යහපත් අරමුණු පෙරදැරිව ගන්නා ක්‍රියා මාර්ග ද යහපත් ලෙස නොගැනීම මුල් කොට පුද්ගල,පවුල්,ප්‍රජා සහ සමාජමය වශයෙන් අනර්ථකාරී ප්‍රතිවිපාක හිමි වීම වළකාලිය නොහැක.
වත්මන් රජයේ කාබනික හෝ හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ඒ සඳහා ගත හැකි ආසන්නතම නිදසුනකි.එම අදූරදර්ශී දේශපාලනික තීරණය හේතුවෙන් අප රටේ සමස්ත ගොවි ජනතාව රට තුළ පවත්නා සෙසු ප්‍රශ්න ද සමඟ කබලෙන් ලිපට වැටී තිබේ.ඒ බව නාගරික සමාජයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට සාපේක්ෂව දිළිඳු කෘෂිකාර්මික ගම් දනව් වල වැඩ වෙසෙන අපට ඉතා හොඳින් වටහා ගත හැකි ය.
ඊට හේතුව මේ අප වැඩ වාසය කරන ගම් දනව් වල අන්ත අසරණ දායක කාරකාදීන් පන්සලට රැගෙන් විත් ඉමහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පුදන දන් වේලක ඇති හැම බත් ඇටයකම ඔවුන්ගේ දුක් සුසුම් තැවරී ඇති බව ඒවා මුවට ගන්නා අපට ඉතා හොඳින් වැටහෙන බැවිනි.
ශ්‍රී ලංකාව අන්නදිමත් කාලයක සිට කෘෂි කේන්ද්‍රීය සමාජ ආර්ථිකයකින් යුතු රටකි.වර්තමාන නවීකරණ සමාජය හමුවේ එතරම් අගැයුමකට ලක් නොවුණ ද අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහලයන් ගෙන් තුනෙන් එකක් පමණම “ගොවි”යන ජන කොටසට අයත් වීම ඒ සම්බන්ධ වැදගත් මානව විද්‍යාත්මක සාක්ෂියකි.
බුද්ධ කාලයට පෙර සිටම අප රටේ ප්‍රබල කෘෂි ශිෂ්ටාචාරයක් තිබූ බවට සාක්ෂි බොහොමයකි.නමුදු එය ඉන්දීය ආර්ය සංක්‍රමණයෙන් පසු මනාව සුපෝෂිත වූ බවක් පෙනෙයි. බුද්ධ කාලීන සමාජයේ රාජකීයත්වය හා කෘෂිකර්මය එක් ව බැඳී තිබිණ.
එවක රජවරුන් හැඳින් වූ ක්ෂත්‍රිය නාමය කුඹුර යන අදහස දෙන “ක්ෂේත්”ර යන්න පදනම් වූවකි.සිදුහත් කුමරුන්ගේ පියතුමා වන ශුද්ධෝදන ඇතුළු එතුමන්ගේ සොයුරන්ගේ නම් වල සඳහන් “ඕදන” යන්නෙහි අරුත ද “බත්”යන්න ය. සිදුහත් කුමරුන්ගේ ජාත භූමිය වූ මධ්‍ය දේශයෙහි සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන රැකියාව වූයේ ද ගොවිතැනයි.
එදා කපිලවස්තුවෙහි විසූ ශාක්‍යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය ද ගොවිතැන වූ අතර ඔවුහු එවක ජනතාවගේ කෘෂි උපදේශකයන් සහ නියාමක වරුන් වූ බව ද පැහැදිලි ය.
එනිසාම සිදුහත් කුමරුන් තුළ ද කෘෂිකර්මාන්තය පිළිබඳ මනා දැනීමක්,අවබෝධයක් තිබූ බව බුද්ධ දේශනා රාශියක අඩංගු ගොවිතැන සම්බන්ධ ඉතා සිත් කාවදින විස්තර හා උපමා උපමේයයන් මඟින් සනාථ කර ගැනීමට පුළුවන.
සීසාන ගොවියා ඉතා ඉක්මණින් කළ යුතු කටයුතු තුනක් ඇති බවත්, ඔහු විසින් වහ වහාම කෙත මනාව සී සෑමෙන් පසු මනාව සම කරනු ලද්දක් බවට පත් කළ යුතු බවත්,ඉන්පසුව වහ වහාම වී වැපිරිය යුතු බවත් ඉන්පසුව වහ වහාම දියවර සැපයිය යුතු බවත් බුදුන් වහන්සේ අවධාරණය කළ අන්දම අංගුත්තර නිකායේ අච්චායික සූත්‍රයෙන් පැහැදිලි වෙයි.
එසේම ඒ ගොවියා සතුව ‘අද අදම මාගේ පැළ හට ගනිත්වා, හෙටම පීදෙත්වා ,ඉන් පසුව කරල් පැසෙත්වා’යි ඉටා ගන්නා බවත්,නමුදු ඒ සමගම පහළවන සෘද්ධියක් හෝ ආනුභාවයක් හෝ නොමැතිවම, සෘතු පරිණාමයට අනුව ,බීජ නියාම ධර්මයට අනුව එම කෙතෙහි ධාන්‍ය පහළව පැසෙන බවත්, එය සුදුසු කල වයසෙහි දී සොබාදහමට අනුව ඉටුවන්නක් බවත් බුදුහිමියන් ප්‍රකාශ කර ඇත.
ගොවිතැන පිළිබඳව උන්වහන්සේ තුළ වූ පෘථුල දැනීම පමණක් නොව වර්තමාන ව්‍යවහාරයේ හැටියට සැලකෙන යථාර්ථවාදී යයි කිවයුතු ඥණයත් කොයිතරම් පැවතියේ ද යන්න අපට මෙබඳු ප්‍රකාශයන් විශ්ලේෂණය කර බලන විට පෙනීයයි.
එම ධර්ම ඛාණ්ඩය අයත් අංගුත්තර නිකායෙහිම ලෝනඵල වර්ගයට අයත් පච්චේත සූත්‍රය ද ගොවිතැන සම්බන්ධයෙන් බුදුන් වහන්සේ තුළ වූ දැනුම මනාව ප්‍රකට කරවන්නකි.“මහණෙනි යම් සේ වනාහි සීසාන ගෘහපතිහුගේ සමෘද්ධ වූ හැල් කෙතක් වේද?, සීසාන ගෘහපතියා ඒ කෙත වහ වහා වපුරන්නේද?, ඉන් පසුව පැසුණු ගොයම් වහ වහාම රැස්කරවන්නේද?, රැස්කරවාගත් ගොයම් වහ වහාම කල විටට පමුණුවා ගෙන, වහ වහාම පිඩු කරවා, වහ වහාම මඩවන්නේද?, වහ වහාම මඩවා ගෙන වහ වහාම පිදුරු උදුරවන්නේද?, ඉන්පසුව වහ වහාම සුළඟෙහි පොළවන්නේද?, වහ වහාම ඒ ශුදධ වූ වී අස්වැන්න කොටුවට නංවන්නේ ද, කොටුවෙන් ගෙන වහ වහාම කොටවන්නේද?, වහ වහාම පොතු ඉවත් කරවා ශුද්ධ වූ සහල් බවට පත් කරවන්නේ ද? ඉන්පසුව ඒ ගොවියා සහලින් අගතැන්පත් වෙයි” යි යනුවෙන් බුදුන් වහන්සේ එම කෘෂිකාර්මික පිළිවෙත අදියරින් අදියර දේශනා කොට ඇත.
කසීභාරද්වාජ සූත්‍රය ද සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් දේශනාවකි. ඒකනාල නම් බමුණු ගමේ දී භාරද්වාජ බමුණා අමතා වී ගොවිතැන පාදක කොට ගනිමින් මෙය දේශනා කොට ඇත.පිඬු පිණිස චාරිකාවෙන් වඩින බුදුරදුන් භාරද්වාජ බමුණා නම් බමුණා සීසාන ස්ථානයට වැඩියහ. පිණ්ඩපාතය පිණිස උන්වහන්සේ වැඩි බව සිතා දන් දීම වැලැක්වීම පිණිසත් භාරද්වාජ බමුණා බුදුන්ට අනියමින් අවඥා කරනු පිණිසත් .”ශ්‍රමණයන් වහන්ස, මම සීසා වපුරා අනුභව කරමි.
නුඹ ද එසේ කළ යුතු නොවෙද?යනුවෙන් අසා සිටියේ ය.එයට පිළිතුරු ලෙස බුදුරදුන් දුන් පිළිතුර වූයේ “මම ද නිකන්ම අනුභව නොකරමි. නුඹ සේම සීසා වපුරා අනුභව කරමි” යන්න ය., ගොවිතැනකදී සිදු කළ යුතු යුතු කාරියන් මොනවාද යන්න භාරද්වාජ බමුණා ඉතා හොඳින් දනී. එහෙයින්, ඉහත ප්‍රකාශය නිසා පුදුමයට පත් ඔහු බුදුරදුන්ගෙන් විමසනුයේ ඔබ වහන්සේ ගොවියෙක් යැයි කියන මුත් සීසා වැපිරීමට අවශ්‍ය කිසිදු උපකරණයක් නැත්තේ මන්ද? යන්න ය.
එහෙයින් ඔබ සීසෑමට ගනු ලබන කෘෂි උපකරණ මොනවාදැයි මට පැහැදිළි කර දෙන්න යනුවෙන් භාරද්වාජ ඒ සමඟම ඉල්ලා සිටිනුයේ තමන් තුළ හටගත් කුතුහලය පදනම් කර ගනිමිනි.
දන්නා දෙයින් නොදන්නා දේ කියාදීමේ අධ්‍යාපන මූල ධර්මය පදනම් කර ගනිමින් තමන් වහන්සේගේ කෘෂිකාර්මික රටාව පිළිබඳව භාරද්වාජ බමුණා අමතා බුදුන් වහන්සේ මෙසේ දේශනා කළහ.
සද්ධා බීජං තපෝ වුට්ඨී
පඤ්ඤ මේ යුගනංගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මේ ඵාලපාචනං
ශ්‍රද්ධාව වපුරන බීජයයි. තපස වැස්සයි. ප්‍රඥාව විය ගහ සහ නඟුලයි. පව් කිරීමට ඇති ලජ්ජාව නගුලිසයි. සිහිය හෙවත් සතිය නගුල් තලය සහ කෙවිටයි. තවදුරටත් බමුණා අමතන බුදුරදුන් තම කෘෂිකර්මාන්තය පිළිබඳ මෙසේ දේශනා කළහ. රකින ලද කාය හා වාග් සුචරිතයත් පමණ දැන ආහාර ගැනීමත් මාගේ ගොයමෙහි වල්පැල ගැලවීමයි. ගවයන් මුදා හැරීම කෙලෙස් අවසන් කොට අර්හත් මාර්ගයේ ගමන් කිරීම ය. එම සී සෑමේ අග්‍රඵලය සසර දුකින් මිදී ලබන නිවන් සුවයයි.
මෙම සූත්‍ර පාඨ මඟින් බුදුන් දවස භාරතයේ පැවැති කෘෂිකාර්මික පසුබිමත් බුදුන් වහන්සේ ගිහියන්ගේ සෙසු සියළු ජීවනෝපායන් අභිබවා විධිමත් කෘෂිකාර්මික සංවර්ධනයක් අපේක්ෂා කළ බවත් පැහැදිලි වෙයි.
නමුදු අප රටේ පවත්නා වර්තමාන කෘෂිකාර්මික රටාව පිළිබඳව නිසි අවබෝධයකින් තොරව ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙවන් අවිචාරත් පටු තීරණ ගැනීම තුළින් අද වන විට කබලෙන් ලිපට ඇද දමා ඇති මෙරට ගොවි ජනතාවගේ ජීවිත ඒ අඳුරු අගාධයෙන් පිටතට ගැනීම බුදුන් මනාව දැන සිටි සහ ගිහියන්ට අනු දැන වදාළ කෘෂිකර්මාන්තයේ නාමයෙන් පාලකයන් විසින් ගත යුතු කඩිනම් ක්‍රියා මාර්ගයකි.
කදුරුපොකුණේ සුමංගල හිමි