කොවිඩ් ඔමික්‍රෝන් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදුණු කොරෝනා රෝගීන් රැසක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් බරපතල ප්‍රභේදයක් නොවේ යැයි ඇතැම් පිරිස් තුළ පවතින විශ්වාසය මුළුමනින්ම වැරදි සහගත බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වු රෝගියෙකුට නැවතත් එම ප්‍රභේදය කිහිප වතාවක්ම ආසාදනයවීමේ හැකියාව පවතින බවත් ප්‍රතිශක්තිකරණය නොමැති පුද්ගලයින් මෙන්ම විවිධ සංකුලතා සහිත රෝගීන්ට ඔමික්‍රෝන් ආසාදනයෙන් දැඩි අවදානම් තත්ත්වයක් උදාවන බවත් වෛද්‍ය බටුවන්තුඩාව වැඩිදුරටත් කියා සිටියි.එමෙන්ම මේ වන විට ලංකාව පුරා වේගයෙන් පැතිර යනුයේ ඔමික්‍රෝන් ප්‍රභේදය බව ද ඔහු තහවුරු කරයි.
මේ අතර පසුගිය 09 වන දා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති පොදුජන පෙරමුණේ ප්රචාරක රැළියේ දී අගමැති මහින්ද රාජපක්ෂ කීවේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. එනම් රජය කොවිඩ් අභියෝගය ජය ගත් බවකි.
අප රටේ ප්‍රධාන ධාරාවට අයත් දේශපාලනඥයන් සිතන්නේ මහජනතාවගේ ජීවිත පැත්තෙන් නොවේ.ජනතාව අන්දවා හෝ රැක ගන්නා තම බලය තව දුරටත් පවත්වාගෙන යාම පැත්තෙනි.එය අප රටේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවයකි.අගමැති වරයා ද මෙම දේශපාලන සංස්කෘතියේ බල කනුවක් නිසා ඔහු ගෙන් නිතර පැවසෙන මෙබඳු කතා පිළිබඳ අපට නම් අරුමයක් නැත. නමුත් ඕනෑම රජයක දේශපාලන ස්ථාවර භාවය පත්වාගෙන යාමට නම් ආර්ථිකය ශක්තිමත් විය යුතුම ය.
ආර්ථිකය ශක්තිමත් වන්නට නම් විදේශ විනිමය රටට පැමිණිය යුතු ය. විදේශ විනිමය පැමිණෙන එක් මාර්ගයක් වනුයේ විදේශ සංචාරකයන් පැමිණීම ය.නමුත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් රට තුළ නැත. බූස්ටර් එන්නත ලබා ගෙන ඇති නම් මෙරට දී පරීක්ෂාවක් නැත.
අනෙක් පැත්තෙන් ඔවුන් බොහොමයක් රට තුළ සැරිසරන්නේ මුව ආවරණ පවා නොමැතිව ය.එහෙත්,ඒ සම්බන්ධයෙන් සංචාරක වෙළෙන්දාගේ සිට මධ්‍යම රජය තෙක් කිසිවක් නොකියන්නේ ඕනෑම කොවිඩ් ප්‍රභේදයක් සමඟ රටට මුදල් ද ගලා එන බැවිනි.කොවිඩ් වෛරසය රටට පැමිණීමට පෙර දේශපාලඥනයන් කීවේ කොවිඩ් රටට නොපැමිණෙන බව ය.
එහෙත්, එය රටට ආවේ ය.ඉන් පසුව රජයේ මැති ඇමති වරුන් පුන පුනා කීයේ සුදර්ශන පැණිය සහ මේසන් බාස් ගේ කාලි පැණිය ඒලියන්ත වයිට් ගේ මුට්ටිය තිබෙන තුරු අපේ රටට කොවිඩ් වලින් රැකවරණයක් ඇති බව ය.නමුදු අප රටේ හිටපු සෞඛ්‍ය ඇමතිනිය ප්රමුඛ දේශපාලනඥයන් ලවා ගංගා වලට මුට්ටි දැමූ ඒලියන්ත වයිට් සේම කාලි අම්මාගේ වරමින් කොවිඩ් සුව කරන බවක් කියමින් ධම්මික පැණිය හැදූ මේසන් බාස් ගේ බාල සොයුරා ද කොවිඩ් වලින්ම මිය ගියේ ය.
ඒ අතර අමාත්‍ය විමල් වීරවංශ ඒ බාස් උන්නැහේට රජයේ මුදලින් දුන් පැණි හදන මැෂිම අද කසිප්පු නිෂ්පාදනය සඳහා බදු දී ඇතැයි පැතිර යන කට කතාවක් ද පැතිර තිබේ.කෙසේ හෝ ඉන් පසුව ඩෙල්ටා ප්‍රභේදය පවා රටට පැමිණියේ ය. අවසානයේ අද වන විට ඔමික්‍රොන් පැමිණ තිබේ.
කිසිදු දේශපාලන පරිනත බවක් නොමැතිව හුදෙක් පිය උරුමය මත පදනම් ව අද මෙරට දේශපාලනයේ මුල් පෙළටම පැමිණ හිඳින නාමල් රාජපක්ෂ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී කීවේ ඔමික්‍රෝන් රටට ඇතුළුවීමට ඉඩ නොතබන බව ය. එහෙත්, දැන් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ ද ඔමික්‍රොන් ප්‍රභේදයම ය.
ඔමික්‍රෝන් බරපතල ප්‍රභේදයක් නොවේ යැයි ඇතැම් පිරිස් තුළ පවතින විශ්වාසය මුළුමනින්ම වැරදි සහගත බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වරයා පවසන අතරේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ අනුව ඔමික්‍රෝන් ආසාදිත වූවෙකු නිවසේ රැඳී සිටිය යුතු කාලය දින හතකි. එසේම පවුලේ අයට රෝග ලක්ෂණ නැතිනම් ඔවුනට නිවසින් පිටව යාමට අවස්ථාව හිමිවේ. එසේම සංගීත ප්‍රසංග උත්සව ආදී සෑම ක්‍රියාකාරකමකටම අවසර ලබා දී තිබේ.
ඒ අනුව බලන කළ කොවිඩ් පැවැතියත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව රට සාමාන්‍ය තත්ත්වයක පවතියි. කොවිඩ් නොමැති රටක් සේ ක්‍රියාත්මක වෙයි. රට පුරා ඔමික්‍රොන් පැතිර ගියත් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් හමුවී ඖෂධ ගන්නේ වෛරස් උණට ය. වෛද්‍යවරුන් ද කොවිඩ් පරීක්ෂාවන්ට යොමු නොකර වෛරස් උණ වෙනුවෙන් ඖෂධ නියම කරති.
නමුත් සාමාන්‍ය වෛරස් උණ ලෙස ඖෂධ ගන්නා රෝගීන්ගේ කොවිඩ් පරීක්ෂාවක් කළ හොත් අනිවාර්යයෙන්ම කොවිඩ් රෝගීන් ය. නමුත්, එවැනි පරීක්ෂාවන් කරන්නට රජයේ රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැත. ඉකුත් සතියේ ඇමති මණ්ඩල රැස්වීමේ දී රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිලියන හතරක් ගෙන්වීමට මුදල් අනුමත විය.
එයින් පැහැදිලි වන්නේ රටේ ඇන්ටිජන් කට්ටල නොමැති බව ය. පෞද්ගලික රෝහල් වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළ ද එහි අගය සිතූ සිතු ගණන් ය. එහෙත්, අවශ්‍යතාවය තිබෙන වත් පොහොසත්කම් ඇති අය නම් කීය ගියත් එම පරික්ෂණය කර ගනිති.
වෛරස උණට ගන්නා බෙහෙත ද මේ වෙනුවෙන් සක්‍රිය වන බැවින් බොහෝ දෙනෙකු සිතා සිටින්නේ තමන්ට වෛරස් උණ වැළදුනා මිසක කොවිඩ් වැළදුණා කියා නොවේ.
කොවිඩ් යන බරපතල නමින් නොහඳුන්වා එය සාමාන්‍ය වෛරස් උණක් සේ සැලකීම හිතට ද නිදහසකි.නමුත් මෙහි ඇත්තම තත්වය නම් කොවිඩ් නමැති සරුංගලයේ නියාමනය නම් නූල අද රජයේ අතින් ගිළිහී ඇති බවකි.ඒ අනුව අද අප රටේ කොවිඩ් ව්‍යාප්තිය මොනම ක්‍රමයකින් වත් ගණනය කළ නොහැක.
මෙවන් තත්වයක් තුළ අගමැති වරයා කොවිඩ් අභියෝගය ජය ගත් බව කියමින් ප්‍රසිද්ධ වේදිකාවල උදම් අනන අතරේ වෛරසය ව්‍යාප්තියට ඉඩ හැර අහක බලා සිටින්නේ ආර්ථිකය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වෙනුවෙනි.
මේ අතර පසුගිය දිනක රටේ පවතින උද්ඝෝෂණ හා වෘත්තීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූවා ය. මන්ත්‍රී වරිය කියා සිටියේ වර්ජකයන් විසින් උද්ඝෝෂණ පැවැත්වීමේ දී ඔමික්‍රෝන් වසංගතය රට පුරා පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ය.
එම මාධ්‍ය හමුවේදි මන්ත්‍රී වරිය කියා සිටියේ මේ සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් දෙවරක් සිතිය යුතු බවකි. කෙසේ වෙතත් එහි දී මාධ්‍යවේදීයෙකු විමසා සිටියේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති රැස්වීමේදි ඔම්ක්‍රොන් පැතිරෙන්නේ නැතිද? යනුවෙනි.
මෙහි දීමන්ත්රීවරිය කියා සිටියේ ජනතාව කවුරුන් හෝ ගෙනාවා නොව ජනතාව ඊට කැමැත්තෙන් සහභාගී වු බව ය.ඇය කියූ ආකාරයට එම පොහොට්ටු රැස්වීම සංවිධානය කොට ඇත්තේ පාලු සල්ගාදු පිටියටත් ඒ අවට ගහ කොළ වලටත් රජයේ වැඩ පිළිවෙල ගැන කියා දීමට ය ඒ අතරේ මහ ජනතාව ඊට බලහත්කාරයෙන් කඩා වැදී තිබේ.
එහෙත්, තමන්ගේ ඒ ප්‍රකාශයේ ලාමක වැඩි බව ඇයටම වැටහුණු නිසා දෝ මාධ්‍යවේදීන් ඊළඟ ප්‍රශ්න ඇසීම ආරම්භ කරන අතරේ මන්ත්‍රී වරිය “බොහොම ස්තූතියි”කියා ඉන් නැඟිට ගියා ය.
මෙම කරුණු වලින් අපට වැටහී යන්නේ මහින්ද තියරිය හෝ රාජිකා තියරිය මෙම කොවිඩ් වසංගතය හමුවේ සාධනීය ලෙස බල නොපාන බවත් කොවිඩ් රකුසා තාමත් අප පසු පස ලුහු බැඳ එන බවත් ය.
ලසන්ත වීරකුලසූරිය