මළවුන්ගේ හත් දවසේ බණ, දානය සහ තුන් මාසයේ දානය ගැන වැරදි මත දුරලමු

මළවුන් උදෙසා දෙනු ලබන දන් පින් පිළිබඳව අප සමාජයේ බෞද්ධයන් තුළ විවිධාකාර මතිමතාන්තර පවතින බව පෙනේ. ඒ සඳහා හේතු වී ඇත්තේ එම දන් පින් සම්බන්ධයෙන් වන මතිමතාන්තර ප්‍රාදේශීය වශයෙන් ද විවිධ විෂම ස්වරූපයක් ගැනීම ය.

එබැවින් අපගේ බෞද්ධයන් ඒ සම්බන්ධයෙන් නඟන ප්‍රශ්න වලදී භික්ෂුන්වහන්සේලා ගෙන් ද ඒකමතික පිළිතුරක් නොලැබෙන බව ප්‍රසිද්ධ කරුණකි.

යමෙකු මිය ගිය පසු හත් දවසේ දානය දිය යුත්තේ ඒ පුද්ගලයා මිය ගිය දවසේ සිට හත් වෙනි දිනයේ දී ද එසේ නොමැති නම් සත් වන දිනයේදී කළ යුතු වන්නේත් මිය ගිය තැනැත්තා වෙනුවෙන් ප්‍රේත ගොටුවක් තබා මතක බණ දේශනා කරවීම ද යන්න අප බෞද්ධ සමාජයේ තවමත් හරි හැටි විසඳී නොමැති ගැටළුවකි.

මේ අතර යම් තැනැත්තෙකුගේ අවසන් කටයුතු සිදු කළ දිනයේදී දෙන ‘මළ බත’ නමින් හැඳින්වෙන රාත්‍රී ආහාරය ද මළවුන් සඳහා වන දානයක් ලෙස සමහරෙක් සලකති.

මේ සියලු ප්‍රශ්න වලට මුල් වී ඇත්තේ මේ සම්බන්ධයෙන් මූලික බුදුදහමින් කිසිදු විස්තර කිරීමක් සිදු වී නොමැති නිසා ය. ඊට හේතුව ඉහත සඳහන් මළ බත හත් දවසේ දානය තුන් මාසයේ දානය සහ අවුරුද්දේ දානය වශයෙන් හඳුන්වන දන් පින් ආදිය හුදෙක් ශ්‍රී ලාංකීය බෞද්ධ සංස්කෘතියේම අංගයන් වන බැවිනි.

පුද්ගලයෙකුගේ මරණයෙන් සතියෙන්, මසින්, තුන්මසින් හෝ වර්ෂයක් පාසා මතක බණ නමින් භික්ෂුන් ලවා දේශනයක් කරවීම හින්දු ආගමෙන් බෞද්ධ සංස්කෘතියට ඇතුල් වූවකි.

හින්දුන්ගේ ශ්‍රාද්ධාය මෙන් මතක දානයක් දී පින්දීම අනිවාර්ය සේ බෞද්ධයෝ සලකති. මෙකී දින නියමයන් පළාත් අනුව වෙනස්වී ඇත. කෙතරම් දුප්පත් වුවද මෙය කළ යුතුම යුතුකමක් සේ සමහරෙක් සලකති. ඇතැමුන් එසේ කරන්නේ මළවුන් භූතයන් වී ආපදා කරතියි බියෙනි.

පෙතවත්ථුප්පකරණය, තිරොකුඩ්ඩ සූත්‍රය වැනි ධර්ම සංග්‍රහවලින් ඒ බියට අනුබල ලැබෙයි. භික්ෂුන් මතක බණට බෙහෙවින් දෙසන්නේත් ඒ ධර්මයයි.

නමුත් මෙම බුද්ධ දේශනාවල සැබෑ ස්වරූපය නම් බුද්ධ කාලීන භාරතයේ පැවැති හින්දුන්ගේ පැරණි ආගමික විශ්වාසයක් ඛන්ඪනය කිරීම බව පෙනේ.

ඈත අතීතයේ මළවුන් පිණිස දන් දී තිබෙන්නේ එළු, බැටළු ආදී සතුන් මරා පිළියෙළ කළ ආහාරයෙන් හිතමිතුරන්ට ය. බුද්ධ කාලයේ ද ඒ සිරිත විය. එහෙත්, බුදුරදුන් වහන්සේ එසේ කිරීමේ වරදත් සිල්වතුන් පිදීමේ අගයත් දෙසීමෙන් පසු එය දැහැමි බෞද්ධ සිරිතක් බවට පත්විය.

එවක් පටන් බෞද්ධයා වැඩියෙන් දන්දී තිබෙන්නේ “පුබ්බපෙතෙච ආරම්භ අථවවත්ථුදෙවතෙ” යන දෙසුම අනුව මළවුන්ට පින්දෙනු පිණිස බව පෙනේ. “පත්තිදානං කත්වා තතියදිවසතො පට්ඨාය දානං අනුපදස්සාමි” යන ප්‍රකාශයෙන් කියවෙන පරිදි නම් මළ තුන් දවසේ පටන් මතක දාන දී තිබේ.

උද්ධදෙහික (දෙහ-ඉක) යන පදයෙන් මළ දිනයේම දෙන දානයක් ගැන ද සඳහන් වේ. ඇතැම් පළාත්වල බෞද්ධයන් දැනුත් එසේ කරන බව පෙනේ. මළ බත බවට පත්ව අත්තේ මෙම සිරිත ය. වැඩි වශයෙන් මතක දාන දීම සිදු කෙරෙනුයේ දින සතකින් හෝ තෙමසකින් ය. ඉනුත් සතියකින් දෙන දානය ගැන බෞද්ධයෝ විශේෂයෙන් සැලකිලිමත් වෙති.

බෞද්ධ ඉගැන්වීම් අනුව පරදත්තූපජීවී, නිජ්ක්ධාමතන්හික, ඛප්පිපාසික, පාංශූ පිශාචක, කාලකඤ්ජාසුර යයි ප්‍රෙතයෝ කොටස් පසෙකි. එයින් පරදත්තුප ජීවීන් හැර සෙස්සෝ බොහෝ කල් දුක් විඳින්නෝ ය.

’‘එතෙසු පන පෙතෙසු පරදත්තූපජීවිනො

සත්තාහබ්හරෙ දානං අනුමොදිත්වාව මුච්චරෙ”

ඒ ප්‍රේතයන්ගෙන් අනුන් දෙන පිනකින්ම යැපෙන පරදත්තුපජීවී ප්‍රේතයන් සතියකින් දෙන දානය අනුමෝදන්ව ප්‍රේතාත්මයෙන් මිදෙන බව ආගමික වශයෙන් විශ්වාස කෙරේ.

ප්‍රේත ගොටු හෝ තටු දීමේ චාරිත්‍රය ගැන බෞද්ධ සූත්‍ර වල කිසිදු නියමයක් දක්වා නැත. දන් පින් සම්බන්ධයෙන් සෙසු ආගම් වල විවිධ පැනවීම් සහ නියමයන් දක්නට ලැබුන ද බුදු දහමට අනුව දන් පින් සිදු කිරීමෙන් පූර්ණ නිදහසක් හා අවකාශයක් බෞද්ධයන්ට උදා කර දී තිබේ.

ඒ අනුව මියගිය ඥාතීන් වෙනුවෙන් දන් පින් කිරීමේදී තමන්ට හැකි පහසු ඕනෑම දිනයක් වේලාවක් යොදා ගත හැකි වන අතර එය භික්ෂුන් වහන්සේ ගේ පහසුව පිළිබඳව ද සිතා ගත යුතු තීරණයකි.

නමුදු මේ සම්බන්ධයෙන් අප ඉතා හොඳින් දන්නා කරුණක් තිබේ. එනම් මෙම හත් දවසේ දානය, තුන් මාසෙ දානය ආදී දන් පින් සම්බන්ධයෙන් බොහෝ ගිහියන් මෙන්ම ඇතැම් භික්ෂුන් වහන්සේලා ද වත්මන් බෞද්ධ සංස්කෘතික පැනවීම් තුළ සිරගත වී සිටින බව ය.

මෙය බුදු සසුනේ යහපැවැත්ම සම්බන්ධයෙන් කෙසේ වත් සුදුසු තත්ත්වයක් නොවේ.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ