පසුගිය දිනයෙක මා හොඳින් දන්නා කියන පුද්ගලයකු සවස් වරුවේ ඔහුගේ නිවසට කිට්ටු ව පිහිටි වෙළඳසැලකට යමින් සිටියදී මහ පාර මැද සිහි විසඥව වැටී සිටි බවක් අසන්නට ලැබිණි.
පවුලේ අය ඔහු රෝහලට රැගෙන ගිය පසු වෛද්‍යවරුන් රෝග පරීක්ෂාවකින් අනතුරුව පවසා ඇත්තේ මොළයේ නහරයක් පිපිරී ඇති බවයි. අපට දැන් නිතරම මෙම මොළයේ නහර පිපිරීම්, අවහිර වීම් ගැන අසන්නට ලැබේ. ඇත්තටම මේ සිදු වන්නේ කුමක්ද ? ඊට බලපාන හේතු කවරේද?
මොළයේ ලේ නහර හිර වීමක් හෝ පිපිරීමක් ගැන වෛද්‍යවරුන්ද පවසන අවස්ථා තිබේ. එනිසා අපි මේ පිපිරීම සහ හිරවීම යනු කුමක්දැයි මුලින්ම සොයා බලමු.
කොලෙස්ටරෝල් අපගේ නහරවල තැන්පත් වන බව ඔබ දනී. මෙසේ තැන්පත් වූ කල නහරවල එම ස්ථාන දුර්වල වේ. නහරයක් පුපුරා යන්නේ මෙසේ දුර්වල වූ ස්ථානයකිනි.
සමහරුන්ගේ උපතින්ම සමහර නහරවල දුර්වල තැන් පවතී. එවැනි අයෙකුට පසු කලෙක අධික රුධිර පීඩනය හට ගත්තොත් එනිසා ද ඒ නහරයක් පුපුරා යා හැකි ය.
නහරයක් අවහිර වීම සිදු වන්නේ ලේ කැටියකිනි. අවහිර වීම නිසා පුපුරන්නේ නැත. මේ දෙක එකට සිදු නොවේ.
මොළය යනු අපගේ බුද්ධිය, කල්පනාව සහ පණ ටික තිබෙන ස්ථානය යි. ඊට අමතරව මොළයේ විවිධ කොටස්වලට විවිධ වැඩ රාජකාරි ලබා දී ඇත. ශරීරයේ දකුණු පැත්ත බලාගන්නේ මොළයේ වම් පැත්තෙන් ය.
ශරීරයේ වම් පැත්ත බලාගන්නේ මොළයේ දකුණු පැත්තෙන්ය. ඉදිරිපස දකුණු පැත්ත බලා ගැනීමට නම් මොළයේ වම් පැත්ත පිටුපස ක්‍රියාකාරී විය යුතුය. ඔබ ඉදිරිපස ඇති දේවල් අතරින් වම් පැත්තේ තිබෙන දේ දකින්නට නම් මොළයේ දකුණු පස පිටුපස කොටස ක්‍රියාකාරී විය යුතුය. දැන් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් ලැබී ඇතැයි සිතමු.
භාෂාව හැසිරවීම, කතා කිරීම සඳහා මොළයේ විශේෂිත ස්ථානයක් ඇත. එය ක්‍රියා විරහිත වුවහොත් රෝගියා වෙනත් රටක සිටිනවා වැනිය. ඔහුට කිසිවක් තේරෙන්නේ නැති අතර ඔහු කතා කරන කිසිවක් අනෙක් අයට තේරෙන්නේද නැත . ලියන්නට කියවන්නට භාෂාවක් නොමැත.
ශරීරයේ දකුණු පස යමක් ගෑවෙනවා නම්, යමක් ඇනෙනවා නම්, පිච්චෙනවා නම් ඒ සියල්ල දැනෙන්නේ මොළයේ වම්පස එක්තරා ස්ථානයකට ය. එලෙසින්ම වම්පස සියලු දේ දැනෙන්නේ මොළයේ දකුණු පස පිහිටි එවැනිම ස්ථානයකට ය. මොළයටත් ශරීරයේ අන් සෑම තැනකටම මෙන් නඩත්තුවක් අවශ්‍ය ය . කුසට වැටෙන පෝෂණය, පපුවට වැටෙන හුස්ම බෙදාහරින්නේ රුධිරයේ දිය කිරීමෙනි. ඒ සියලු දේ ගමන් කරන්නේ නහර දිගේ ය.
බෙල්ලෙන් උඩට ඇදෙන ප්‍රධාන නහර ගසක අතු මෙන් කුඩා නහරවල්වලට බෙදී මුළු මොළය පුරාම රුධිරය සැපයීම සිදු කරයි. යම්කිසි නහරයක් විසින් බලා ගනු ලබන්නේ මොළයේ යම්කිසි ප්‍රදේශයක් පමණි. එක් නහරයක් හිර වුවහොත් හෝ පුපුරා ගියහොත් මොළයේ එම නහර විසින් මෙතෙක් කල් බලාගත් කොටස මිය යාමට ලක් වෙයි. ශරීරයේ වැදගත් කොටසක් මෙසේ අකර්මණ්‍ය වුවහොත් එහි අඩුපාඩුව රෝගියාට ඒ මොහොතේම එය දැනෙනු ඇත.
මොළයේ වම්පස නහර අවහිර වුවහොත් ශරීරයේ දකුණු පස පණ නැති වීමක් ආරම්භ වේ. නහරයක් හිර වී මොළයේ යම්කිසි කොටසක් අකර්මණ්‍ය වූ විට ස්කෑන් පරීක්ෂණයකින් එය සොයා ගැනීමට පුළුවන. නහරයක් පුපුරා ගොස් තිබුණොත් මොළය ඇතුළත ලේ ගැලීම ඒ වෙලාවේම ස්කෑන් පරීක්ෂණයෙහි පෙන්නුම් කරයි. රෝගියාට කළ යුතු දේ තීරණය වන්නේ ස්කෑන් පරීක්ෂණය අනුවයි.
නහර පුපුරා යෑමෙන් සැලකිය යුතු ලේ ගුලියක් මොළය තුළ එකතු වී තිබුණොත් එය ඉවත් කිරීමට ස්නායු ශල්‍යකර්මයක් සිදුකරන්නට හැකියාව තිබේ. මෙවැනි දේ සිදුවීමට හේතුව බොහෝවිට දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම වැනි හේතුවක් විය හැකි ය. මෙවැනි කරදර අවම කිරීමට ඖෂධ ලබාගැනීම කළ යුතු ය. එවිට සිදු වුණු දේ තවත් වතාවක් නැවත ඇතිවීම වළක්වා ගැනීමට හැකි වනු ඇත.
එක් අයකුට එක් අවස්ථාවක සිදුවන දේ තවත් කෙනෙකුට ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කෙසේ වුවත් ප්‍රධාන නහරයක් අවහිර වීමෙන් මොළයේ විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය වීම සිදුවිය හැකි ය . අකර්මණ්‍ය වූ මොළයේ කොටස ශරීරයට කෙතරම් සේවයක් කළේ ද යන්න මත රෝගියාට ඇතිවන අඩුපාඩුව තීරණය වේ.
මොළයේ සමහර කොටස් එතරම් ලොකු නොවුණත් හුස්ම වැටීම, හදවත ක්‍රියාකාරිත්වය වැනි ඉතා වැදගත් කොටස් පාළනය කරමින් සිටී. ඉතාමත් වැදගත් මෙවැනි කොටසක ඉතා සුළු ප්‍රදේශයක් වුවද අකර්මණ්‍ය වීමෙන් රෝගියාට මාරාන්තික ප්‍රතිඵල ඒ වෙලාවේම ඇතිවීමට ඉඩ තිබේ.
නහරයක් පිපිරීමෙහි සහ අවහිර වීමෙහි තිබෙන බැරෑරුම්කම දැන් ඔබට වැටහෙනවා නේද?
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා