අප රටේ සකල විධ කාන්තාවන් අතුරින් මුස්ලිම් කාන්තාවට විශේෂ තැනක් හිමි වෙයි. ඒ පොදු ජනතාවගේ අවධානයට යොමුවීම ඔස්සේ ය. අප රටේ ඇතැම් නිළියන් වැනි අශීලාචාර, අසංවර කාන්තා කොටසක් ඇඳුම් මඳ කම මුල් කොට ජන අවධානයට ලක් වන අතරේ මුස්ලිම් කාන්තාව එසේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වනුයේ ‘ඇඳුම් වැඩි කම’ හේතුවෙනි.
නමුත් මේ විශේෂ ජන අවධානයේ එක්තරා අහිතකර පක්ෂයක් ද තිබේ. එනම් මුස්ලිම් කතුන් ගේ සැබැ ප්‍රතිරූපයට බරපතල හානි සිදුවන ඔවුන් සම්බන්ධ සාවද්‍ය මති මතාන්දර වේගවත්ව සමාජගත වීමය. මෙම සමාජගත වීම මගින් මෙරට මුස්ලිම් කාන්තාව පිළිබඳව බරපතල වැරදි සමාජයීය චිත්‍ර නිර්මාණය වී ඇති බව සිංහල මාධ්‍යයෙන් ඉගෙන සිංහල විෂය ද සහිතව සිංහල මාධ්‍යයෙන් උපාධි සුදුසුකම් ලබා සිංහල මාධ්‍යයෙන්ම ගුරු වෘත්තියේ යෙදෙන්නියක වශයෙන් මම හොඳාකාරවම දනිමි.
මුස්ලිම් කාන්තාව මුළුමනින්ම පුරුෂාධිපත්‍යයට නතුව හිඳින බව අප සමාජය පුරා මේ වන විට වේගවත්ව පැතිර ගොස් ඇති දුර්මතයකි. කොටින්ම ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු සිතනුයේ මුස්ලිම් බිරිඳ සැමියා ගේ වහලියක සහ සිරකාරියක ලෙස දිවි ගෙවන බවකි.
‘සැමියා බිරිඳගේ දෙවියා ය’ යන්න වත්මන් සමාජයේ වුව වැඩි දෙනකු කිසිදු විරෝධතාවයකින් තොරව සම්මත කරනු ලබන ප්‍රකාශයකි. එහෙත් මෙම පැරණි පෙරදිග බමුණු මතවාදය ඉස්ලාමය ඉඳුරාම ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් කාන්තාවට තම සැමියා, පියා හෝ පුරුෂ පාර්ශවයේ කිසිවෙකුත් දෙවියකු නොවේ. ඇයට හිඳින එකම දෙවියා සර්ව බලධාරී අල්ලාහ් පමණි.
අප ගේ සාමාන්‍ය ජන සමාජයේ පුරුෂයා කාන්තාවට වඩා උසස්ය යන පොදු පිළිගැනීමක් තිබේ. එකම පවුලේ දූ දරුවන් අතරේ වුව මෙම ගැහැණු පිරිමි උස් පහත් භේදය දක්නට ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි. නිවසේ පිසෙන බත් පත පවා පළමුව පිරිමි දරුවන්ට දෙවනුව ගැහැණු දරුවන්ට දීමේ සම්ප්රදායක් අප සාමාන්‍ය ජන සමාජයේ තිබේ.එහෙත්, මුස්ලිම් සමාජය තුළ එවැනි පුරුෂාධිපත්‍යයක් පිළිබඳ කිසිදු සළකුණක් වත් දක්නට නැත.
සාමාන්‍ය සමාජය මුස්ලිම් කාන්තාව පිළිබඳ මෙලෙස වැරදි වැටහීමක් ඇති කර ගැනීමට හේතුව ඔවුන් ගේ ‘සලාතය’ හෙවත් නමැදුම සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්පයයි. මස්ජීදයට හෙවත් මුස්ලිම් දේවස්ථානයට යාමට අවසර ඇත්තේ පුරුෂ පක්ෂයට බවත් කාන්තාවන්ට මස්ජීදයට පිවිසීම සපුරා තහනම් බවත් සාමාන්‍ය ජන සමාජය පුරා පැතිර පවතින විශ්වාසයයි.නමුදු කාන්තාවට සලාතය හෙවත් නමැදීම පිණිස මස්ජීදයට හෙවත් මුස්ලිම් දේවස්ථානයට යාම මහමුද් නබි තුමාණන් එක හෙළා අනුමත කළ බව අබු දාවුත් හදිසියේ 480 ජේදයේ සඳහන් වෙයි.
හදීස් යනු ඉස්ලාමයේ ඉලක්කගත ආධ්‍යාත්මික ප්‍රතිඵල තකා පිළිපැදිය යුතු ආචාර විද්‍යාත්මක මාර්ගෝපදේශ සංග්‍රහයන් වන අතර මේවා බෞද්ධ අටුවා වලට තරමක් සමාන ය. එම හදීස් මත වලට අනුව දිනකට පස් වරක් සලාතයේ යෙදීම සඳහා පිරිමියකුට ඇති අවකාශය කාන්තාවකට නොමැති බව පිළිගන්නා ඉස්ලාමය කාන්තාවකට එය නිවෙස තුළ දීම සිදුකරගැනීමේ නිදහස, අවකාශය ලබා දී තිබේ. ගෙමිදුලේ දී කරන සලාතයට වඩා නිවස තුළ කරන සලාතය උතුම් බවත් නිවස තුළ කරන සලාතයට වඩා නිවසේ ඇතුළු කාමරයක කරන සලාතය උතුම් බවත් අබු දාවුත් හදිසයේ 483 ජේදයේ සඳහන් වෙයි.ඒ අනුව ඇතැම් මුස්ලිම් නිවෙස් වල ඉඩ කඩ ඇති අන්දමට කාන්තාවන් සඳහා වෙනම නමැදුම් කුටි සකසා ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික තත්වය ද මෙහි දී සැළකිල්ලට ගත හොත් කාන්තාවන්ට එසේ මස්ජීදයට යාම අවශ්‍ය නොවන බව ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් එහි යා යුතු වනුයේ තම කුඩා දරුවන් ද සමඟින් වීම නිසා ය. එහි දී ඒ දරුවන් පසෙක තබා හරි හැටි සිත එකඟ කොට සලාතය කිරීමට ඇයට අවකාශ නොලැබේ. එය සෙස්සන් ගේ සලාතයට ද බාධාවකි. එහි දී ඉස්ලාමයෙන් කාන්තාවන් කෙතරම් ආගමික නිදහසක් භුක්ති විඳින්නේ ද යත් නිවසේ වුව සලාතය සිදු කරන විට තම දරුවකු හඬන්නේ නම් ඉක්මනින් ඒ සලාතය නිමා කිරීමේ පූර්ණ හිමිකම පවා ඇය වෙත ප්රදානය කොට තිබේ.
බුකාරි හදීසයේ 707 පාඨයෙන් එය තහවුරු කර ගත හැක. එමෙන්ම ඉස්ලාමයේ වැදගත්ම ආගමික මෙහෙයක් වන ඉස්ලාමිකයන් ගේ සතියේ ශුද්ධ දිනය වන සිකුරාදා ප්‍රධාන දේවස්ථානයක හෙවත් ජුම්මා මස්ජීද් පල්ලියක සිදු කෙරෙන සලාතය වුව අනිවාර්ය කිරීමේ දී කාන්තාවන්, වහලුන් රෝගීන් හා දරුවන් අත හැර තිබීම විශේෂත්වයකි. අබු දාවුත් හදීසයේ 901 වන ජේදයෙන් ඒ බව පැවසෙයි. ඒ අනුව මුස්ලිම් කාන්තාවන් මස්ජීදයට නොයනුයේ ඉහත සඳහන් කරුණු මත පදනම් වූ මානුෂික හේතූන් මත විනා ඇතැම් ආගම් වල ප්‍රධානතම සිද්ධස්ථාන සහ ඒවායේ වැදගත් කොටස් කාන්තාවන්ට සපුරා තහනම් කිරීම වැනි අමානුෂික හේතුන් මත නොවන බව සඳහන් කළ යුතුම ය.
මෑත භාගයේ මුස්ලිම් කාන්තාව දැඩි සමාජ අවධානයකට ලක්වීමට ප්‍රධානතම හේතුව ඔවුන් තමන් ගේ මුළු සිරුරම වැසෙන ලෙස ඇඳුම් ඇඳීම ය. බෞද්ධ සූත්‍ර වල සංයුක්ත නිකායේ ඉස්සරිය නම් සූත්‍රයේ කාන්තව සමාජමය ආරක්ෂාවට ලක් විය යුතු උතුම්ම භාණ්ඩය(ඉත්ථි භණ්ඩාන මුත්තමං) යනුවෙන් බුදුන් වහන්සේ ද දේශනා කොට තිබේ. එවන් තත්වයක් යටතේ වටිනා භාණ්ඩයක් සේ සළකා කාන්තාවට සිරුර මුළුමනින් වසා ගැනීමට ඉඩ සැළැස්වීමේ ඉස්ලාමීය නියමය ඇතැමුන් විසින් හෙළා දැකීම එක්තරා විස්මයට කරුණකි. මෙහි දී අල් කුරානයේ එන මුළු සිරුරම වසා ගැනීම යන්න යමකුට සිරුර ගෝනියකින් වසා ගැනීම සේ හැඟෙන්නට පුළුවන.
ඒ අනුව මෙම ෆර්දාව, හිජාබ්, නිකාබ් ආදී වශයෙන් විවිධ ඉස්ලාමීය සංස්කෘතීන් තුළ හැඳින්වෙන මෙම කාන්තා ඇඳුම විවිධ ස්වරූප ගෙන තිබේ. නමුත් මෙය ද කාන්තාවන් ඇඳුම තුළ සිරගත කිරීමට ඉස්ලාමය දරන පුරුෂෝත්මවාදී උත්සාහයක් සේ ඇතැමෙක් පවසති. එසේ නම් කාන්තාවකට නිර්වස්ත්‍රව මහ මඟ බැස යාමට ඉඩ සැළසීම කාන්තා නිදහස, විමුක්තිය තහවුරු කරන්නක් ලෙස ද අප පිළිගත යුතු ය.ඒ කෙසේ හෝ මෙම සිරුර වැසෙන ඇඳුම් භාවිතයේ දී තම අනන්‍යතාව ද සැඟවෙන ලෙස එය කිරීම ද ආගමික සීමාව ඉක්මවීමකි.
මුස්ලිම් ජාතිකයා දිනකට පස්වරක් සලාතය සඳහා සූදානමින් සිටිය යුතු ආගමික මානවයෙකි. එහි දී ඔහු නිරතුරුවම ඒ සඳහා වන කායික මානසික යෝග්‍යතාවයෙන් යුතුව සිටිය යුතු ය.
චර්ම ජේදනය හෙවත් ‘කන්නා’ ව පුරුෂයන් සඳහා අනුමත කොට ඇත්තේ පුරුෂේන්ද්රියේ අග කොටසේ මුත්‍රා ආදිය රැඳීමෙන් වැලකීම පිණිස ය. එහෙත්,මෙම කත්නා පිළිබඳව අල් කුරානයේ කිසිදු සඳහනක් නොමැති අතර මෙය ද හදීස් මතයක් බව කිව යුතුම ය.නමුත් ඇතැම් මුස්ලිම් ප්‍රජාවන් තුළ කාන්තාවන් ද ඉතා අමානුෂික ලෙස මෙම කාත්නාවටවට ලක් කෙරෙන අතර එය ඉඳුරාම ඉස්ලාම් විරෝධී ග්‍රෝත්‍රික චාරිත්රයකි. එහෙත්, එවන් ආගම් විරෝධී චාරිත්‍ර පදනම් කර ගනිමින් ඇතැම් සාහිත්‍ය කෘතීන් පවා නිර්මාණය වී ඇති අතර ඒවා මගින් එම ම්ලේච්ජ ක්‍රියා ඉස්ලාමීය ඉගැන්වීම් වශයෙන් හඳුන්වා දීමට මුස්ලිම් නොවන නිර්මාණ කරුවෝ නොයෙක් වර උත්සාහ දරති. “බිරිඳ ඔබගේ වගා බිමය”යන්න අල් කුරානයේ දෙවන පරිච්ඡේදයේ 222 වැකිය මඟින් ප්‍රකාශ වේ.මින් ඉස්ලාම් වරුන්ට ඕනෑ තරම් දරුවන් හදන ලෙස ආගමික නියමයක් ඇතැයි යන්න ද පොදු සමාජමය දුර්මතයකි.
ඔවුන් ඉන් අදහස් කරනුයේ බිරිඳ වගා බිම නම් සංවාසය යනු බිම් කෙටීම ලෙස ඉස්ලාමීය අර්ථ දක්වා ඇති බවක් විය යුතු ය..එහෙත්,වගා බිම යනු සෞභාග්‍ය,සශ්‍රීකත්වය පිණිස ඉවහල් වන්නකි.එවන් ආගමික ප්‍රකාශයක් මත මුස්ලිම් බිරිඳ සැමියාගේ වහලියක වන්නේ කෙසේද? මේ අතර මුස්ලිම් වරුන්ට “පඩි පෙළ මෙන් දරුවන් හැදීමට”ආගමික නියමයක් ඇතැයි පවසන සමහරුන් එය අර්ථ දක්වන්නුයේ රටක් තුළ මුස්ලිම් ජන අනුපාතය ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ එක් උපාය මාර්ගයක් බව ය.එහෙත්,දරුවකු ලබා උස් හදා වඩා උස් මහත් කොට සමාජ ගත කිරීමට අවශ්‍ය ආර්ථික ශක්තිය නොමැතිව එසේ කිරීමෙන් තම අනාගත පරපුර යාචකයන් කර ගැනීමට සිහින දකින මුස්ලිම් වරුන් සිටිනුයේ එසේ සිතන්නවුන් ගේ දවල්ට දකින නරක හීන අතරේ පමණි.
එමෙන්ම අප රටේ අන්තවාදී දේශපාලනය මඟින් ද අප රටේ නුවණ අඩු පුද්ගලයන්ට මෙවැනි “දිරච්ච ලනු”: ගිල්ලවීම කරනු ලැබේ.ඔවුන් බොහෝ දෙනකු පවසන අන්දමට උපත් පාලනය මුස්ලිම් වරුන්ට සපුරාම තහනම් ය.එහෙත්,ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ ගබ්සා කිරීම් නොවන “අසල්”නමින් හැඳින්වෙන ස්වභාවික උපත් පාලන ක්‍රම ඉස්ලාමයෙන් නිර්දේශ කොට ඇති බවය.”අසල්කිරීම හෝ නොකිරීම නුඹලාගේ වැඩක් ඒත් කියාමත් හෙවත් අවසන් විනිශ්චය තෙක් මෙලොව බිහි විය යුතු සෑම ජීවියකුම ඒකාන්තයෙන්ම බිහි වනු ඇත”.මහමුද් නබී තුමන් එස ප්වසා ඇති බවට ෂහී අල් බුකාරි හදීසයේ එන එම වැකිය මඟින් ඉස්ලාමය මුස්ලිම් වරුන්ගේ උපත් පාලන ක්‍රම කෙරෙහි කෙතරම් සහනශීලී ලෙස බලා ඇතැයි අපට සිතා ගත හැකිය.
වෛවාහික ලිංගික සබඳතා කෙරෙහි ද ඉස්ලාමය කෙතරම් සහනශීලී ලෙස විමසා ඇත්දැයි කිව හොත් “සිzනා”යනුවෙන් පැවසන අනාචාර සම්බන්ධතා මිස වෛවාහික ලිංගික සහවාසයට ඉස්ලාමය තහංචි පනවා නැත.නමුදු ඔසප් සමයේ සංසර්ගය,ගුද සංසර්ගය වැනි පිළිකුල් සහගත ලිංගික හැසිරීම වලට හදීස් මඟින් තහංචි පමුණුවා ඇතත් කතුන් ගේ කායික උද්දීපනය අරමුණු කරගත් යෝනි මුඛ සංසර්ගයට(Cunnilingus)පවා ඉස්ලාමයෙන් බාධාවක් නොමැති බව මුස්ලිම් කාන්තාව පුරුෂයා ගේ වහලියක ය යන මුලාවේ නිමග්න වූවන්ගේ දැන ගැනීම පිණිස විශේෂයෙන් ලියා තබමි.කාන්තාවගේ ප්රජනනේද්රිය පද්ධතිය හා සබැඳි පෞද්ගලික සනීපාරක්ෂාව කෙරෙහි ද ඉස්ලාමය සැලකිලිමත් වනුයේ මෙම තත්වයන් ද පදනම් කරගනිමිනි.
කාන්තාවක කිසියම් පිරිමියකු හා විවාහ වීමේ දී ඒ පිරිමියා ගේ සමාජ තත්වයට අනුව ඒ කාන්තාවකගේ පාර්ශවයෙන් මුදල් දේපල ආදී ප්‍රදානයක් කිරීම කාන්තාවන් ගේ ගෞරවයට හා අභිමානයට බරපතල තර්ජනයකි. එහෙත්, වර්තමාන සම්මත සමාජ සම්මතයක් වන ඒ ග්‍රෝතික ලක්ෂණය මුලුමනින්ම බැහැර කරන ඉස්ලාමය ඒ වෙනුවට හඳුන්වා දී ඇති ‘මහර්’ නම් වන ඉස්ලාමීය දැවැදි ක්‍රමය ගැන අදත් බොහෝ දෙනෙක් නොදනිති.
මහර් යනු සැමියා විසින් තමන් විවාහ කර ගන්නා බිරිඳට ලබා දෙන ධන පරිත්‍යාගයකි. එය කෙතරම් ප්‍රබල කාන්තා අයිතියක් ද කිවහොත් සැමියා වෙතින් එම ‘මහර්’ නම් වන දෑවැද්ද ලබන කාන්තාව සැමියා ගෙන් දික්කසාද වීමක දී වුව යළි එය සැමියාට ප්රදානය කිරීමට බැඳී නැත.”බිරිඳ සැමියාට ඇඳුමක් ආවරණයක් වන්නා සේ සැමියාද බිරිඳට ඇඳුමක් ආවරණයකි”යන අල් කුරාණයේ දෙ වන පරිච්ඡේදයේ 187 ජේදයේ දැක්වෙන සඳහනට අනුව බිරිඳ කිසිසේත් සැමියාගේ වහලියක නොවන බව ස්ථිරවම පැවැසිය හැක.
මේ සියලු කරුණු පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ ඉස්ලාමීය කාන්තාව මුල් කොට ගත් සියළු සමාජමය චෝදනා මගින් ඒවා එල්ල කරන්නවුන් ගේ සංස්කෘතිමය, ආකල්පමය සහ ගති සිරිත් ගති සිරිත් පදනම් කර ගත් ඒවා මිස හුදෙක් ඒවා මුස්ලිම් කතුන් සම්බන්ධ සත්‍ය කරුණු නොවන බව ය.
නමුදු අප රටේ ප්‍රධාන භාෂාව වන සිංහල යොදා ගනිමින් මෙම කරුණු සමාජගත කිරීමට මෙරට මුස්ලිම් ප්‍රජාව තුළ සිංහල භාෂා ඥානය මඳවීම එසේ සිංහල භාෂා ඥානය ඇති පිරිස් පවා ඒ සම්බන්ධයෙන් උනන්දු නොවීම සේම තවමත් ඇතැම් සිංහල ජන මාධ්‍ය කරුවන් තුළ පැළපදියම් වී ඇති අහේතුක මුස්ලිම් විරෝධය,තවමත් මෙරට රජයන පටු වර්ගවාදී ආගම් වාදය සහ දේශපාලනය ආදී හේතුන් මත මෙම සැබෑ මුස්ලිම් හඬ මුල් කරගත් පොදු ජන සුසංවාදයට බරපතල හානි පැමිණ ඇති බව විශේෂයෙන් කිව යුතු ය.
ෆාතිමා හලල්දීන්