බුදුන් ගෙන් තොර බුද්ධාගමක පෙර ළකුණු

බුද්ධාගම යන වදන බුදුන්ගේ ආගම යන අදහස ජනිත කරවන්නකි.ආගම යනු හුදු ඇදහීම් ජාලයක් වන අතර එහි න්‍යෂ්ඨිය භක්තිය නම් වෙයි.හුදෙක් භක්තිවාදී ආගම් ගණයට අයත් නොවන බුදු දහමින් අනේක විධ සමාජමය සංසිද්ධීන් සඳහා අර්ථ නිරූපණ සේම නිවැරදි විසඳුම් මාර්ග ද සපයා ගත හැකිව තිබේ. එහෙත්, මානව බුද්ධි පරිනාමයේ කිසියම් දියුණු තත්වයකට පත්ව හිඳින ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයට තවමත් එම දාර්ශනික මංපෙත් විවරව නැත.

ඊට හේතුව අද වන විටත් බුදුන් විසින් අනු දැන වදාළ ආර්ය ශ්‍රාවක මාර්ගයෙන් පිට පැන පැරණි පූජක සම්ප්‍රදායන් ඔස්සේ ජනතාවගේ ආධ්‍යාත්මික පාපිසාව සඳහා නිසරු පූජා චාරිත්‍ර නම් ලවණ දිය පොවන අප රටේ බහුතර භික්ෂුන් වහන්සේ සැබෑ බුදු දහම සහ සබැදි මේ කරුණු මුල් කොට ගත් සමාජ කතිකාවකට පිවිසීමට අසමත් වීම ය. වර්තමාන බෞද්ධ පූජා චාරිත්‍ර අතරේ අට සූ විසි, අට විසි බුද්ධ පූජා ප්‍රධාන තැනක් ගනී.මූලික බුදු සමයේ කිසිම තැනක නොමැති මෙම සූවිසි බුදු වරුන් පිළිබඳ සංකල්පය ජෛන ආගමේ එන සූවිසි තීර්ථංකරයන් පිළිබඳ සංකල්ප මුල් කොට පසුකාලීනව බුද්ධාගම තුළට රිංගා ගත් එකකකි.ඒ අතර අවසන් කල්පයේ බුද්ධත්වයට පත් වූ බව පැවසෙන බුදු වරුන් සිව් නම ද එක් කොට අද වන විට අට විසි බුද්ධ පූජා නම් චාරිත්‍ර ජාලයක් වර්ධනය වී තිබේ.ඇතැම් රටවල මීට මෛත්‍රී බුදුන් ද එක් කොට නව විසි බුද්ධ පූජා පැවැත්වේ.

ඒ අපට නිවන් දකින්නට එක් බුදු වරයකුගේ සහාය මඳ වීම නිසා දැයි අපි නොදනිමු.ඒ හැරුණු කොට මෙම පූජා සම්ප්‍රදායට අයත් කප් රුක් පූජා, ආශිර්වාද පූජා,අධිෂ්ඨාන පූජා යන බොදු මගින් සපුරාම පරිබාහිර ශාන්ති කර්ම ගණයේ නිසරු පූජා චාරිත්‍ර සම්ප්‍රදායන් මගින් ආධ්‍යාත්මිකව අසරණ වූ ශ්‍රී ලාංකේය බෞද්ධයන් වෙතින් රුපියල් කෝටි ගණන් පැහැර ගන්නා ජාවාරම්කාර යාන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක ය. ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය විසින් ඉමහත් බැතියෙන් යුතුව ‘මහා සංඝරත්නය’ ලෙස හඳුන්වන බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායෙන් පිට පැන අබෞද්ධ පූජක සම්ප්‍රදායට අවතීර්ණ වී හිඳින භික්ෂුන් ද මෙම යාන්ත්‍රණයේ හවුල් කරුවන් වන බවක් හැඟේ.නමුත් තම පැවැත්මට වාසිදායක බැවින් අප රටේ පාලක පක්ෂය ද මේවාට උඩ ගෙඩි දෙමින් ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව අඳුරින් අඳුරට ගෙන යාමට ඉඩ දී නිසොල්මන් ව බලා හිඳිති.

සාම්ප්‍රදායික බුද්ධාගමට අනුව ජනතාව දුක් දොම්නස් වලට ලක් වනුයේ තමන් එකි`නෙකා විසින් පෙර ආත්මයන් හි කරනු ලබන අකුසල කර්ම නිසා ය. ඒ නිසා එහි වගකීම තමන්ම අත්පත් කර ගනු මිස අනුනට පැවරිය යුතු නැත. එහෙත්, බුද්ධ කාලීන භාරත සමාජයේ පැවැති ‘පුබ්බේ කත හේතුවාදය’ නම් වන මෙම ආගමික සංකල්පය මුළුමනින්ම වැරදි සහගත වූවක් හෙවත් කාටත් වැටහෙන අන්දමින් කිවහොත් ‘අමූලික බොරුවක්’(පරම වජ්ජ ) බව බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට තිබේ. අංගුත්තර නිකායේ නික නිපාතයට අයත් තිත්ථායතන සූත්‍ර දේශනාව විමසීමෙන් ඒ සම්බන්ධ නිවැරදි බෞද්ධ ස්ථාවරය වටහා ගත හැක. එහි දී බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ එවැනි කරුණු සම්බන්ධයෙන් ද බෞද්ධ පරමාදර්ශයක් වන යථාර්ථවාදී ලෙස සිතා (යථා භූත ඥාන දස්සනං) කටයුතු කළ යුතු බවකි. එහෙත්, ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ වල්මත් වීම මත පීඩාවෙන් පෙළෙන ජනතාව වෙතට විවිධ පාර්ශවයන් වෙතින් වලින් එල්ල වන කුරිරු බලපෑම් නතර කර ගනු පිණිස වන වෙනම පූජා සම්ප්‍රදායක් පවා අනාගතයේ නිර්මාණය වීමට පුළුවන.මක් නිසා ද යත් එය ජාවාරම් කාර පූජක පැලැන්තියේ නිසර්ග ලක්ෂණයක් බැවිනි.

මිනිසා දිළිඳු බවට පත් කරවන හේතුන් අතර සමාජ, ආර්ථික, දේශපාලන හේතුන් ද නොමඳවම බලපාන බව බුදුන් වහන්සේ දේශනා කොට තිබේ. දීඝ නිකායේ අග්ගඤ,කූටදන්ත,චක්කවත්තී සීහනාද ආදී සූත්‍ර පිරික්සීමෙන් එම ධර්ම කරුණු පිළිබඳ වැටහීමක් ලබා ගන්නට පුළුවන.නිර්ධන පන්තියේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටීමත් සම්පත් ජනතාව අතරේ සමව බෙදී නොයාමත් නිසා සමාජයේ දිළිඳුකම පැතිර යාමට හේතු වන බව(අධානානං ධනෙ අනනුස්සපාදිය මාරත දාලිද්දියං වේපුල්ලං ආහමාසී) චක්කවත්තී සීහනාද සූත්‍රය මගින් සෘජුවම ප්‍රකාශ වන අතර සමාජය පුරා පැතිර යන දිළිඳු බව පිටු දැකීම පිණිස දිළින්දන් නොව දිළිඳුකමට මුල් වන හේතු මැඩලිය යුතු බව කූටදන්ත සූත්‍රය මගින් මනාව අනාවරණය කෙරේ.එහෙත්, බුදුන් වදාළ මෙම සමාජ යථාර්ථය අද වන විට සැලසුම් සහගත ලෙස සමාජයෙන් යටපත් කොට තිබේ.නමුත් සමාජ, ආර්ථික, දේශපාලන හේතුන් මත අනේක විධ දුක් පීඩාවට පත් ජනතාව මහ මඟ බැස තම දුක් වේදනා ප්‍රකාශ කරන විට පාලකයන් තම බලය යොදා එම ජනතා හඬ යටපත් කිරීම බුදු දහමට අනුව එම රාජ්‍යයේ විනාශයට හේතු වන බව සඳහන් ධර්ම කොටස් අද බැරිවෙලාවත් නොඇසෙන තත්වයකට පත් ව තිබේ.

චක්කවත්තී සීහනාද සූත්‍ර දේශනාවට අනුව රට වැසියන් අරගල කරනුයේ රාජ්‍ය බලය නොවිධිමත් ලෙස යෙදීම නිසා ය. නිරවද්‍ය රාජ්‍ය බලය ‘ඉන්ද්‍රඛීල’ නමින් හැඳින්වෙන අතර එය බිඳ වැටීම නිසා ඉස්මතු වන පීඩිත පන්තියේ ජන බලය හැඳින්වනුයේ ‘දස්සුඛීල’ යනුවෙනි. මෙහි දස්සු යන්නෙන් දාස හෙවත් කම්කරු යන්න හැඟවෙන අතර නූතන ව්‍යවහාරයට අනුව එය ‘කම්කරු පන්ති අරගලය’ ලෙස හැඳින්විය හැක. ඉහත සඳහන් සූත්‍රයට අනුව මෙම වර්තමානයේ ඉන්ද්‍ර ඛීලය බිඳ වැටී දස්සු ඛීලයේ නැඟී සිටීම කදිමට සංකේතය කරන සේයා රුවක් පසුගිය කාලයේ අපගේ ද නෙත ගැටිණ.එනම් ජනාධිපති මැදුරට කඩා වැදුණු අරගල කරුවන් අතරේ සිටි එක් පුද්ගලයකු ජනාධිපති වරයා ජාතිය ඇමතීම පිණිස යොදා ගන්නා ආසනයේ සුවපහසු ලෙස වාඩි වී සිටීම ය. මෙම සියළු තත්වයන් පිළිබඳව බුදු දහම ගෙන හැර දක්වන අර්ථ නිරූපණ සේම නිවැරදි යථාර්ථවාදී විසඳුම් මාර්ග ද ජනතාව වෙත සන්නිවේදනය කළ යුත්තේ භික්ෂූන් වහන්සේලා විසිනි.එහෙත් උන් වහන්සේලා සතු එම ශාසනික කාර්ය භාරය අද වන විට කොතරම් දුරට ඉටු වන්නේ ද යන්න අප කවුරුත් සිහි නුවණින් විමසා බැලීමේ කාලය එළඹ ඇත.මේ ත්ත්වය නිරන්තරයෙන් පැවතීම මත බුදුන් ගෙන් තොර බුද්ධාගමක් අප සමාජය තුළ ස්ථාපිත විය හැකි අතර එහි පෙර මඟ ළකුණු මේ වන විටත් පහළ වී නොමැති බවක් කිසිවකුටත් කිව නොහැකි ය.

දිවුල්වැවේ ජිනරතන හිමි

පහන් ටැඹ