මේ වෙසක් මාසයයි. බෞද්ධයන්ට අනන්‍ය වූ විවිධ උත්සව අතරින් ප්‍රමුඛස්ථානයේ ලා සැලකෙන්නේ වෙසක් ය. එයට හේතුව සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය සහ පිරිනිවන යන තෙමඟුල සිදු වූයේ යැයි සැලකෙන්නේ වෙසක් මාසයේ යෙදෙන පුන් පොහෝ දිනයේ වන බැවිනි. ලොව පුරා බෞද්ධයන් මෙය අතිමහත් භක්ත්‍යාදරයෙන් සමරන බැවින් මේ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කරන්නැයි අප රටේ සිටි දෙමළ ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. අද වන විට වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස පිළිගැනෙන්නේ ඔහුගේ උත්සාහය නිසාය. මෑත ඉතිහාසය තුළ බුදු දහම වෙනුවෙන් යම් කිසිවෙක් සිදු කළ මහඟු සත්කාර්යයක් වූවේ නම් ඒ මෙයයි.
බුදුන් වහන්සේගේ තෙමඟුල සිදු වූ මේ මාසය හඳුන්වනු ලබන ‘වෙසක්’ යන වදන ඉන්දියානු දින දර්ශනයේ දෙවැනි මාසය හඳුන්වන්නා වූ ‘වෛශාඛ’ යන වදනින් බිඳී තිබේ. වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් වන්නට පෙර සිටම එය ඉන්දියාවේ ද නිවාඩු දිනයක්ව පැවතුණි. එහි මේ දිනය ප්රකටව ඇත්කේ ‘බුද්ධ පූර්ණිමා’ යනුවෙනි. එහි අරුත ‘පූර්ණ චන්ද්‍ර මංගල්‍යය’ යන්නයි. එමෙන්ම මේ දිනය ‘බුද්ධ ජයන්ති’ දිනය ලෙස ද ප්රකටව තිබේ.
වෛශාඛ මාසය ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල සිටින හින්දු සහ සීක් ජාතිකයන්ට ද උත්සව සමයකි. එමෙන්ම විවිධ ප්‍රාන්තවල විසිරී සිටින ඉන්දීය බෞද්ධයන් ද ඔවුන්ට ආවේණික සම්ප්රදායයන් තුළින් මේ දිනය සමරනු දක්නට ලැබේ. බෞද්ධයන් හැර සෙසු ජාතීන් මෙය සමරන්නේ ඔවුනට ආවේණික වූ වෙනත් හේතූන් නිසාය.
සීක්වරුන්ගේ වෛශාඛ උත්සවය
ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සිටින බෞද්ධයන් වෛශාඛ උත්සවය පවත්වනු ලබන අතර බෞද්ධයන් නොවන ජන කොට්ඨාස අතර ද මේ උත්සවය සැමරීම දැකිය හැකිය. නමුත් ඔවුන් සමරන්නේ බුදුන් වහන්සේගේ තෙමඟුල මුල් කරගත් උත්සවයක් ලෙස නොවේ. ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජීවත්වන සීක්වරු වෛශාඛ උත්සවය සමරන්නේ අස්වනු නෙලීම සනිටුහන් කරමිනි. එය සමාන වන්නේ ආගමික උත්සවයකට වඩා අප පවත්වන සිංහල අලුත් අවුරුද්දටය. අලුත් ඇඳුම් ඇඳීම, නිවාස ඉදිරිපිට විවිධ අලංකාරයන් සිදුකිරීම, විවිධ රසකැවිලි වර්ග පිළියෙල කිරීම දැකිය හැකිය. වෛශාඛ උත්සවය සැමරීම සීක්වරුන් අතර ආරම්භ වී ඇත්තේ වර්ෂ 1699 සිටය. සීක් ආගමේ දසවැනි ගුරු වූ ගුරු ගෝවින්ද් සිං විසින් සියලු සීක් ජාතිකයන් හැඳින්වීම සඳහා ‘ඛල්සා පාන්ත්’ නම් පොදු නම භාවිතයට එක් කිරීම සමරමින් මෙය පවත්වනු ලබයි.
හින්දුවරුන්ගේ වෛශාඛ උත්සවය
ඇසෑම්, බෙංගාලි, බිහාර්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා, කේරළ, ඔඩිෂා, පන්ජාබ්, තමිල්නාඩු, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් ආදී ප්‍රාන්තවල වෙසෙන් හින්දුවරුන් අතර වෛශාඛ උත්සවය ඉතා ජනප්‍රිය අංගයකි. නමුත් ඔවුන් මේ උත්සවය සමරන්නේ බුදුන් වහන්සේගේ තෙමඟුල එදින සිදුවීම මුල් කරගෙන නොවේ. සීක්වරුන්ට සේම හින්දුවරුන්ට ද මෙය අස්වනු නෙළීමේ මංගල්‍යයකි. ඊට අමතරව ඔවුහු ආගමික කාරණා නිසා ද මේ දිනය සමරති. විශේෂයෙන් හරිද්වාර් සහ උත්තරාකන්ද් ප්‍රදේශවල හින්දුවරු විශ්වාස කරන්නේ ‘ගංගා නදී දෙවඟන’ දෙව්ලොව සිට මහ පොළොව කරා පැමිණියේ මෙදින බවය. මේ දිනයේ දී ගංගා නදියේ ගිලී සිරුර තෙමා ගැනීමේ ආගමික චාරිත්‍රය සිදු කරනු පිණිස ලක්ෂ පනහක පමණ පිරිසක් වාර්ෂිකව උත්තරාකන්ද් ප්‍රදේශය කරා පැමිණෙනු දැකිය හැකිය.
ජම්මු වෛශාඛ උත්සවය
ජම්මු ප්‍රදේශයේ හින්දුවරුන්ට ද මෙය ආගමික උත්සව සමයකි. ඔවුහු එදින ඉතා අලුයමින් අවදි වී තමාට ආසන්නයේම පවතින ගඟක, ඇලක හෝ පොකුණකට බැස ස්නානය කිරීම සිදු කරති. ඉන් පසු පූජාවක් පවත්වා ආහාර සහ භව භෝග දෙවියන්ට පිදීම සිදු කරනු ලබයි.
උධම්පූර් වෛශාඛ උත්සවය
උධම්පූර් ප්‍රදේශයේ හින්දුවරු ඔවුන්ට ආසන්නයේ පවතින ‘දේවිකා’ නදියේ බැස ස්නානය කොට එකී ගං ඉවුරේ දින තුනක් මුළුල්ලේ ජන ගී ගායනා කරනු දක්නට ලැබේ. මේ ජන ගී ගැයීමේ උත්සවයට සහභාගි වනු වස් සතරදිග් භාගයේ සිටින ජන ගී ගායකයන් දහස් ගණනක් වාර්ෂිකව මේ ප්‍රදේශයට පැමිණෙති. ජන ගී තරග ද පැවැත් වෙන අතර බැලූ බැලූ හැම අත කඩමණ්ඩිවලින් පිරී මහත් මංගල සිරියක් දැකිය හැකිය.
හිමාචල් ප්රදේශ්වල වෛශාඛ උත්සවය
අලුයමින් අවදි වී ස්නානය කරන මේ ප්‍රදේශයේ හින්දු ජාතිකයින් මැටි පහන්වලට එළෙඟි තෙල් වත්කොට ඒවා දැල්වීම සිදු කරනු දැකිය හැකිය. ඉන් පසු දෙවියන්ට විවිධ පුද පූජා පැවැත්වීම සිදු කෙරේ.
කේරළ වෛශාඛ උත්සවය
කේරළයේ වෛශාඛය සමරනු ලබන්නේ විෂ්ණු දෙවියන් මුල් කර ගනිමිනි. වැඩිහිටියන් විසින් පෙර දිනක තැනූ විවිධ අලංකාර දේවල් ඊට මේ දිනයේ දී නිවසේ සිටින සෙසු සාමාජිකයන්ට පෙන්වීම සිදු කරනු ලබයි. එවැනි අලංකාර දෑ එම දිනයේ දී පෙන්වීමෙන් සෞභාග්‍යය උදා වන්නේ යැයි ඔවුහු විශ්වාස කරති.
මේ ආකාරයට සෙසු ප්‍රදේශවල වෙසෙන හින්දු ජාතිකයන් ද යම් යම් වෙනස්කම් සහිතව වෛශාඛ උත්සවය සමරනු දැකිය හැකිය.
ඉන්දියානු බෞද්ධයන් අතර පවතින වෛශාඛ උත්සවය
ශ්‍රී ලාංකික බෞද්ධයන් මෙය බුදු තෙමඟුල සිහිපත් කරමින් පවත්වන උත්සවයක් වුව ද, ඉන්දීය බෞද්ධයන් බහුතරයක් මෙය සමරනු ලබන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය පමණක් මුල් කරගෙනය. ඉන්දියාවේ ඇතැම් බෞද්ධ විහාරස්ථානවල සිදුහත් කුමරුගේ කුඩා පිළිමයක් තබා තිබෙන අතර එතැනම මල් දැමූ ශුද්ධ ජලය සහිත තරමක් විශාල භාජනයක් තබා තිබේ. මෙම ස්ථානය කරා පැමිණෙන බොදුනුවෝ ශුද්ධ ජලයෙන් සිදුහත් කුමරුගේ පිළිමය නැහැවීම සිදුකෙරේ. එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ ජීවිතයේ නව ආරම්භයකි.
ඉන්දියානු බොදුනුවන් ද අප රටේ සේම ආමිෂ හා ප්‍රතිපත්ති පුජා සිදු කරන බැව් පෙනෙන්නට තිබේ. ඒවා අතර පංචශීලය සහ අෂ්ටාංගශීලය සමාදන් වීම, ‛සුත්රාපත්’ හා ‛සුත්රාශ්රබාන්’ යන නම්වලින් හැඳින්වෙන භාවනාමය වැඩසටහන් ආදිය සිදු කෙරේ. එමෙන්ම වෙළෙඳ පළක් පැවැත්වීම හා ‛බෝධිරූම් මේලා’ නමින් හැඳින්වෙන උත්සවය ඇතුළු ආමිෂ පූජා ගණයට වැටෙන තවත් බොහෝ උත්සව සංවිධානය කෙරේ. බෞද්ධ සංවිධාන මගින් බුදු දහම ඇතුළත් පොත පත, සඟරා සහ වෙනත් අත් පත්‍රිකා ආදිය මිනිසුන් අතර බෙදා දීම ද විශේෂයෙන් කැපී පෙනෙන්නකි. බොදුනුවන්ට සිය ආගමික කටයුතු නිදහසේ ඉටුකරගන්නට ඉඩ සළසමින් මෙම දිනයේ දී ඉන්දියාවේ රජයේ කාර්යාල සහ බැංකු වසා තැබෙන අතර වෙළෙඳ සල් බොහොමයක් ද වසා තැබේ. ඇතැම් ඒවා පැය කිහිපයක් පමණක් විවෘත කොට තබා වසා දැමේ.
පොදු ජනතාව අතර බුදුන් වහන්සේගේ පණිවිඩය පතුරුවාලීම සඳහා විශේෂ වැඩසටහන් හා පණිවිඩ ගුවන් විදුලි හා රූපවාහිනි නාලික අතර වැඩි වශයෙන් ප්‍රචාරය කෙරේ. ලොව වටා සිටින බොදුනුවෝ බුදුන් බුද්ධත්වයට පත්වූ ‛බෝධ් ගයා’ (බුද්ධගයා) වෙත පැමිණෙන්නේ එහි පැවැත්වෙන බුද්ධ පූර්ණිමා උත්සවවලට සහභාගීවනු පිණිසය. එහිදී ගෞතම බුදුන් වහන්සේගේ දෙසුම් සිහිපත් කිරීම, උන්වහන්සේගේ ජීවිතය පිළිබඳ දේශනයන් පැවැත්වීම හා ඒවාට සවන් දීම, බෞද්ධ පොත පත පිළිබඳ සංවාද සංවිධානය කිරීම, බුදුන් වහන්සේගේ ප්‍රතිමා වන්දනාව හා පෙරහර පැවැත්වීම ආදී බොහෝ කටයුතු මෙහි දී සිදු කෙරේ. බොහෝ බොදුනුවන් අතර බුද්ධ පූර්ණිමා සමයේ දී ධර්ම චක්‍රයක් පැවතීම විශේෂයෙන් දැකිය හැකි දෙයකි.
මීට අමතරව තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, මැලේසියාව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් බෞද්ධ සම්ප්‍රදායයන්ට මුල් තැන දෙමින් වෛශාඛ උත්සවය සමරනු දැකිය හැකිය. එමෙන්ම සීක් ආගම් නිර්මාතෘ ගුරු නානක් ගේ උපන් ස්ථානයේ පාකිස්තානයට අයත් භූමියක පවතින නිසා වාර්ෂිකව එය කරා ඇදී යන සීක්වරු හේතුවෙන් පාකිස්තානය තුළ ද වෛශාඛ උත්සවය විශේෂ අවස්ථාවක් බවට පත් ව තිබේ.
මේ අනුව ‘වෛශාඛ’ හෙවත් ‘වෙසක්’ යන්න දකුණු ආසියානු රටවල් අතර එකිනෙකට වෙනස් අරමුණ සහිතව වුව ද උත්සව පවත්වන ලබන සමයක් බවට පත්ව තිබේ. කෙටියෙන් පවසතොත් එය විවිධ ජාතීන් සහ ආගමිකයන් එකට එක් කරන පාලමක් බඳු සමයකි. බුදුන් වහන්සේ ලෝක සත්ත්වයාට දෙසූ දහමේ අවසන් හරයන්ගෙන් එකක් වන්නේ සියලු දෙනා සාමයෙන් සමගියෙන් ජීවත් වීමය. දකුණු ආසියානු රටවල පැවැත්වෙන වෛශාඛ උත්සවය තුළින් මතුවන අදහස ද එයම නොවේද?
නිරංජන් චාමින්ද කරුණාතිලක