මහ මඟ අසරණ වූ සුනඛ පැටවකු නිවසට ගෙන ඒමේ දී මේ ගැනත් සිතමු-පශු වෛද්‍ය ජගත් ජයසේකර

සුනඛයන්ට ආදරය කරුණාව දක්වන අය මගතොට දී අසරණ වූ සූනඛ පැටවකු දුටුවහොත් නිවසට ගෙනැවිත් ඇති දැඩි කිරීමට පෙළඹිය හැකිය. එය ඉතාමත් පැසසිය යුතු යහපත් ක්‍රියාවකි.එමෙන්ම ඒම්ඟින් දරුවන්ගේ මානසික සංවර්ධනයට ලැබෙන පිටිවහල සුළු පටු නැත. නමුත් එවැනි සතකු සම්බන්ධයෙන් පළමු කොට ම ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය ය. ඒ සඳහා වඩාත්ම යෝග්‍ය පියවර වන්නේ සුනඛයා තම නිවසට රැගෙන යන්නට පෙර පශු වෛද්‍යවරයෙකුට පෙන්වීම ය.නමුත් බොහෝ විට මෙවැනි දෙයක් ප්‍රායෝගිකව කළ හැකි අවස්ථා දුර්ලභ ය. එබැවින් එම අවස්ථාවේ සතාව ගෙන යාමට නොහැකි වූයේ නම් පශු වෛද්‍යවරයෙකුට සතාව පෙන්වන තුරු ස්පර්ශ කිරීමෙන්, සුරතල් කිරීමෙන් වැළකී සිටීමට කල්පනාකාරී විය යුතුය. විශේෂයෙන් කුඩා දරුවන් සිටින නිවසකට අතරමං වූ සුනඛයකු රැගෙන යනවා නම් සතාගේ රෝගී තත්ත්වයන් හඳුනා ගන්නටත්, රෝග නිවාරණයට අවශ්‍ය එන්නත් ලබා දීමටත් පශු වෛද්‍යවරයෙකුගේ සේවය මුලින් ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි. එසේ කළ නොහැකි අවස්ථාවක නම් පශු වෛද්‍යවරයාට පෙන්වන තුරු සුනඛයා කුඩා දරුවන්ගෙන් ඈත් කර තැබීමට විශේෂයෙන් වගබලා ගත යුතුය.
මහමගදී හමුවූ සුනඛ පැටවකු ගේ මවගේ රෝග ස්වභාවයන් පිළිබඳව සේම, ඇතැම් විට මව කවුද යන්නවත් නිශ්චිතව දැන ගැනීමට නොහැකි වන අවස්ථා බහුල නිසා මුලින්ම ජලභීතිකා නිවාරණ එන්නත මෙන්ම පාවෝ, ඩිස්ටෙම්පර් වැනි රෝග නිවාරණ එන්නත් ද පැටවාට ලබා දිය යුතුය.
එසේම මගතොට දිවි ගෙවූ සතුන්ට පණු රෝග තිබීම අතිශයින් ම ස්වභාවික ය. එබඳු සතුන් නිතර ගල් වැලි ආහාරයට ගන්නට පෙළඹෙනවා නම්, කුස විශාල නම් සහ විදුරුමස් සුදුමැලිව පවතිනවා නම් ඒ බොහෝවිට පණු රෝග ලක්ෂණයි. එය හඳුනා ගනිමින් පැටවාට පණු රෝග හරණ ඖෂධ ලබාදීමට කටයුතු කළ යුතුය. එසේම මැක්කන් කිනිතුල්ලන් බෝ වීමත්, උදරාබාධ චර්ම රෝග වැළඳී තිබීමත් එලෙස මහමග දිවි ගෙවන සතුන් පෙළිය හැකි සුලබ රෝගී තත්ත්වයන් වේ.
මහමගදී හමුවූ කුඩා පැටවුන් නිවසට රැගෙන ආ විගස කිරි සාදා බොන්නට දීම බොහෝ අය කරන දෙයකි. නමුත් මහමග දිවි ගෙවූ පැටවුන්ට සේම වැඩුණු සතුන්ට වුවද කිරි නුහුරු ය. එනිසා ඇතැම් විට ඔවුන්ට කිරි බීම නිසා දියර ලෙසින් මලපහ වීමට ඉඩ ඇත. එබැවින් කිරි ලබා දීමට අවශ්‍යම නම් එවැනි විටෙක වැඩිහිටියන්ගේ කිරි වර්ගයක් වෙනුවට ළදරු කිරි වර්ගයක් එම සතුන්ට ලබාදිය හැකි නම් එම තත්වය පාලනය කිරීමට පුළුවන.
මහමග දිවි ගෙවීම නිසා මෙබඳු සතුන් බොහෝ සෙයින් විෂබීජවලට නිරාවරණය වෙයි. එම සතුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරවීම සඳහා සුදුසු විටමින් වර්ග ලබා දීමට ද සිදු විය හැකිය. මහමගදී හමුවූ සතුන්ගේ ආරක්ෂාවටත්, එම සතුන් සද්භාවයෙන් රැක බලාගන්නට සූදානමින් සිටින ඔබගේ ආරක්ෂාවටත් සතාව පළමුකොටම පශු වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම කොතරම් වැදගත් දැයි දැන් ඔබට පැහැදිලි වනු ඇත.
එලෙස අලුත උපන් සුනඛ පැටවුන් මහමග අතහැර දමා යෑම නිසා මෙන්ම වැඩුණු සතුන් නිවෙස්වලින් මිදී පැමිණි පසු අතරමං වීම නිසාත් සතුන්ට කිසිදු හව්හරණයක් නැතිව යා හැකිය. විශේෂයෙන් උත්සව කාලවලදී රතිඤ්ඤා හඬට බියපත් වන සුනඛයන් තම නිවසින් පලා යාම නිසා අවතැන් වන අවස්ථා බොහෝය. සමහර සුනඛයන් ඒ ආකාරයට රතිඤ්ඤා හඬට බියපත්ව තමන් ජීවත් වූ නිවහනෙන් බොහෝ ඈතට දිව යන අවස්ථා තිබේ. එබඳු සුනඛයන් නන්නාඳුනන පෙදෙසක දැඩි සේ බියට පත්ව සිටින විට දී කුඩා පැටවුන් සම්බන්ධයෙන් කටයුතු කරනවාටත් වඩා ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරමින් එම සතාට පිහිටවීම කළ යුතුය.
අවතැන්ව සිටින එබඳු සතුන්ට එක්වරම ළං වීම හෝ අතගෑම නොකළ යුතුය. ආහාර දීමට පෙර පවා තමන් පිළිබඳව සතා තුළ විශ්වාසයක් ගොඩ නැංවෙන ආකාරයෙන් කටයුතු කිරීම අවශ්‍ය ය. කුඩා පැටවුන් මෙන් නොව එලෙස බියට පත්ව හෝ යම් අනතුරකට පත්ව දැඩි වේදනාවෙන් සිටින සුනඛයෙකු තමන්ට පිහිටට එන අයෙක් වුවද සපා කෑමට ඉඩ තිබේ. ඒ එම සතාට දැනෙන අධික බිය හෝ වේදනාව නිසා සිතට දැනෙන අසරණකම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් ඔබ කල්පනාකාරී වීම මිස ඒ අසරණ සතා කෙරෙහි කෝපයට පත්ව තවත් ඌ හිරිහැරයට පත් කොට අසරණ කිරීම නොකළ යුත්තකි. ඒ නිසා මහමගදි හෝ අතරමංව සිටින සතුන්ට පිහිට වන විට පළමු කොට ම තමන්ගේ ආරක්ෂාව සලසා ගනිමින් කටයුතු කිරීමට කල්පනාකාරී වීම වැදගත් ය.නමුත් අසරණ සතකුට පිහිට වීම ආකාර ගණනාවකින් යහපත් ප්‍රතිඵල ලබා දෙන බැවින් ඔබ ඒ සම්බන්ධයෙන් උදාසීන විය යුතු ද නොවේ.

පශු වෛද්‍ය ජගත් ජයසේකර

සැකසුම – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය