භාග්‍යවතී දෙවඟන වෙනුවෙන් ගැහැණුන් වන පිරිමි

todays gossip news

වරක් දුටු පමණින් දෙතුන් වතාවක් හැරී බලන්නට සිතෙන මේ සුන්දර තරුණියන් කවුදැයි ඔබට එකවර සිතෙන්නට පුළුවන. මේ කුමක් හෝ උත්සවයක් සඳහා සූදානම් වී සිටින ඉන්දීය තරුණියක් බව ඔබ එකවර පවසනු ඇත. අවශ්‍ය නම් එසේ සඳහන් කොට මේ කතාව මෙතැනින් අවසන් කරන්නට හැකි ය. නමුත් එය එසේ නොවන නිසා කතාව මෙතැනින් අවසන් කරන්නට පුළුවන් කමක් නැත. එසේ අවසන් කරන්නට නොහැකි කතාවේ අගක් මුලක් සොයන්නට නම් අපට ඉන්දියාවේ සුන්දර කේරළයට යා යුතුව තිබේ. මේ සුන්දර තරුණියන් අපට හමුවිය හැක්කේ කේරළයේ කොල්ලම් දිස්ත්‍රික්කයේ කොට්ටම්කුලකාරා හි ඇති ‘දේවි’ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන ‘කොට්ටන්කුලන්ගාරා චමයාවිලක්කු’ උත්සවයේ දී ය. මේ උත්සව අවස්ථාව නරඹන්නට ඔබ සහභාගී වන්නට මේ කෝවිල් භූමියට පා තබන ඔබ පිළිගන්නට සුන්දර යුවතියන් දෙදෙනෙකු පැමිණෙනවා ඇත. ඔවුන්ගේ සුන්දරත්වයට ඔබ වශී වී ඔවුනට පෙම් බඳින්නට සිතුනොත් ඒ ඔබ සියලු දේ වරද්දා ගන්නා අවස්ථාවක් වෙයි. මන්ද මේ සුන්දර තරුණියන්ට යටින් සිටින්නේ සැබවින්ම තරුණයන් වන නිසා ය. තරුණියන් බවට පත් වන තරුණයන්ගේ ඒ අපූරු කතාව මෙසේ ආරම්භ කළ හැකි ය.

කොට්ටම්කුලකාරා හි ඇති ‘දේවි’ කෝවිලේ පැවැත්වෙන මේ ‘කොට්ටන්කුලන්ගාරා චමයාවිලක්කු’ නම් සාම්ප්‍රදායික උත්සවයේ දී තරුණයන්, සිය පෙනුම තරුණියන්ගේ පෙනුම බවට පත් කර ගැනීමේ තරගයක් පැවැත්වෙයි. මෙහි මුලින් දක්වා ඇත්තේ 2023 වසරේ පැවැත් වූ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත් තරුණයාගේ ඡායාරූපයයි.

මේ උත්සවය සෑම වසරකම මලයාලම් දින දර්ශනයේ මීනම් මාසයේ 10 සහ 11 වැනිදා පවත්වනු ලබයි. මීනම් යනු සම්මත දින දර්ශනයේ මාර්තු මාසයයි. සම්මත දින දර්ශනයට අනුව මෙය පැවැත්වෙන්නේ මාර්තු 24 සහ 25 වැනි දිනයන් හි දී ය. කොට්ටම්කුලකාරා හි ඇති ‘දේවි’ කෝවිලේ වැඩ සිටින්නේ යැයි හේ ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන ‘භාග්‍යවතී’ නම් දෙවඟනගේ ආශීර්වාදය ලබා ගනු වස් මේ උත්සවය පවත්වනු ලබයි.

තරුණියන් ලෙස සැරසෙන්නට තරුණයන්ට අවස්ථාව ලැබෙන කාරණය පසුපස ද අතීත කතාවක් තිබේ. ජනප්‍රවාදයට අනුව මේ ස්ථානය මුලින් ම හිස් බිමකි. තරුණ එඬේරුන් පිරිසක් මේ ස්ථානයට පැමිණි අවස්ථාවේ දී පොල් ගෙඩියක් හමු වී ඇති අතර එය ලෙලි ගැසීම සඳහා ගලකින් තලා ඇත. එහි දී ගලෙන් රුධිරය වෑහෙනු දැක බියට පත් ඔවුහු වැඩිහිටියන්ට මේ බව පවසා ඇත. එහි දී ජ්‍යොතිශඥයකු උපදෙස් දී ඇත්තේ මෙය බලගතු ශක්තියක් ඇති ගලක් බවත් කෝවිලක් ඉදි කොට පුද පූජා පැවැත්විය යුතු බවත් ය. එහි දී එඬේර තරුණයින් විසින් තාවකාලික කෝවිලක් ගොඩ නගා තිබේ. කෝවිල්වල පුද පූජා සඳහා මල් සැකසීම, පහන් රැගෙන ඒම සාම්ප්‍රදායික ව සිදු කරන්නේ තරුණියන් වුව ද මේ අවට තරුණියන් නොමැති වූ නිසා, තරුණියන් ලෙස සැරසී මේ කාර්යය සිදු කරන්නට එඬේර තරුණයන්ට සිදුව තිබේ. අද දක්වා පැමිණ ඇත්තේ එදා එඬේර තරුණයන් විසින් ආරම්භ කරන ලද සම්ප්‍රදාය ය.

වර්තමානයේ ද තරුණියන් ලෙස සැරසුණු මේ තරුණයෝ පහන් ද රැගෙන සාම්ප්‍රදායික තූර්ය වාදන සමගින් කෝවිල කරා ගමන් කරති. අතීතයේ දිනෙක පොල් ගෙඩියක් ලෙලි ගැසූ බැවින්, වර්තමානයේ ද පොල් කිරි රත් වෙන්නට තබා එයින් සෑදෙන තෙල් ඉවත් කොට ඉතිරි වන ඝන කොටස භාග්‍යවතී දෙවඟන වෙනුවෙන් පූජා කිරීම සිදු කරනු ලබයි.

කොට්ටන්කුලන්ගාරා චමයාවිලක්කු’ උත්සවය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ උත්සවයක් බවට මේ වන විට පත් ව තිබේ. මේ අපූරු සම්ප්‍රදාය පිළිබඳ දැනගන්නට ලැබෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ද උත්සව සමය වන විට මේ කෝවිල කරා පැමිණෙයි. කේරළයේ සෑම සංචාරක වෙබ් අඩවියකම මේ උත්සවය පිළිබඳ විශේෂයෙන් සඳහන් කරමින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් දියත් කරයි.

අතීතයට වඩා වර්තමානය වන විට වේශ නිරූපණ ශිල්පීය ක්‍රම අතිශයින් දියුණුවට පත් ව ඇති බැවින් මේ උත්සවයට සහභාගී වන තරුණයෝ එම ක්‍රම දැඩිව යොදා ගනිමින් තරගයේ ජයග්‍රාහකයා වන්නට උත්සාහ කරනු පෙනෙන්නට තිබේ. මුල් කාලයේ මෙවැනි තරගයක් පැවැත්වීම සිදු වී නොමැත. තරගයක් සංවිධානය කිරීම සිදුව ඇත්තේ සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තරුණයන් ඉදිරිපත් නොවනු ඇතැයි යන අදහස ඇති වූ නිසා විය හැකිය. කෙසේ නමුත් මේ වන විට මේ සඳහා තරුණයන්ගේ සභාභාගීත්වය ඉතා ඉහළින් සිදු වේ. නූතන පරපුරත් සමග එක්ම ඔවුන් සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යන්නට ඔවුන් සමත්ව තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

 

today’s gossip news

අරුමැසි පුවත්