මයික් එක හින්දා හිරේ ගිය මම මයික් එකෙන්ම මේ ඡන්දයට තරඟ වදිනවා

“මම මයික් එක නිසා හිරේ ගිය මනුස්සයෙක්. දැන් මම නැවත මයික් එකෙන්ම ඉදිරි මහ මැතිවරණයට මගේම පක්ෂයකින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදිනවා”.හඬක් නැති ජනතාවට හඬක් වීමට මයික්‍රෆෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් නව දේශපාලන පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බව පැවසූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09දා)එසේ පැවසීය.ඒ එම නව දේශපාලන පක්ෂය හඳුන්වා දෙමින් කොළඹ ටාජ් හෝටලයේදී පැවැති විශේෂ මාධ්‍යය හමුවකදී ය.”මං ගැන බොහෝ දෙනෙක් දන්නවා. වත්මන් ඇමැතිවරයකු වන විජිත හේරත් මහතාත් කියා තිබුණා රංජන් හොරෙක් නෙවෙයි. ඇත්ත කියලයි හිරේ ගියේ කියලා. අන්න ඒ සහතිකය මට වටිනවා. එය රැකගෙන මැරෙන්න තිබුණොත් මට හොඳටෝම ඇති. ඒ නිසයි මම අලුත් පක්ෂයකින් නැවත දේශපාලනයට ආවේ. දෛවෝපගත සිද්ධියක් වගේ මේක. මොකද මම මයික් එක නිසා හිරේ ගිය මනුස්සයෙක්. දැන් මම නැවත මයික් එකෙන්ම ඉදිරි මහ මැතිවරණයට මගේම පක්ෂයකින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදිනවා.ඒ වගේම මං ගැන රටේ ජනතාව දන්නවා. මට රකින්න පවුලක් නෑ. මුදල් හම්බ කරලා නෑ. හොරකම් කරලා නෑ. ඒ නිසා හොඳ රටක්, පොහොසත් රටක් හදන්න හඬක් නැති ජනතාවට හඬක් වීමට මා මයික් එකෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. එහිදී මම බොහොම පරිස්සමින් වචන හසුරුවන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුව තුළ මම ඒ තිත්ත ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි ගම්පහට නාම යෝජනා භාර දුන්නා. ඒ සඳහා අනුමැතියත් ලැබුණා.” යනුවෙන් කී රාමනායක මහතා මෙසේ ද කීය. “විශේෂයෙන් අද මාගේ ආදරණීය මාමා වන විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය වීම විශේෂත්වයක්. මා එතුමා සිහිපත් කරමින් මෙම නව දේශපාලන පක්ෂය එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින්, මයික්‍රෆෝනය ලකුණින් එළිදක්වනු ලබනවා.මම තුන් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. නමුත් ඒ තුන්වෙනි වතාවේදී අවාසනාවන්ත ලෙස මට අධිකරණ තීන්දුවක් හේතුවෙන්, මන්ත්‍රි ධුරය අහිමිවී සිරගෙට යන්න සිදුවුණා. මට නැවත නිදහසක් ලැබීමෙන් පසුව රංගන කටයුතු කරමින් සිටියා. පසුගිය ජනාධිපතිවරණයේදී මා හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාගේ නිල ඡන්ද පත්‍රිකාව ද ලැබී තිබුණා. නමුත් මා ඒ වනවිට විදේශගත වී සිටි නිසා මට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුණා. ඒ අනුව මා නීතිඥ උපදෙස් ලබාගෙන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මාගේ ජනාධිපති නීතිඥ මහත්වරුන් කියා සිටියේ මට ඡන්දය ඉල්ලන්න මැතිවරණයට ඉදිරි පත්වීමට බාධාවක් නෑ කියලයි”

කාලීන පුවත්