගින් ආරක්ෂිත රටක් වෙත ළගා වූ පසු, පසුගිය 14 වන දා තමා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් ලිපියක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කර තිබිණි.
මෙය විවිධ මාධ්‍ය ඔස්සේ වෙනස් වෙනස් අදහස් සහිත වචන යොදා ගනිමින් ඉදිරිපත් කරනු ලැබ තිබුණ ද ඔහුගේ “ඉල්ලා අස්වීම” පිළිබද පරම සත්‍යය වන්නේ මහජනයා විසින් කිසිදු නායකත්වයක් නොමැතිව සිදු කරනු ලැබූ සාමකාමී අරගලයක් හේතුවෙන් “ඉල්ලා අස්වීමට සැළැස්වීම” බව ද, ඔහු වෙනත් රටකට “සංක්‍රමණය” වූවා නොව වෙනත් රටකට “පළා යන්නට සිදු වූ” බව ද නිවැරදි ලෙස සටහන් කිරීම අනාගත පරපුරෙහි දැන ගැනීම සදහා අතිශය වැදගත් ය.
මේ ආකාරයෙන් එක් එක් යුගවල විවිධ රටවල ජනාධිපති ධූර සහ අගමැති ධූර දැරූ පුද්ගලයින් රැසකට විවිධ යුගවලදී සිය රටින් පළා යන්නට සිදු වූ බව අන්තර් ජාලයේ විකිපීඩියා නිල වෙබ් අඩෙවිය පෙන්වා දේ. සමහර අවස්ථාවල බලයෙන් පහ කරනු ලැබූ රාජ්‍ය නායකයාට හෝ රජයේ ප්‍රධානියාට යම්කිසි කුමන්ත්‍රණයකින් හෝ වෙනත් ආණ්ඩු වෙනස් කිරීමකින් පසු රටින් පිටුවහල් කිරීමට අවසර දෙනු ලබයි. නැතහොත් වඩාත් සාමකාමී සංක්‍රාන්තියක් සිදු වීමට හෝ යුක්තියෙන් ගැලවී යාමට ඉඩ ලැබුණු අවස්ථා ද ඕනෑ තරම් තිබේ. එංගලන්තයේ රජ කළ දෙවන චාල්ස් මෙන්, බලයෙන් පහ කරනු ලැබූ රාජ්‍ය නායකයින් මතු කාලයක නැවතත් පහ කරනු ලැබූ රාජ්‍යයෙහිම බලයට පැමිණීමට සමත් වූ අවස්ථා ද මෙම සිදුවීම් අතර තිබේ.
ක්‍රිස්තු පූර්ව 503 සියවසේ රෝම රාජධානියේ රජුව සිටි ලුසියස් ටාර්කුයිනස් සුපබස්ගෙන් ආරම්භ වන මෙකී පිටුවහල් රාජ්‍ය නායක ලැයිස්තුව අවසන් වන්නේ 2022 වසරේ ජුලි 9 වන දින රටින් පළා ගිය ශ්‍රී ලංකාවේ ජනපතිව සිටි ගෝඨාභය රාජපක්ෂගෙනි.
ක්‍රිස්තු පූර්ව 503 සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 2022 වසර දක්වා එසේ රටින් පළා යන්නට සිදු වී තිබූ රාජ්‍ය නායකයින් ගණන 260 ඉක්මවා ගොස් තිබේ. මේ ආකාරයෙන් රටින් පළා යන්නට සිදු වූ දකුණු ආසියාතික රාජ්‍ය නායකයින් අතරින් වැඩි පිරිසක් පාකිස්තාන අගමැතිවරුන් ය. එනම් 1987 වසරේ දී එවකට අගමැතිවරිය වූ බෙනාසීර් භූතෝටත්, 2007 වසරේ දී එවකට අගමැතිවරයාව සිටි නවාස් ෂරීෆ්ටත්, 2013 දී එවකට අගමැතිවරයාව සිටි පර්වේස් මුෂාරෆ්ටත් රටින් පළා යන්නට සිදු විය. නමුත් බෙනාසීර් භූතෝ නැවතත් 1999 වසරේ දී පාකිස්තාන මහජනතාව විසින් ම සිය අග්‍රාමාත්‍යවරිය ලෙස තෝරා පත් කර ගනු ලැබීය. 2007 වසරේ දී ජනතා රැළියක් අතරතුර නාදුනන තුවක්කුකරුවෙකු විසින් ඇය වෙත එල්ල කරලු ලැබූ වෙඩි ප්‍රහාරයක් අතරම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වූ ඇය මිය යනු ලැබුවේ ද පාකිස්තාන අගමැතිවරියව සිටිය දී මය.
ඊට අමතරව 1950 වසරේ දී නේපාලයේ රජු බවට පත් වූ ට්‍රිබුවාන් භිර් භික්‍රම් ෂා සිය පාලන කාලය තුළ සිදු කරනු ලැබූ අක්‍රමිකතා හේතුවෙන් කුපිත වූ ජනතාව ඔහු වෙත සිය අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් 1951 වසරේ දී ඔහුට ඉන්දියාවට පළා යන්නට සිදු වූ බවට ද වාර්තා තිබේ. මෙකී දකුණු ආසියාතික රාජ්‍ය නායකයින්ට අමතරව රටින් පළා යන්නට සිදු වූ රාජ්‍ය නායකයා වන්නේ ශ්‍රී ලංකාවේ ජනපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ පමණි.
මෙවැනි සිදුවීමක් ශ්‍රී ලංකාවේ සිදු වූ පළමුවැනි වතාව ලෙස ද ගෝඨාභය මේ වනවිට ඉතිහාසයට එකතු වී සිටී. ඔහුගේ පළා යාම මෙන්ම ඔහු තමන් දැරූ ජනපති ධූරයෙන් ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් සිටිනු ලැබුවේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් පමණක් නොවන බවත්, ලෝකය පුරා විහිදී සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් ද ගෝඨාභය රාජපක්ෂගේ අල්ලා අස්වීම අපේක්ෂාවෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව ඉහත කී 260 කට වඩා වැඩි රාජ්‍ය නායකයින් අතරින් මුලු ලෝකයේම අප්‍රසාදයට පාත්‍ර වූ ජනපතිවරයා ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ඉතිහාස ගත වී සිටින්නේ ය.
දුලංජලී මුතුවාඩිගේ