අප රටේ බෞද්ධ උවසු උවැසියන් සහ පෙම්වතුන් පෙම්වතියන් අතර හරි හරියට භාවිතා වන වදනක් වේ නම් ඒ “මහ මෙර” යන්න ය. යමක අතිඅප්‍රමාණික බව දැක්වීම සම්බන්ධ නිදසුනක් ලෙස බෞද්ධ උවසු උවැසියෝ “මහ මෙර” යන්න භාවිතා කරති.ඒ අතරේ පෙම්වතුන් පෙම්වතියන් තම තමන් ගේ ආදරණීය සහකරුවන් හමුවේ “මහ මෙරක් තරම්” යන්න භාවිතා කිරීමට හේතුව කුමක් දැයි අමුතුවෙන් කිව යුතු නැත. මේ කඨින චීවර මාසයයි.
බෞද්ධ වෙහෙර විහාර හා සම්බන්ධ කඨින පූජෝත්සව වල දී නොවැරදීම කියැවෙන ‘අට මහ කුසල්’ වලට අයත් කඨින ප්‍රජාවේ අනුහස් ප්‍රකාශ කිරීමේ දී එය සුළඟට නොසෙල්වෙන මහ මෙර වැනි පින්කමක් බව අවධාරණය කොට තිබේ.
එම කඨින පූජාව පිළිබඳව පැවසෙන ‘ගිරි රාජ සමාරාසිං’ යන ගාථා පාඨයෙන් පැවසෙනුයේ මහ මෙර තරම් උසට චීවර පූජා කිරීමෙන් ලැබෙන අනුහස් වලට වඩා එක් කඨින චීවර පූජාවකින් හිමි වන අනුහස් බලවත් බවකි.
අනුරාධපුර යුගයේ ලියැවුණු “පූජාවලිය” වැනි ග්රන්ථයන් ගේ සිට වර්තමාන ලේඛනයන් හි සේම ගීත රචනාවන් හි ද මෙම මහමෙර යන වදන එක් ව තිබේ.මෙම මහමෙර පිළිබඳව අපගේ සිංහල සාහිත්‍ය වංශයේ තවත් තැන්වල සඳහන් වන අතර කෝට්ටේ යුගයේ ලියැවුණු ගිරා සංදේශයේ එකසිය හතලිස් තුන් වන පද්‍යය වන ‘මෙර මහ වැද අබල වෙරළ ගල සිඳු දිය කඳු’ කවිය ඒ සඳහා වන කදිම නිදසුනකි. මේ සියළු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විශ්ලේෂණය කිරීමේ දී පෙනී යනුයේ මහමෙර, ගිරි රාජ, පබ්බත රාජ, සිනෙරු, සුනෙර, සක්වල ගල ආදී අනේක විධ නම් වලින් හඳුන්වන මෙම පර්වතය හුදෙක් ආගමික සාහිත්‍යයේ හා සබැඳි මනඃකල්පිත භෞමික ලක්ෂණයක් බව ය. සුවිසල් බව, අප්‍රමාණ බව හැඟවීම පිණිස එම වදන් යෙදී ඇති අතර අචල, ස්ථිර සාර බව හැඟවීම පිණිස ද ‘මහමෙර වගේ’ ‘මහ මෙර සේ’ යන වදන් සිංහල බසෙහි යෙදෙයි.
බෞද්ධ සාහිත්‍යයේ ද බොහෝ තැන්වල මෙම මහ මෙර පිළිබඳව සඳහන් වෙයි. පාලි භාෂාවෙන් ‘සිනෙරු‘ ලෙස හැඳින්වෙන මෙය සිංහලයෙන් සුනෙර ලෙස දක්වා තිබේ. සිනෙරු සූත්‍රය, පබ්බකූට සූත්‍රය, සිනෙරු සන්ඛරෝපම සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් හි සඳහන් වන මෙම පර්වතය බුද්ධ දේශනා සඳහා විවිධාකාරයෙන් යොදා ගෙන ඇති අන්දම බෞද්ධ සූත්‍ර පිටකය හැදෑරීමේ දී පෙනී යයි. එහි එන සිනෙරු සූත්‍රයේ “මහ මෙර ඉදිරියේ මුං ඇට ප්‍රමාණයේ ගල් කැට පහක් තැබුවා සේ” යන රමණීය උපමාව ඉදිරිපත් කරන බුදුන් වහන්සේ රජ්ජ සූත්‍ර දේශනාවේ දී මුලු මහමෙරම ඝන රන් වූවන් එය තනි පුද්ගලයකුගේ තෘෂ්ණාව සංතෘප්ත කිරීමට ප්‍රමාණවත් නොවන බව දැක්වීමෙන් මිනිසා ගේ තෘෂ්ණාවේ අප්‍රමාණ බව කදිමට හුවා දක්වා තිබේ.මහමෙර සම්බන්ධ ඉහත සඳහන් විස්තර සියල්ලෙන්ම අපට සනාථ කර ගත හැකි අතිශය වැදගත් කරුණක් තිබේ. එනම් මොනවා වුණත් මහ මෙර සුළු පටු එකක් නම් නොවන බව ය.
එමෙන්ම අප ජන සමාජයේ අතිශය ප්‍රචලිත ආටානාටිය සූත්‍ර දේශනාවේ මහ මෙර පිළිබඳව දක්වා ඇති අතර සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ එහි දිග පළල ද දක්වා තිබේ. එම සූත්‍රයට අනුව එහි දිග යොදුන් අසූ හාර දහසකි. පළල යොදුන් හාර දහසකි. එමෙන්ම තවත් යොදුන් අසූ හාර දහසක් සමුද්‍රය තුළ ගිලී තිබේ.එහෙත්, අප මහ මෙර නමින් හඳුන්වන මෙම පර්වතයේ ස්ථානීය පිහිටීමට අනුකූල එනමින් යුතු පර්වතයක් සැබැවින්ම මේ මිහිතලයේ පිහිටා ඇති බවක් ඔබ දන්නවාද?
හිමාල කඳුවැටියට අයත් “මේර‘’ නමින් හැඳින්වෙන එම පර්වතය පිහිටියේ නේපාල දේශ සීමාවේ සගර්මතා හි සන්කුවසභ ප්‍රදේශයේ ය. කඳු මුදුන් තුනකින් යුතු එම මේර කඳු මුදුන්වල උස අඩි 21,247, 21,198 සහ 19,848 වශයෙනි. ආසන්න වශයෙන් ගතහොත් ලෝකයේ උස්ම කඳු මුදුන් අතරට ගැනෙන මේවායේ උස ප්‍රමාණයේ මුහුදු මට්ටමේ සිට ශ්‍රීපාද කන්දේ උස මෙන් තුන් ගුණයකි.එම කඳු මුදුන් නිරතුරුවම හිමෙන් වැසී තිබේ.
නමුදු මහ මෙර සම්බන්ධ වඩාත් විස්මයට කරුණ එය නොවේ. සාමාන්‍ය මිනිසකුට විශේෂිත ආරක්ෂිත ක්‍රම නොමැතිව එක් මොහොතක්වත් ජීවත් විය නොහැකි මහ මෙර මත්තෙහි විශේෂ සෘද්ධි සහ ධ්‍යාන බලැති යෝගීන් අදටත් නිරුපද්‍රිතව සිටින බවට ඇතැමුන් තුළ පවතින විශ්වාසයයි.ශරීරයේ පැවැත්මට ඉවහල් වන අවම ශරීර උෂ්ණත්ව මට්ටමක් නොපැවතීම(Hypothermia )පුද්ගලයකු මරණයට පත් කරවීමට හේතු වෙයි.දැඩි ජීවිතාවදානක් තිබියදී විශේෂිත ආරක්ෂිත ක්‍රම සහිතව මහ මෙර නඟින්නවුන් පවා ඒ කඳු මුදුන් අතරින් “ඕම්කාරය”වැනි හඬවල් ගුගුම් දෙනු ඇසූ බව පවසා තිබේ.
භාරතීය වෛදික හා අවෛදික දර්ශනයන් හි යෝග යන්නට ප්‍රධාන තැනක් හිමි වෙයි. එහි යෝග යනුවෙන් දැක්වෙනුයේ වර්තමාන ජනප්‍රිය සංස්කෘතියට අයත් යෝග ව්‍යායාම් සහ යෝග පන්ති නොවේ. තම කායික ශක්තිය අභිබවන සේ උපරිම ලෙස බලගැන්විය හැකි මානසික ශක්තිය තුළින් ශරීරයේ භෞතික පදනම ඉක්මවිය හැකිය යන දාර්ශනික විශ්වාසයයි. බැලූ බැල්මට හිතලු හෙවත් ප්‍රබන්ධ ලෙස යමකුට පෙනී යා හැකි මේවායේ මෙතෙක් බොහෝ දෙනකුට ප්‍රායෝගිකව සනාථ කර ගත නොහැකි විද්‍යාත්මක හරයක් ද ඇති බව ඉන්දීය ආධ්යාත්මවේදීහු කියා සිටිති.
මිනිසා ගේ ජීවිතය රඳා පැවැත්මට හාත්පස පාරිසරික බලපෑම අනිවාර්ය සාධකයකි.එහෙත්, තම සිත තුළින් ගොඩනඟා ගන්නා මෙතෙක් විද්‍යාව මගින් තහවුරු කර ගත නොහැකි සූක්ෂම බල ක්රමයන් ඔස්සේ තමන් ජීවත් වන හාත්පස පරිසරයේ පවත්නා මිනිසාට දරා ගත නොහැකි අධික කරුණු සහ කටුක තත්වයන් දරා ගැනීමේ හැකියාව එම පුහුණුව ලත් යෝගීන්ට ලැබේ. බුද්ධ කාලයේ විසූ ජටිල, ආජීවක, පරිබ්රාජකාදීන් සිව් දෙසින් දල්වා ගත් අධික උෂ්ණත්වයක් සහිත ගිනි මැල සතරකට මැදිව දැඩි චිත්ත ශක්තියෙන් යුතුව ඒවා දරා ගැනීමෙන් කෙලෙස් නැසීමේ ක්‍රියාවන් හි යෙදුණු බව බෞද්ධ සාහිත්‍යයෙන් පැහැදිලි වෙයි. එහෙත්, එම ක්‍රියා මගින් විමුක්ති මාර්ගය ලද නොහැකි බව ඉඳුරාම ප්‍රකාශ කළ බුදුන් වහන්සේ ඒ සම්බන්ධයෙන් මෙසේ දක්වා ඇති බව ධම්ම පදයේ මහා වග්ගයේ සඳහන් වේ.
යෝගාවේ ජායතී භූරී – ආයෝගා භූරි සඩ්ඛයෝ
ඒතං ද්වේධා පතං ඤත්වා – භවාය විභවායච
තථ’ත්ථානං නිවේසෙය්‍ය – යථා භූරි පවඩ්ඩති
මෙහි යෝගා මෙම පාලි පාඨය මඟින් අදහස් කරනුයේ සමථ හා විදස්සනා භාවනා ය.විශේෂයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යහ ලෝක තත්තවයන් නුවණැසින් විමසා බැලීම යෝග නම් වේ.මෙහි දැක්වෙන අන්දමට “භූරි” යනු ප්රඥාවයි. ප්‍රඥාව සංවර්ධනය වන හා පිරිහෙන මාර්ග ඇති බවත් මෙම මාර්ග දෙක හොඳින් හඳුනාගෙන නුවණ වැඩෙන මඟට සිත අරමුණු කොට භාවනාවේ යෙදිය යුතු බවත් “තථත්ථානං නිවේසෙය්‍ය-යථා භූරි පවඩ්ඩති” වශයෙන් එහි දැක්වෙයි.නමුත් ඉහත සඳහන් හින්දු යෝග ක්‍රම බුදු දහමින් කෙසේවත් අනුමත නොවේ.දහමට අනුව ඒවා විස්තර කෙරෙනුයේ අත්තකිලමතානු යෝග හෙවත් ශරීරයට දැඩිව දුක් දෙන අවස්ථා යනුවෙනි.
විශේෂ ආරක්ෂිත ක්රමෝපායන් නොමැතිව මිනිසකුට කෙසේ වත් ජීවත් විය නොහැකි හිමාල අඩවියට අයත් මහ මෙර මත්තෙහි හුදෙක් චිත්ත බලය පදනම්කර ගනිමින් රැඳී සිටීම විද්‍යාත්මකව හැඳින්විය හැක්කේ ශිශිරතරණය (Hibernation ) යනුවෙනි. මෙහි දී ඇති වන ආලස්යමය තත්වය (Torpor)නමින් හැඳින්වේ. ශාරීරික වශයෙන් මරණයට පත් නොවූවද ඒ ආසන්නයේම පවතින කායික තත්වයක් වන මෙය ප්‍රාණයේ පැවැත්ම සඳහා ඉවහල් වන අවම ශ්වසනයක් රුධිර සහ අම්ලකර සැපයුමක් සහිතව යම් කාලයක් ජීවත් වීම ලෙස හැඳින්විය හැක. විශේෂයෙන් සෘතු භේදය දැඩිව පවතින ප්‍රදේශවල ශරීරය කිසිදු ක්‍රියාකාරකමක යෙදවිය නොහැකි ශීත සෘතුන් වලදී හිම වලසුන්,පිණි මුවන් ඇතුළු සතුන් එම සෘතුව නිමාවන තෙක් මිය නොගොස් නිසොල්මන්ව ගල් ගැසී ජීවත් වීම විද්‍යාත්මකව සනාථ වූවකි. ඒ කාලය තුළ ඔවුන් ගේ ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වන ශරීරයේ පවත්නා මේද ස්ථරය ඉතා සෙමින් ක්ෂය වන බැවින් ඒ තත්වය තුළ මාස කිහිපයක් තුළ වුව එම සතුන්ට එලෙස නිසොල්මන්ව ගල් ගැසී ලැග සිටිමින් තම ජීවිත පවත්වා ගෙන යා හැකි බව ප්‍රකට කරුණකි.
මෙම සිද්ධාන්තය පදනම් ව සතුන්ට වඩා ඉහළ මානසිකත්වයකින් යුතු මිනිසුන්ට තම මානසික තත්වය අති උපරිම උත්තේජනයට පත් කිරීමෙන් භෞතික වශයෙන් ඕනෑම අසීරු අමාරු තත්ත්වයක් තුළ ජීවිතය පවත්වාගෙන යා හැකි බව පවසන ඉන්දීය ආධ්යාත්මවේදීහු මහ මෙර ඇතුළු හිමාලයේ කඳු මුදුන් වල අදටත් එබඳු යෝගීන් අප්රකටව ජීවත් වන බව එක හෙළා පවසති.
මේ සංසිද්ධිය සම්බන්ධයෙන් සිහිපත් වන විට මගේ සිතට සැනින් පිවිසෙන අප රටේ සිදුවීමක් ද තිබේ. අප රටේ ද දකුණු පළාතට අයත් වලස්මුල්ල, පල්ලෙකන්දේ රාජපක්ෂ ගේ ෂෙල්ටන් නම් තරුණයකු තුළ කුඩා කල සිට තම ආධ්‍යාත්මික ශක්තිය ප්‍රවර්ධනය කර ගැනීමට පැවැති තදබල අවශ්‍යතාව මුල් කොට වයස අවුරුදු විසි ගණන්වලදී වාද්දුවේ සිරි ගැමුණු නම් ආධ්‍යාත්මික සංවිධානයකට බැඳිණ.
එහි දී ඔහු තම අරමුණු ඉටු කරගැනීම පිණිස දැක්වූ අප්‍රතිහත ධෛර්ය නිසාම ඔහුට එම සංවිධානය තුළ විශේෂ තත්වයක් හිමිකර දී ෂෙල්ටන් ‘සුදර්ශ’ යන ආධ්‍යාත්මික නාමයකින් හැඳින්වීමට ද එහි සාමාජික පිරිස කටයුතු කළහ. ඒ ඔස්සේ තම ආධ්‍යාත්මික ගමන් මාර්ගය ඔස්සේ තව දුරටත් ඉදිරියට යාමට අදහස් කළ සුදර්ශ ඉන්දියාවේ හිමාල වනයට ගොස් එහි අප්රකටව වෙසෙන බව පැවසෙන යෝගීන් අතරට එක්ව පංච අභිඥා අෂ්ඨ සම්පත්ති ආදී වශයෙන් වන උසස් මානසික ශක්තීන් ලබා ගැනීමට ද කැමැත්තෙන් පසුවිය. ඒ සඳහා ඒ වන විට විදේශ රටක දිගු කලක් ඉංජිනේරු සේවයේ යෙදී පසුව සංවිධානයේ ආධ්‍යාත්මික අරමුණු සමඟ දැඩිව බැඳී සිටි ‘චන්න මහත්තයා’ නමැති අය ඒ සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සහ සෙසු පහසුකම් ලබාදීමට සැදී පැහැදී සිටීම සුදර්ශට සුවිසල් වරප්‍රසාදයක් විණි. නමුදු හිමාල අඩවියේ යෝග වැඩීමට යාමට පෙර ඒ සඳහා පෙරහුරුවක් ලෙස සිරි පා හිමයේ බවුන් වැඩීමට යාම සුදුසු යැයි සිතූ සුදර්ශ 1990 දශකයේ අග භාගයේ පමණ සිට සිරි පා අවාරයේ දී රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය ඔස්සේ සිරි පා හිමයට ගොස් එහි සති ගණන් ගත කිරීමට පුරුදු විය. එමෙන්ම සිරි පා හිමයේ අධික ශීතලයෙන් යුතු සීත ගගුලේ ඉහළම කොටසට ගොස් කරවටක් ගිලී දිවා සහ රාත්‍රී කාලවල පැය ගණන් වරු ගණන් යෝග වඩා නැවත වාද්දුවට පැමිණි සුදර්ශ එහි සිරි ගැමුණු සංවිධානයේ සෙසු සාමාජිකයන්ට තමන් එහි දී ලත් විස්මිත අත්දැකීම් දේශනා ස්වරූපයෙන් විස්තර කළේ ඒවා අසන්නවුන් ගේ දෙනෙත් විස්මයෙන් නළල් තල මත හිඳුවමිනි. එහි දී සිරිපා හිමයේ එලෙස රුක්ෂ ප්රතිපදාවන් හි යෙදෙන අතරේ තමන්ට සිරි ගැමුණු සංවිධානයේ සෙසු සාමාජිකයන් ගේ කටයුතු සහ ඔවුන් තමන් පිළිබඳව පවසන දේ ගුප්ත සංවේදීතාවයක් ඔස්සේ ඇසුණු දැනුණු බව ද කීය. එමෙන්ම එම තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමෙන් පසු තමන්ට හිමාල අඩවියේ සිට සිරි ගැමුණු සංවිධාන සාමාජිකයන් හා සෘජු සන්නිවේදන කටයුතු පවත්වා ගෙන යා හැකි බව ද සුදර්ශන විශ්වාස කළේය. ඔහුගේ ඒ විශ්වාසය සෙසු සාමාජිකයෝ ද ඉත සිතින් පිළිගත්හ.
දිනය 1998 ඔක්තෝබර් 11 දා ය. එවකට ශ්‍රී පාද උඩ මළුවේ මුර සේවයේ යෙදී සිටි ශ්‍රී පලාබද්දල තිස්ස කුමාර කිසියම් අවශ්‍යතාවයක් සඳහා එදින අලුයම සිරිපා මළුවෙන් නික්ම තම ගම් පියසට පැමීණීම පිණිස පහලට බසිමින් සිටියේය. එහෙත්, සබරගමු ශ්‍රී පාද මාර්ගයේ ඇහැල කනුවට පහලින් කිසිවකු වැටී සිටිනු තිස්ස කුමාරට පෙනිණ. ඒ ආසන්නයට විත් බැලූවිට ඔහු දක්නට ලැබුණේ ඒ දැන් කලෙක සිට ශීත හිමයේ බවුන් වැඩීමට පැමිණෙන සුදර්ශ නම් තරුණයා බව ය. ඒ අනුව ඔහු සිහිසුන් වීමකට පත්ව ඇතැයි සිතූ තිස්ස කුමාර “මල්ලී මල්ලී” යනුවෙන් අමතමින් සුදර්ශ පිබිදුවීමට වෙර දැරීය.ඔහු ගේ ශරීරය අයිස් කඳක් මෙන් සීතල හා ඝන වී ඇති බව තිස්ස කුමාරට වැටහුණේ එවිට ය.සුදර්ශගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර මහ රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුගේ මරණයට හේතුව නියුමෝනියාව බව සනාථ විය. එමෙන්ම තිස්ස කුමාරට සුදර්ශ ගේ මළ සිරුර හමුවන විට ඔහු මිය ගොස් දින තුනක් පමණ ඉක්ම ගොස් ඇති බවද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.එහෙත්, එහි පැවැති අධික ශීත දේශගුණය මත මළ සිරුර නරක් නොවී තිබී ඇත.
ඒ අනුව න්‍යායික වශයෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් කොතරම් දුරට සත්‍යයක් දැයි වටහා ගත නොහැකි හිමාල අඩවියේ මහ මෙර මත්තේ ධ්‍යාන වඩන යෝගීන් පිළිබඳ පුවත් මුළුමනින් සත්‍ය හෝ අසත්‍ය වශයෙන් සෘජු නිගමනයට එළැඹීමට මට නොපුළුවන. නමුදු ඔවුන් වෙනුවෙන් කරුණු දක්වන ඉන්දීය ආධ්‍යාත්මවේදීන් පවසනුයේ එවන් උත්තරීතර ධ්‍යාන බල සහිත යෝගීන් කිසි විටෙකත් මාධ්‍ය හමුවේ පෙනී නොසිටින බවකි. ඉහත සඳහන් සටහනේ ඇති සෙසු කරුණු කෙසේ වෙතත් උත්තරීතර ආධ්‍යාත්මික ශක්තීන් සහිත පුද්ගලයන් මාධ්‍ය රැඟුම් නොපාන කතාව අප නූතන සමාජය හා සසඳා බලන ලෙසට ඉල්ලමින් මම මීට නැවතුම් ලකුණ තබමි.
තිලක් සේනාසිංහ