හර්නියා මනුෂ්‍යයන් අතර සුලභ රෝගයක්. බොහෝ දෙනෙක් නොදන්නවා වුණත් මෙම රෝගය සුනඛයන්ට සහ බළලුන්ටත් වැළඳිය හැකියි.
ශරීර අභ්‍යන්තරයේ ඇති පටකයක් හෝ අවයවයක් ඉන් පිටතට නෙරාවිත් සමට යටින් ගෙඩියක ස්වරූපයෙන් පැවතීම හර්නියා නමින් හඳුන්වනවා. බොහෝ විට මෙය සිදුවන්නේ අවයව කොටස් හෝ පටක සිරුරේ යම් යම් ස්ථානවල පවතින ස්වභාවික සිදුරු හරහා පිටතට පැමිණීමයි. ඒ හැරුණු විට අනතුරක් හේතුවෙන් පටකයකට හෝ අවයවයකට සිදුවන හානියක් නිසා හට ගන්නා සිදුරක්ද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතු විය හැකියි.
කෙසේ වුවද මෙම දෙවනුව කී තත්ත්වය වන අනතුරක් හේතුවෙන් ඇතිවූ සිදුරකින් සිරුරේ කොටස් පිටතට පැමිණීම වඩා භයානක වීමට ඉඩ තිබෙනවා. මෙය වහා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් වන්නේ මේ තත්ත්වය ඇතැම් විට මාරාන්තික වීමට වුව ඉඩ ඇති නිසයි. සිදුරක් හරහා ඉවතට පැමිණි අන්ත්‍ර කොටස් සිදුර තුළ තෙරපීම නිසා එම කොටසට පමණක් රුධිර සැපයුම නොලැබී යාමට ඉඩ තිබෙනවා. මෙම තත්ත්වය සතෙකු මරණයට පත් කිරීමට පවා හේතු වන්නක්. මෙවැනි හර්නියා තත්වයක් වඩාත් භයානක වන්නේ එම පිටතට පැමිණි ශරීර කොටසට රුධිර සැපයුම ඇනහිටින බැවින් ඒ ශරීර කොටස මිය යන නිසයි.
දැන් අපි හර්නියා වර්ග හඳුනා ගනිමු.
පෙකණි හර්නියා
Umbilical Hernia
මෙය පෙකණිය ආශ්‍රිතව පවතින හර්නියා තත්ත්වයක්. පෙකණිය ආසන්නයේ ඇති මාංශ පේශීන්වල හටගත් සිදුරක් තුළින් අන්ත්‍ර කොටසක් මේද පටක හෝ අක්මාවේ කොටසක් වුවද මෙලෙස පිටතට පැමිණිය හැකියි.
පෙකණි හර්නියා ඇති වීමට හේතු:
උපතට පෙර, පෙකණි රුධිරවාහිනී පෙකණි වළල්ල හරහා ගමන් කරනවා. පෙකණි හර්නියා ඇතිවන්නේ උපතින් පසු පෙකණි වළල්ල අසම්පූර්ණව වැසීම නිසයි . හර්නියා සාමාන්‍යයෙන් සමට යටින් මෘදු ඉදිමීමක් ලෙස පෙනෙන අතර බලු පැටියා සිටගෙන සිටින විට, බුරන විට, අඬන විට හෝ වෙහෙසෙන විට එය බොහෝ විට ඉදිරියට නෙරා එනවා . සමහර හර්නියා අඩු කළ හැකියි. එනම් ඉදිරියට නෙරා ඇති කොටස ආපසු උදරයට තල්ලු කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අනෙක් හර්නියා එලෙස අඩු කළ නොහැකියි.
පෙකණි හර්නියා විෂ්කම්භය සෙ.මී. 1 -2.5 පමණ ප්‍රමාණයකින් පවතින්න පුළුවන් . සෙ.මී. 1 වඩා අඩු හර්නියා වයස මාස 3 – 4 දක්වා කාලයේදී ප්‍රතිකාරයක් නොමැතිවම වැසී යා හැකියි. වැසී නොයන පෙකණි හර්නියා සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදු වන්න පුළුවන් . විශේෂයෙන් බඩවැල් ඉන්ද්‍රියක කොටසක් එය හරහා නෙරා ඇත්නම් මෙවැනි ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් පෙකණි හර්නියා වේදනා රහිත යි. මෙය හට ගැනීමට නිශ්චිත සිදුවීමක් හෝ හේතුවක් අනාවරණය වී නෑ . බොහෝ පෙකණි හර්නියා සෞඛ්‍යයට තර්ජනයක් නොවෙයි.
ඉන්ජුවිනල් හර්නියා:
Inguinal Hernia
ඉන්ජුවිනල් හර්නියා හට ගන්නේ ශරීරයේ කොටසක් හෝ අභ්‍යන්තර ඉන්ද්‍රියයක් මාංශ පේශිය හෝ පටක බිත්ති හරහා නෙරා ගිය විටයි. මෙම හර්නියා අවස්ථාවේදී මෙකී අභ්‍යන්තර අවයව හෝ ව්‍යුහයන් ඉඟටිය ප්‍රදේශයට නෙරා එන්නේ ශ්‍රෝණිය අසල උදර බිත්තියේ විවරයක් හරහා ගමන් කරමිනුයි. සමහර සතුන්ට ජීවිතයේ පසුකාලීනව මාංශ පේශි දුර්වලතා හෝ කම්පනය හේතුවෙන් මෙම හර්ණියා වර්ගය ඇතිවිය හැකියි. නැතහොත් සහජ හේතුවක් මත ඇතිවූ මෙවැනි තත්ත්වයක් මත සතා උපත ලබන්නටද පුළුවන් . ඉන්ජුවිනල් හර්නියා බළලුන් තුළ ඉතා දුර්ලභ යි.
මෙම රෝගයේ මුලින් දැකිය හැකි ලක්ෂණය වන්නේ ඉඟටිය ප්‍රදේශයේ ඉදිමීමයි. රෝගය සංකීර්ණ නොවන අවස්ථාවක ඉදිමුණු ප්‍රදේශය සාමාන්‍යයෙන් වේදනාකාරී නොවන අතර එම ස්ථානය මෘදු විය හැකියි. ඇතැම් විට හර්නියාව ආපසු තල්ලුකර යවන්නටද පුළුවන්. පශු වෛද්‍යවරයෙකුට මෙම තත්ත්වය පහසුවෙන් හඳුනාගත හැකියි .
සංකීර්ණ ඉන්ජුවිනල් හර්නියාවකදී බොහෝ විට වඩා විශාල ඉදිමීමක් දක්නට ලැබෙනවා. එය ආපසු තල්ලු කළ නොහැකි අතර වේදනාකාරී බවින් ද යුතුයි . උඩින් ඇති සම බොහෝ විට තැලුණු හෝ රතු පැහැයට හැරෙනවා. සතාට ඉන්ජුවිනල් හර්නියා ඇති බවට තහවුරු කරගැනීම වෛද්‍ය පරීක්ෂණ තුළින් කළ හැකියි.
Diaphragmatic Hernia :
උරස් කුහරයත් උදර කුහරයත් වෙන් කෙරෙන මහා ප්‍රාචීරය නම් වූ පටලයේ හටගත් සිදුරක් මෙම හර්නියා තත්ත්වය ඇතිවීමට හේතු වෙනවා. මහා ප්රාචීරයේ උපතින්ම හටගත් සිදුරක් නිසා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් මහා ප්රාචීරයේ මාංශ පේශීන් ඉරීයාම නිසා හටගත් සිදුරක් තුළින්ද පෙර කී ආකාරයට ශරීර කොටස් පිටතට පැමිණීම සිදුවෙනවා. මෙම තත්ත්වයේ දී අක්මාවේ කොටසක් වුවද පිටතට පැමිණීම වඩා භයානක තත්ත්වයක්.
මුලින් සඳහන් කළ හර්නියා තත්ත්වයන් දෙකේදී පිටතට පැමිණි ශරීර කොටස් සමට යටින් ගෙඩියක් ආකාරයට දැකිය හැකියි. නමුත් මහා ප්‍රාචීරය ආශ්‍රිතව හට ගන්නා හර්නියා තත්ත්වයේදී එසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. නමුත් හුස්ම ගැනීමේ අපහසුව, හෘද ස්පන්දනය වේගවත් වීම වැනි රෝග ලක්ෂණ පැවතිය හැකියි. සමහර අවස්ථාවලදී කහින විට හෝ තටමන විට ගෙඩියක් ආකාරයට දැකිය හැකි මුත් රෝගී තත්ත්වය නිසියාකාරව හඳුනා ගැනීමට එක්ස් කිරණ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා. දිගින් දිගටම පවතින මුලින් සඳහන් කළ හර්නියා තත්ත්වයන් දෙක ශල්‍ය කර්මයකින් යථා තත්ත්වයට පත්කර ගත හැකි මුත් මහා ප්රාචීරයේ හටගත් මෙම හර්නියා තත්ත්වය ශල්‍ය කර්මයකට යා නොහැකි අවදානම් රෝග තත්ත්වයක් බව කිව යුතුයි.
උපදෙස් පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා
සැකසුම – ඉන්දු පෙරේරා