මර්දනකාරී අණපනත් අහෝසි කරන්න; නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති ගෙන් ඉල්ලයි

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් නව ජනපති අනුර කුමාර දිසානයක මහතාගෙන් ඉල්ලා සිටියි.එම ව්‍යාපාරය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමා කරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය පිරිහීමට ලක්කරන නීති රැසක් පසුගිය කාලයේ දී සම්මත කර ගෙන ඇති බවකි.එබැවින් එම නීති වෙනස් කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.රටේ අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය මත බව ද එම නිවේදනය මඟින් පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ කැපවීම පෙන්නුම් කළ හැකි බවත්, එය ස්වර්ණමය අවස්ථාවක් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, කෙටුම්පත් කර ඇති කම්කරු නීති මෙසේ කඩිනමින් වෙනස් කළ යුතු ඒවා අතර වන බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.එමෙන්ම, පසුගිය ආණ්ඩු කාලවලදී සිදු වූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම නිවේදනය මඟින් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

කාලීන පුවත්