මහ රැජිනගේ අවමගුල් උත්සවය දක්වා කටයුතු සිදු වන ආකාරය

පසුගිය බ්‍රහස්පතින්දා (08) අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ කවරාකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විවිධ තොරතුරු එරට මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙමින් තිබෙනවා. අවමගුල් උත්සවය පැවැත්වෙන දිනය ගැන තවම නිශ්චිතව තහවුරු කර නැතත් එය ලබන 19 වැනි දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ප්‍රකාශ වී ඇත්තේ. මෙය රාජ්‍ය අවමගුල් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

මෙම උත්සවයට පෙර ඇයගේ දේහය තැන්පත් කර තබන ස්ථාන පිළිබඳවත් පසුගිය දිනවල තොරතුරු වාර්තා වී තිබුණා. මහ රැජින ගේ අභාවය සිදු වූයේ ඇය සාමාන්‍යයෙන් වාසය කරන ලන්ඩනයේ දී නොව ස්කොට්ලන්තයේ දී යි. ස්කොට්ලන්තයත් එක්සත් රාජධානියට අයත් රටක්. මහ රැජින සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම ගිම්හාන සෘතුව ගත කරන්නේ ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය මාලිගයක් වන බැල්මොරල් මාලිගයේ යි. මෙය වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මාලිගයක්. එය මේ වනවිට ප්‍රධාන වශයෙන්ම භාවිත වන්නේ මහ රැජින විවේකය ගත කරන පිටිසර මාලිගයක් හැටියට යි.

බැල්මොරල් මාලිගයේ තිබෙන මහ රැජිනගේ දේහය මුලින්ම රැගෙන යාමට නියමිතව ඇත්තේ ස්කොට්ලන්තයේම එඩින්බර්ග් හි පිහිටි හෝලිරූඩ්හවුස් නැමැති මාලිගයට යි. ස්කොට්ලන්තය තුළ පිහිටි රාජකීය නිල නිවස හැටියට මෙම මාලිගය සැලකෙනවා. මෙහි දී දේහයට හමුදා ආචාරයක් පිරිනැමීමටත් නියමිතයි. අභිනවයෙන් පත් වූ තුන්වැනි චාල්ස් රජු සිය බිසව ද සමග මෙහි පැමිණීමට නියමිත බවත් මාධ්‍ය සඳහන් කර තිබුණා.

santha-josap

ඊට පසුවදා දේහය එඩින්බර්ග්හි ම පිහිටි ශාන්ත ජයිල්ස් දේවස්ථානය වෙත පෙරහරකි්න් රැගෙන යනු ඇති බව සඳහන් වෙනවා. රජ පවුලේ සාමාජිකයන් ද මෙම පෙරහරට එක් වීමට නියමිත බව සඳහන්. මෙම දේවස්ථානයේ දී දේව මෙහෙයක් පැවැත්වෙනු ඇති අතර ස්කොට්ලන්ත ජනතාවට එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමටත් අවස්ථාව හිමි වෙනවා. මෙහි පැය 24 ක කාලයක් තැන්පත් කර තබන දේහය බි්‍රතාන්‍යයේ අගනුවර වන ලන්ඩනය වෙත ගෙන එනු ඇත්තේ එයින් පසුව යි. දේහය රැගත් කණ්ඩායම සඳුදා (12) දිනයේ ශාන්ත ජයිල්ස් දේවස්ථානයෙන් පිටත් වනු ඇති.

frankas

රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩනය වෙත රැගෙන එනු ඇත්තේ දුම්රියෙන් බවත් සඳහන්ව තිබුණා. ලන්ඩනයේ ශාන්ත පැන්ක්‍රාස් දුම්රිය ස්ථානයේ දී එය පිලිගැනීම සඳහා රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් ද, අගමැතිනි ලිස් ට්‍රස් ද එහි යනු ඇති. දුම්රිය ස්ථානයේ සිට දේහය බකිංහැම් මාලිගය වෙත රැගෙන එනු ලබන්නේ රථ පෙරහරකින්. මෙම කටයුතු සිදුවනු ඇත්තේ අඟහරුවාදා යි. දස දහස් ගණන් ජනතාව මහ රැජිනගේ දේහයට ගෞරව දැක්වීමට මග දෙපස රැඳී සිටිනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

bakintam

දේහය බකිංහැම් මාලිගයේ සිට ඊළඟට වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන ඒමට නියමිතයි. මෙහිදී දේහය රැගෙනු එනු ඇත්තේ සම්ප්‍රදායානුකූලව කාල තුවක්කු රථයක තැන්පත් කර යි.වෙස්ට්මින්ස්ටර් ශාලාව පිහිටා තිබෙන්නේ එරට පාර්ලිමේන්තුව ද පිහිටා ඇති ගොඩනැගිල්ලේ යි. බකිංහැම් මාලිගයේ සිට දේහය වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙන එන පෙරහරට චාල්ස් රජු, විලියම් කුමරු, හැරී කුමරු සහ රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් ද එක් වීමට නියමිතයි. මෙම පෙරහර ගමන් කරන කාලය තුළ බිග් බෙන් ඔරලෝසුව ද වරින් වර නාද වනු ඇති බවත් සඳහන් වෙනවා.

westimister

වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කෙරෙන දේහය දින කිහිපයක් එහි තැන්පත් කර තැබෙන අතර එහි දී ද දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව මහ ජනතාවට හිමි වෙනවා. ලෝක නායකයන් ද මෙහි දී දේහයට අවසන් ගෞරව දක්වනු ඇති.

වෙස්ට්මින්ස්ටර් ශාලාවේ සිට දේහය රැගෙන යනු ලබන්නේ ලන්ඩනයේම පිහිටි වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානය වෙතයි. රාජ්‍ය අවමගුල් උත්සවය පැවැත්වෙන්නේ එහිදී බවයි සඳහන් වන්නේ. විශේෂ දේව මෙහෙයක් ද එහි දී පැවැත්වෙනු ඇති අතර මෙයට රජ පවුලේ අය, එක්සත් රාජධානියේ දේශපාලන නායකයන්, ලෝක නායකයන් ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිත යි.

vindisar

මෙම කටයුතුවලින් අනතුරුව රැජිනගේ දේහය වින්ඩ්සර් මාලිග පරිශ්‍රය වෙත රැගෙන යාමට කටයුතු කෙරෙනවා. වින්ඩ්සර් මාලිගය පිහිටා ඇත්තේ ලන්ඩනයේ සිට සැතපුම් 20 ක් පමණ දුරින්. මෙම අවසන් අවමගුල් පෙරහර සැතපුම් එකහමාරක් පමණ දිග එකක් වනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.

මහ රැජිනගේ දේහය රැගෙන එනු ඇත්තේ වින්ඩ්සර් මාලිග පරිශ්‍රයේ පිහිටි ශාන්ත ජොර්ජ් දේවස්ථානය වෙතයි. මෙහි දී නැවතත් දේව මෙහෙයක් පැවැත්වෙනු ඇති අතර එයින් අනතුරුව දේහය මෙම දේවස්ථානයේ යටි බිම් මහලක පිහිටා ඇති ගර්භයක තැන්පත් කෙරෙනු ඇති. රාජකීයයන් රැසකගේ දේහයන් මෙහි තැන්පත් කර තිබෙනවා. මහ රැජිනගේ දේහය ද ඇයගේ මව්පියන් ගේ සහ සැමියා වූ පිලිප් කුමරුගේ දේහයන් අසළ තැන්පත් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර